සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාදේවි (සංස්කෘත: महादेवी), ආදි පරාශක්ති, ආදි ශක්ති යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ශක්ත නිකායට අනුව සර්වබලධාරි දෙවඟන හෝ දිව්‍යමය මවයි. මෙම සම්ප්‍රදායට අනුව, ස

ආදි පරාශක්ති

  • මුල් පිටුව
  • ආදි පරාශක්ති

මහාදේවි (සංස්කෘත: महादेवी), ආදි පරාශක්ති, ආදි ශක්ති යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ශක්ත නිකායට අනුව සර්වබලධාරි දෙවඟන හෝ දිව්‍යමය මවයි. මෙම සම්ප්‍රදායට අනුව, සියලුම දේව ස්වරූප විෂ්ණු සහ ශිව දෙවිවරුන් හා සැසඳිය හැකි මෙම එකම මහා දේවීයගේ ප්‍රකාශනයන් ලෙස සැලකේ. ශෛවනයන් ඇයව දුර්ගා සහ පාර්වතී ලෙසින් සලකන අතර ශක්ත බැතිමතුන් දුර්ගා, භුවනේශ්වරී සහ ත්‍රිපුර සුන්දරී යන ස්වරූප ලෙසින් සලකයි.

මහාදේවි
සර්වබලධාරි දෙවඟන
මාතෘ දෙවඟන, පර බ්‍රහ්මන්, මහාදේවී
18 වන සියවසට අයත් මහාදේවිගේ සිතුවමක්
සංස්කෘත පරිවර්තනයmahādevī
අනුබැඳිය
  • බ්‍රහ්මන්
  • දේවී
  • ත්‍රිපුර සුන්දරී
  • මහාකාලි
  • දුර්ගා
  • පාර්වතී
  • නවදුර්ගා
වාසභවනයමණිද්වීපය චින්තාමණී ගෘහය
මන්ත්‍රයඕම් ඓම් හ්‍රීම් ශ්‍රීම් ක්ලීම්
ආයුධයපාෂ, අංකුශය, චක්‍ර, ශංඛය, ත්‍රිශූලය සහ වෙනත්
සංකේත
  • ඕම්
  • ශ්‍රී යන්ත්‍රය
වාහනයසිංහයා හෝ ව්‍යාඝ්‍රයා (ස්වරූප අනුව වෙනස් වේ)
පාඨ ග්‍රන්ථදේවී භාගවත පුරාණ, දේවී මාහාත්ම්‍ය, කාලිකා පුරාණ, ලලිතා මාහාත්ම්‍ය, ත්‍රිපුරා රහස්‍ය, සෞන්දර්ය ලහරී, ශිව පුරාණ, ශක්ත උපනිෂද්
උත්සවනවරාත්‍රී, වසන්ත පංචමී, දුර්ගා පූජා, ලක්ෂ්මී පූජා, ලලිතා ජයන්ති, ආඩි පුරම්

පටුන

හින්දු ධර්මය

ශෛව ආගම

ශිව පුරාණ පවසන්නේ ආදි පරාශක්තිය භෞතික ස්වරූපයෙන් පරමා ප්‍රකෘතිය ලෙස ශිව දෙවියන්ගේ වම් භාගයෙන් ප්‍රකට වූ බවයි. ආදි ශක්තිය සෑම විශ්වයකම සෑම පාර්වතී හා ශිව එක්වීමක් තුළින් සෑම විශ්වයකම ජීවයේ පරිණාමය ගෙන එන බව ලිංග පුරාණය පවසයි. ස්කන්ධ පුරාණය සහ මාර්කණ්ඩේය පුරාණය පවසන්නේ පාර්වතී දේවිය යනු ආදි ශක්තියේ බෞතික ස්වරූපය මෙන්ම නිර්මාණයේ දිව්‍යමය මාතාව බවයි.

ශක්තී ධර්මය

ශක්තයන් දේවිය අරුත් ගන්වන්නේ උත්තරීතර අවසාන සදාකාලික යථාර්ථය වන බ්‍රහ්මන් ලෙසයි. ඇය සියලු නිර්මාණයේ ප්‍රභවය වන අතර එය පවත්වාගෙන යන ශක්තිය සේම සියල්ල විනාශයට පත් කරන ශක්තිය යි. ඇය පුරුෂ ස්වරූපයෙන් ශිව ලෙස ප්‍රකට වූ අතර ශිව ඇයගේ අර්ධ භාගය යි. ඇය ධර්මය ආරක්ෂා කිරීම සඳහා යම් යම් කාලයන් තුළ විවිධ ස්වරූප ප්‍රකට කරයි. ඉහළම අනුපිළිවෙලෙහි යෝගීන්ට අනුව, ඇය ජිවීන්ගේ ශරීරය තුල කුණ්ඩලිනියේ ස්වරූපයෙන් වාසය කරන ශක්තියයි.

වැදගත්කම

පාර්වතී ලෙස පෙනී සිටීමට පෙර පරාශක්ති භුවනේශ්වරීය හිමාලය රජු ඉදිරියේ පෙනී සිටිමින් දිව්‍යමය, සදාකාලික ඥානය ඔහුට හෙළි කළ බව දේවි ගීතාව තුළ සඳහන් වේ. තමා ආරම්භයක් හෝ අවසානයක් නොමැති පරම, සදාකාලික සත්‍යය බව ඇය පැහැදිලි කළාය. සමස්ථ විශ්වයම ඇගේ නිර්මාණයකි. ඇය එකම ජයග්‍රාහිකාව වන අතර ජයග්‍රහණයේ ප්‍රකාශනයම වේ. ඇය ප්‍රකාශිත, ප්‍රකාශ නොවූ හා එය ඉක්මවා ගිය දිව්‍යමය තාවයකි. ඇය රජුට තම විශ්ව ස්වරූපය දර්ශන කළ අතර; සත්‍යලෝකය ඇගේ නළලෙහි පිහිටා තිබුණි; නිර්මාණය කෙරූ විශ්වය ඇගේ හිසකෙස් විය; සූර්‍යයා හා චන්ද්‍රයා ඇගේ නේත්‍රාය; ඇගේ කන්වල සතර දිශාවන් විය; වේද යනු ඇගේ වචන ය; මරණය, සෙනෙහස සහ හැඟීම් ඇගේ දසන් විය; මායාව ඇයගේ සිනහවෙන් ප්‍රකට විය.

ශක්ත පුරාණ තුළ

දේවී භාගවත පුරාණය සඳහන් කරන්නේ ශිව දෙවියන් ඇයගේ “හ්‍රීම්" යන බීජ මන්ත්‍රය භාවිතා කරමින් වසර දහස් ගණනක් පුරා ඇය උදෙසා ධ්‍යාන වැඩූ බවයි. ආදි පරාශක්තිය ස්වරූපයක් රහිත (පරමාත්මය) සහ ස්වරූපයක් සහිත උත්තරීතර විඥානය ලෙසින් සැළකේ. ඇයගේ සහකාර තත්වයේදී (ස්වරූප සහිත) ඇය විශ්වයේ මෑණියන් ලෙස සියලුම ලෝකයන් ඉක්මවන සර්වලෝක මණිද්වීපය තුළ විරාජමානව සිටින බව පැහැදිලි වේ. ඇය මහාදේවිය වන අතර, අනෙක් සියලුම දෙවි දේවතාවුන් ඇයගේ විවිධ ස්වරූපයන් වේ.

गायन्ती दोलयन्ती च बालभावान्मयि स्थिते ।
सेयं सुनिश्चितं ज्ञातं जातं मे दर्शनादिव ।।
कामं नो जननी सैषा शृणु तं प्रवदाम्यहम् ।
अनुभूतं मया पूर्व प्रत्यभिज्ञा समत्थिता ॥

"මාගේ පෙර මතකයන් සියල්ල නැවත ලබාගනිමින් එතුමිය භගවතී බව හඳුනාගනිමි. මා මේ පවසන දේට අවධානයෙන් සවන් දෙන්න, මේ ආර්‍යාව අපගේ මෑණියන් ය."

— දේවී භාගවත පුරාණය සර්ග 03, පරිච්ඡේද 03, ශ්ලෝක 66:67
  • මාර්කණ්ඩේය පුරාණයේ දේවී මාහාත්ම්‍යම් තුළ ත්‍රීමූර්තිය ඇතුළු දේවතාවුන් ඇයව මෙලෙස ප්‍රශංසා කරයි.

ඍෂ්ටි ස්ථිති විනාශානාම්
ශක්තිභූතේ සනාතනි ।
ගුණාශ්‍රයේ ගුණමයේ
නාරායනී නමෝස්තුතේ ॥

සියල්ල නිර්මාණය කරන, සංරක්ෂණ සහ විනාශ කරන, සමස්ථ ගුණයන්ගේ මූලය මෙන්ම ප්‍රතිමූර්තිය වන්නා වූ නාරායනියට අපගේ නමස්කාරය වේවා!

නිර්මාණයේ කාර්යභාරය

  • දේවී භාගවත පුරාණය තෙවන සර්ගය තුළ දේවිය මෙසේ ත්‍රීමූර්තිය අමතයි.

මා සහ දෙවියන් වහන්සේ (පුරුෂ) අතර සැම විටම ඒකීය භාවයක් පවති. කිසිම අවස්ථාවක මා සහ දෙවියන් වහන්සේ අතර වෙනසක් නොමැත. මා කවුද, ඒ පුරුෂ ය; පුරුෂ කවුද එ මා වන්නේය. ශක්තිය සහ ශක්තිය දරා සිටින්නා අතර වෙනසක් හට ගන්නේ මායාව හේතුවෙනි. අප අතර ඇති සියුම් වෙනස දන්නා පුද්ගලයා නිසැකයෙන්ම ප්‍රඥාවන්ත ය; ඔහු සංසාර බන්ධනයන්ගෙන් මුක්ත වන්නේය. සදාකාලික වෙනස් නොවන එකම දෙවියන් වහන්සේ (බ්‍රහ්මන්) නිර්මාණ අවස්ථාවේදි ද්විත්ව වන්නේය.

— දේවී භාගවත පුරාණය සර්ග 03, පරිච්ඡේද 06, ශ්ලෝක 02:03
  • ත්‍රිපුරා රහස්‍යට අනුව විශ්වයේ ආරම්භයට පෙර සිටියේ දේවිය පමණි. ඇය ත්‍රිදේවයන් නිර්මාණය කොට විශ්වය නිර්මාණය කිරීම ආරම්භ කළාය.

පූර්ව කාලයේ, නිර්මාණ අවධියේදී, ත්‍රිපුරා නම් විශ්ව විඥානය පමණක් පැවතියහ. ඇය හැර අන් කිසිවක් නොවීය. ස්වයං ස්වාධීන ශක්තියේ ප්‍රතිමූර්තිය වන ඇයට නිර්මාණය කිරීමට අවශ්‍ය විය; එවිට ඉච්චාව වර්ධනය විය. තෘෂ්ණාවෙන් ඥානය ඉපදී ක්‍රියාව ඇති විය. ඇයගේ ක්ෂණික බැල්මෙන් ත්‍රිත්වය ජන්මය ලැබීය. පශුපති ඉච්චාව නියෝජනය කරන අතර හරි ඥානය සහ බ්‍රහ්මා ක්‍රියාව නියෝජනය කරයි. ශංකරිය ඔවුන් දෙස බැලූ අතර ඔවුන් ස්වාභාවිකම ශක්තිමත් සහ සත්‍යවාදි විය.

— ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍ය ඛණ්ඩ), පරිච්ඡේද 10, ශ්ලෝක 18 to 22

වෛෂ්ණව

සෞභාග්‍ය ​​දානය කරන්නිය, පද්මයන් හා සමාන නෙත් ඇති, සර්වඥ වූ, පරම යථාර්තය මෙනෙහි කරන්නිය, වැනි දහසක් නම් සහ ගුණ ඇති බවට ප්‍රශංසා කරනු ලබන ලක්ෂ්මී දෙවඟන ​​වෛෂ්ණව සම්ප්‍රදායේ මහාදේවිය ලෙසින් ගෞරවයට පාත්‍ර වේ. ගරුඩ පුරාණය, භාගවත පුරාණය සහ ලක්ෂ්මී තන්ත්‍රය වැනි ග්‍රන්ථවල ලක්ෂ්මී දේවිය හඳුන්වන්නේ මහාදේවී ලෙසයි.

ආදි පරාශක්තියේ ස්වරූප

ආදි පරශක්ති සාමාන්‍යයෙන් දැකිය හැක්කේ වියුක්ත දෙවඟනක් ලෙස ය. නමුත් ඇයගේ ස්වරූප පිළිබඳව දේවී භාගවත පුරාණ, කාලිකා පුරාණ, බ්‍රහ්මාණ්ඩ පුරාණ, දේවී මාහාත්ම්‍ය සහ ත්‍රිපුරා රහස්‍ය ආදියෙහි සඳහන් කොට ඇත. පාර්වති දේවිය යනු පරාශක්තියේ පූර්ණ භෞතික ස්වරූපයයි. එනම් පරාශක්තියෙ මනුශ්‍ය රුවයි. පාර්වතිය තම පෙර ජන්මයේදි සතී දේවියයි. පාර්වතීය කරුණාවන්ත හා ආදරණීය මාතෘ දෙවඟනලෙස පෙන්වනු ලැබේ.

ශක්ති සම්ප්‍රදායන්ට අනුව දේවිය යනු සර්වබලධාරි දෙවියන් වේ. විශ්වයන් තුල සිටින බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන ත්‍රිමූර්තීන් ඇය යටතේ පවතින අතර ඔවුනට ඇයගේ ශක්තිය නොමැතිව ක්‍රියා කළ නොහැක. මේ අනුව, ඇය ආදි පරාශක්තිය වන බැවින් ඇය ශක්තිවාදයේ උත්තරීතර දේවිය හා ප්‍රාථමික දේවිය ලෙස සැලකේ. අද්වෛත වේදාන්ත ශක්තී වන්දනය අනුව කුමන දිව්‍යමය ස්වරූපයකට වන්දනා කරත් වන්දනා කරනු ලබන්නේ ආදි පරාශක්තියටයි. ඇගේ වතෙහි තාරකා මිලියන ගණනක දීප්තිය අඩංගු වන අතර ඇගේ අලංකාරය එතරම්ම විශිෂ්ට ය.

දේවී භාගවත පුරාණයේ ඇයව විස්තර කරනු ලබන්නේ භුවනේශ්වරී දේවියගේ ස්වරූපයෙනි. භුවනේශ්වරි යන්නෙහි අරුත වන්නේ අවකාශයට ඊශ්වරිය යන්නයි. ඇය පාශයක්, අංකුසයක් මෙන්ම අභය සහ වරද මුද්‍රාවන් පෙන්වමින් සිටි. ඇය බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර සහ ඊශ්වර පාද සතර වන කොට්ටය සදාශිව වන ආසනයක විරාජමානව සිටි.

කාලි කුල සම්ප්‍රදාය තුළ ආධ්‍යා කාලි දේවිය පරාශක්තියේ පරම ස්වරූපයයි. ඇය ශුණ්‍යතාව මෙන්ම ආරම්භයද පෙන්නුම් කරයි. ඇයගේ රෞද්‍ර ස්වරූපය ජිවින්ට සංසාරයේ යථාර්ථය පෙන්නුම් කරන අතර භක්තිකයන්ට පරම මුක්තියද දායාද කරන බව මහාභාගවත පුරාණය තුල දැක්වේ. ඇය විෂ්ණු දෙවියන්ට මධු-කෛතභ සංහාරය කිරීමටත් දුර්ගා දේවියට ශුම්භ-නිෂුම්භ සංහාරය කිරීමටත් උපකාරි වුවාය.

ශ්‍රී කුල සම්ප්‍රදායට අනුව ඇය ත්‍රිපුර සුන්දරී ස්වරූපයෙන් වර්ණනා කරයි. බ්‍රහ්මාණ්ඩ පුරාණයේ ලලිතා මාහාත්ම්‍යට අනුව මහාදේවියගේ පූර්ණ ස්වරූපය ලෙස ත්‍රිපුර සුන්දරී දෙවඟන දක්වා ඇත.

යෝගමායා

මහාදේවිය යනු ඇත්ත වශයෙන්ම දෙවිවරුන් සඳහා මායාව නිර්මාණය කරන අතර ඔවුන්ට බ්‍රහ්මන් සමඟ සම්බන්ධ වීමට හැකි වන පරිදි කළ යුතු දේ සහ නොකළ යුතු දේ උගන්වයි. ලෝකය බේරා ගැනීම සඳහා යක්ෂයන් මධු සහ කෛටභ මරා දැමීමට ඇය විෂ්ණු දෙවියන්ට උපකාර කළාය. එපමණක් නොව, විෂ්ණු දෙවියන් ගුප්ත නින්දට රැගෙන යන්නේ ද ඇය වන බැවින් නාරායන දෙවියන්ගේ යෝගනිද්‍රාව ලෙසද හැඳින්වේ.

මහාමායා

ඇය මායාවේ උපාදානය නැති කරන දෙවඟනයි. මායාව ඇතිකරන්නෙත් නැතිකරන්නෙත් ඇයමයි. ඇය යෝගමායාව විසින් පාලනය කරනු ලබන අතර එබැවින් යෝගමායාට යටත් වන අතර මායාවට උසස් වේ.

වන්දනය

ශ්‍රී යන්ත්‍රය එහි අන්තර් සම්බන්ධිත ත්‍රිකෝණ නවය කුඩා ත්‍රිකෝණ 43ක් සාදන ආකාරය පෙන්වයි.

වක්‍රව හෝ සෘජුව සෑම කෙනෙකුම ඇයට නමස්කාර කරන බව ශක්ත බැතිමතුන් ප්‍රකාශ කරයි. යමෙක් ජීවිතයේ ධනාත්මක අංශ සඳහා තම ශක්තිය භාවිතා කරන විට, ඔවුන් ඇයට නමස්කාර කරයි. ශක්තයන් උපකල්පනය කරන්නේ, ඇය පරම ශක්තිය ලෙසයි, එබැවින් යමෙකු තම අභ්‍යන්තර ශක්තිය ඉහළ නංවා ගන්නේ කෙසේදැයි දන්නා විට සහ එදිනෙදා වැඩ සඳහා එම ශක්තිය සමතුලිත කරන්නේ කෙසේදැයි දන්නා විට අවසානයේ ඔවුන් ඇයට නමස්කාර කරයි. ස්වාමි විවේකානන්ද වැනි බොහෝ විද්වතුන් මානසික අපිරිසිදුකම නැවැත්වීම සඳහා භාවනාව හොඳම කරමය ලෙසින් ප්‍රිය කරයි, ඔවුන් ශුද්ධ භාවනාව සියලු මානසික කෙලෙස් දහනය කිරීමට උපකාරී වන බවත්, තමාගේ ශක්තිය දැන ගැනීමට සර්වබලධාරි මාතාවට නමස්කාර කිරීමට හොඳම ක්‍රමය බවත් ප්‍රකාශ කරයි.

විශේෂණ

මහාදේවිය බොහෝ නම් වලින් හඳුන්වයි. ඇය පොදුවේ හඳුන්වනු ලබන්නේ මූල ප්‍රකෘති ('ප්‍රාථමික පදාර්ථය') සහ මහාමායා ('මහා මායාව') ලෙසිනි. දේවි භාගවත පුරාණයේ සහ ලලිතා සහස්‍රනාමයේ මහාදේවිගේ නොයෙක් විරුදාවලියන් විස්තර කෙරේ. මෙම නම්වලට ඇගේ දිව්‍යමය හා විනාශකාරී ලක්ෂණ ඇතුළත් වේ.

වෙනත් දෙවිවරුන් සමඟ සම්බන්ධය

ශක්ති ධර්මයට අනුව සමස්ථ දෙවියන් බ්‍රහ්මයන් ආදි පරාශක්තියේ ස්වරූපයි. ඒ අතරින් නව ග්‍රහ මණ්ඩලය සහ විෂ්ණු දස අවතාර වලට පරාශක්තියේ ඇති සම්බන්ධතාව විශේෂ කොට දැක්වේ.

නව ග්‍රහ මණ්ඩලය සමඟ

දුර්ගා දේවියගේ නවදුර්ගා ස්වරූප නව ග්‍රහ මණ්ඩලයට ශක්තිය ලබා දේ.

  • කුෂ්මාණ්ඩා දේවිය හිරුට ශක්තිය ලබා දේ.
  • මහාගෞරි දේවිය රාහුට ශක්තිය ලබා දේ.
  • කාලරාත්‍රී දේවිය සෙනසුරු පාලනය කරනු ලබයි.
  • සිද්ධිදාත්‍රී දේවියට කේතුට ශක්තිය ලබා දේ.
  • කාත්‍යායනී දේවිය ගුරු ග්‍රහයාට ශක්තිය ලබා දේ.
  • බ්‍රහ්මචාරිනී දේවිය කුජට ශක්තිය ලබා දේ.
  • චන්ද්‍ර ග්‍රහයාගේ ශක්තිය දරා සිටින්නේ ශෛලපුත්‍රී (පාර්වතී) ස්වරූපයයි.
  • ස්කන්ධ මාතාව බුධ ග්‍රහයා පාළනය කරනු ලබයි.
  • සිකුරු ග්‍රහයා පාලනය කරනු ලබන්නේ චන්ද්‍රඝණ්ටා දේවියයි.

මෙලෙස නවදුර්ගා ස්වරූප වලින් නව ග්‍රහයන් පාලනය කරත් ග්‍රහ දෝෂ සඳහා පොදුවේ දුර්ගා දේවිය වන්දනා කරනු ලබයි.

දස අවතාර සමඟ

පරාශක්තියේ දස මහාවිද්‍යාවන් විෂ්ණු දස අවතාර වල ශක්තිය වේ.

 
දස මහාවිද්‍යා
මහාවිද්‍යා සමග අනුරූප අවතාර දහය
අංකය දේවියගේ නම අවතාරයේ නම
1. කාලී කෘෂ්ණ
2. තාරා (දේවී) රාම
3. ත්‍රිපුර සුන්දරී වාමන
4. භෛරවී වරාහ
5. භුවනේශ්වරී කල්කී
6. චින්නමස්තා නරසිම්හ
7. මාතංගී පර්ශුරාම
8. බගලාමුඛී කුර්ම
9. කමලාත්මිකා බලරාම
10 ධූමාවතී මත්ස්‍ය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    නමුණුකුළ කන්ද

  • මාර්තු 21, 2026

    ඇල්බට් අයින්ස්ටයින්

  • මාර්තු 14, 2026

    අට විසි බුදුවරු

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය උත්කේන්ද්‍රියතාවය

  • මාර්තු 25, 2026

    ආර්ථික විද්‍යාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට