| දේවී භාගවත පුරාණය | |
|---|---|
| හින්දු මහා පුරාණයක් | |
| තොරතුරු | |
| ආගම | හින්දු ධර්මය |
| කර්තෘ | වේද ව්‍යාස |
| භාෂාව | සංස්කෘත |
| පරිච්ඡේද | 318 |
| පද්‍ය | 18,000 |
දේවී භාගවත පුරාණය (සංස්කෘත: देवी भागवतपुराण), දේවී භාගවතම්, ශ්‍රීමද් භාගවතම් සහ ශ්‍රීමද් දේවි භාගවතම්, යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ව්‍යාස මුණිවරයන් විසින් සංස්කෘත භාෂාවෙන් රචිත මහා පුරාණ ග්රන්ථයන්ගෙන් එක් පුරාණයකි. එය මහාදේවිය කෙරෙහි භක්තිය ප්‍රවර්ධනය කරන අතර ශක්තදවෛතවාද සම්ප්රදායේ (සාංඛ්‍ය දර්ශනය සහ අද්වෛත වේදාන්තයේ සංකලනය) තේමා ඒකාබද්ධ කරයි. මෙය සාමාන්‍යයෙන් ශක්ත පුරාණයක් ලෙස සලකන අතර ඩව්සන් වැනි ඇතැම් විද්වතුන් මෙම පුරාණය ශෛව පුරාණයක් ලෙසද අර්ථ දක්වා ඇත.
මෙම ශුද්ධ වූ ලියවිල්ල සර්ග 12කින්, පරිච්ඡේද 318කින් සහ ස්ලෝක 18,000කින් සමන්විත වේ. ශක්තී ධර්මය තුළ මුඛ්‍ය ලියවිල්ලක් වන මෙම පුරාණය විශ්වයේ මූලය එනම් බ්‍රහ්මන් ලෙස සර්වබලධාරී දෙවඟන වන ආදි පරාශක්තිය අර්ථ දක්වයි. මෙහි සියළුම පැවැත්මේ නිර්මාතෘ, සංරක්ෂකයා සහ විනාශ කරන්නා මෙන්ම අධ්‍යාත්මික විමුක්තිය ලබා දෙන දිව්‍යමය ස්ත්‍රීත්වය වර්ණනා කරයි. හින්දු ධර්මයේ සියලුම ප්‍රධාන පුරාණ තුළ දේවිය පිළිබඳව සඳහන් කර ගෞරව කර ඇතත්, මෙම පුරාණයෙහි මූලික වස්තු විශ්වය ඇය වටා කේන්ද්‍රගත වේ. මෙහි අද්වෛත වේදාන්ත දාර්ශනික එකවාදය හා ශක්ති වන්දනය මිශ්‍ර කොට ඇත. මෙය පරික්ෂිත්ගේ පුත් ජනමෙජය රජුට ව්‍යාස විසින් වදාළ බව විශ්වාස කෙරේ.
නාමකරණය
ශ්රිමද් දේවී භාගවතම් යන්නෙහි සංක්ෂිප්ත අර්ථය වන්නේ භාග්‍යවත් දේවියගේ බැතිමතුන් යන්නයි. ජොන්සන් එහි තේරුම දීප්තිමත් දේවතාවියගේ පුරාණ වංශ කතාව ලෙස ප්‍රකාශ කරයි.
- ශ්‍රීමද්, ශ්‍රීමත් (සංස්කෘත: श्रीमत्) යන්නෙහි අරුත් වන්නේ ශුද්ධ, තේජාන්විත හෝ ශ්‍රීමත් වන අතර එය ගෞරවනීය ආගමික පදවි නාමයකි.
- ශ්‍රී (සංස්කෘත:श्री) යන්නෙන් අදහස් කරන්නේ සමෘද්ධිමත් බවයි. ප්‍රධාන වශයෙන් විෂ්ණුගේ පතිනිය වන ලක්ෂ්මී දේවියටද ශ්‍රී යනුවෙන් ආමන්ත්‍රණය කරයි. ඒ හැරුණු කොට භුවනේශ්වරී දේවියටද ශ්‍රී මාතා නමින් ආමන්ත්‍රණය කරයි.
- දේවී (සංස්කෘත: देवी) යනු දේව යන්නෙහි ස්ත්‍රී ලිංග පදයයි.
- භාගවත, භාගවතම් හෝ භාගවත් (සංස්කෘත: भागवत) භාග්යවන්තයාගේ බැතිමතුන් යන්නයි. දේවී භාගවත පුරාණයේ භාග්‍යවත් තැනැත්තා හෙවත් දෙවියන් වහන්සේ ලෙස සඳහන් වන්නේ දේවියයි.
- පුරාණ (සංස්කෘත:पुराण) යනු පෞරාණික සහ පැරණි (හෝ පැරණි ඉතිහාසය) යන්නයි.
ඉතිහාසය

රාමචන්ද්‍රන් වැනි විද්වතුන් කිහිප දෙනෙකු යෝජනා කරන්නේ ක්‍රි.ව. 6 වන සියවසට පෙර මෙම පාරිශුද්ධ ලියවිල්ල රචනා කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙහි සැබෑ කාලයක් නිශ්චිතවම සොයාගෙන නොමැති අතර බොහෝ විද්වතුන් එය 9 වන සහ 14 වන සියවස අතර කාලයට සම්බන්ධ කර ඇත.
පුරාණයට අනුව
දේවී භාගවත පුරාණයේ දොළොස්වන සර්ගයේ දහහතර වන පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පූර්ව කාලයේදි භගවතී දේවියගේ වතෙන් අර්ධ ශ්ලෝකයක් ආකාරයට ශ්‍රීමත් භාගවත පුරාණය ප්‍රකට විය.දේවිය විසින් එය බාල ස්වරූපයෙන් සිටි විෂ්ණු හට දුන් ඥානයයි. පසුව බ්‍රහ්ම දෙවියන් විසින් එය කෝටි සීයයක ශ්ලෝක ප්‍රමාණයකට ප්‍රසාරණය කළේය.
ව්‍යුහය
ශ්ලෝක
දේවී භාගවත පුරාණයේ සර්ග 12ක් සහ පරිච්ඡේද 318ක් ඇත. එහි ශ්ලෝක 18,000 ක් ඇති බව පාඨය තහවුරු කරන නමුත් සැබෑ පෙළ විවිධ අනුවාදවල වෙනස් වේ.
| ශ්‍රීමද් දේවි භාගවතම් සර්ග සහ ශ්ලෝක | ||
|---|---|---|
| ස්වාමි විඥානානන්දගේ පරිවර්තනය | ||
| සර්ග | පරිච්ඡේද | ශ්ලෝක |
| 1 | 20 | 1,185 |
| 2 | 12 | 723 |
| 3 | 30 | 1,746 |
| 4 | 25 | 1,426 |
| 5 | 35 | 2,086 |
| 6 | 31 | 1,885 |
| 7 | 40 | 2,251 |
| 8 | 24 | 793 |
| 9 | 50 | 3,563 |
| 10 | 13 | 508 |
| 11 | 24 | 1,239 |
| 12 | 14 | 964 |
| එකතුව | 318 | 18,369 |
| වෙනස (සංස්කෘත) | +369 | |
අන්තර්ගතය
ලින් ෆොල්ස්ටොන් සහ ස්ටුවර්ට් ඇබොට් සඳහන් කරන ආකාරයට මෙම ලියවිල්ල පුරාණ ඉතිහාසය, පාරභෞතික විද්‍යාව සහ භක්තිය පිළිබඳ විශ්වකෝෂ මිශ්‍රණයකි. සී මැකන්සි බ්‍රවුන් පවසන පරිදි මෙම ඉතිහාසය අනෙකුත් පුරාණ වල දක්නට ලැබෙන එකම ආකාරයෙන් ධර්මය සහ අධර්මය නිරූපණය දෙවිවරුන් හා අසුරයන් අතර සදාකාලික ගැටුම් චක්‍රය ගැන සඳහන් වන බවයි. මෙම පුරාණෝක්තියන් හින්දු ඉතිහාසය ගොඩනඟාගෙන ව්‍යාප්ත කරයි. කෙසේ වෙතත්, මෙම පුරාණය දිව්‍යමය ස්ත්‍රීභාවය පිළිබඳ කරුණු අවධාරණය කරන අතර ඇය භක්තියේ තේමාව මෙන්ම මුළු විශ්වයේම සදාතනික ප්රභවය ලෙසත්, සෑම දෙයකම සදාකාලික අවසානයත්, ඇයගේ නිර්ගුණ (ස්වරූපයක් රහිත) සහ සගුණ (ස්වරූප සහිත) තත්වයන්ද, ඇයම උත්තරීතර නොවෙනස්වන යථාර්ථයත් (පුරුෂ) විස්මිත වෙනස්වන යථාර්ථයත් (ප්‍රකෘති) මෙන්ම සෑම ජීවියෙකු තුළම පවතින ආත්මය ඇයම බව සඳහන් කරයි.
ප්‍රකාශිත කර්තෘත්වය සහ අරමුණ
ස්වාමි විඥානානන්දගේ පරිවර්තනයෙන්:
ශ්‍රීමත් දේවී භාගවතම් දොළොස්වැනි සර්ගය, 14 වන පරිච්ඡේදය, ශ්ලෝක 1:4
සූත පැවසුවේය: “මුනිවරුනි! පුරාණ කාලයේදී භගවතී දේවියගේ පද්මයක් වන් මනරම් වතෙන් (මුහුණෙන්) වේදයේ සමාප්තිය ලෙස අර්ධ ශ්ලෝකයක් ආකාරයෙන් ශ්‍රීමද් භාගවතම් ප්‍රකට විය. ඇය නිර්මාණ ක්‍රියාවලියේදි බාල ස්වරූපයෙන් නුග පත්‍රයක් මත වැඩ සිටි නාරායන දෙවිඳුන් ලබා දුන් උපදෙස් මෙහි මූලය වූ අතර බ්‍රහ්ම දෙවිදුන් එය ස්ලෝක කෝටි සියයක් දක්වා ප්‍රසාරණය කළේය. ඉන්පසු වේද ව්‍යාස මුණි තම පුත්‍ර ශුක දේව හට ඉගැන්වීමට එය ස්ලෝක 18000කට සංක්ෂිප්ත කොට සර්ග 12 කට වෙන් කොට ශ්‍රීමද් දේවී භාගවතම් ලෙස නම් කළේය. බ්‍රහ්ම දෙවිඳුන් විසින් සකස් කළ ශ්ලෝක කොටි සියයක් අඩංගු එම විශාල ග්‍රන්ථය තවමත් ස්වර්ග ලෝකය තුළ පවති.
— ශ්‍රීමත් දේවී භාගවතම් දොළොස්වැනි සර්ගය, 14 පරිච්ඡේදය, ශ්ලෝක 1:4
ශ්‍රීමද් දේවී භාගවතම් පළමුවන සර්ගය, 2වන පරිච්ඡේදය, ශ්ලෝක 11:12
ශ්‍රීමත් භාගවත පුරාණය (දේවී භාගවත) තුළ විශිෂ්ට දිව්‍යමය සහ පාරිශුද්ධ ශ්ලෝක 18,000ක් පවති. ක්‍රිශ්ණ ද්වෛපායන (වේද ව්‍යාස) විසින් එය සර්ග දොළහකට සහ පරිච්ඡේදයන් 318 කට වෙන් කරනු ලැබුවේය.
— ශ්‍රීමද් දේවී භාගවතම් පළමුවන සර්ගය, 2වන පරිච්ඡේදය, ශ්ලෝක11:12
ශ්‍රීමත් දේවී භාගවතම් පළමුවන සර්ගය, 1වන පරිච්ඡේදයේ, ශ්ලෝකය 21
ඕ සූත! අමෘතය පවා පානය කිරීමෙන් මුක්තිය නොලැබෙන්නේය. එහෙත් භාගවත ශ්‍රවණය කිරීමෙන් යළි යළිත් මරණයට පත්ව ජන්මය ලබන මෙම සංසාරයෙන් මුක්තිය ලැබෙන්නේය.
— ශ්‍රීමත් දේවී භාගවතම් පළමුවන සර්ගය, 1වන පරිච්ඡේදයේ, ශ්ලෝක 21
හින්දු විශ්වාසය අනුව පරම දෙවිඳුන්ගේ ලිලාවන් වර්ණනා කරන්නා වූ පුරාණ ග්‍රන්ථය වන්නේ භාගවත පුරාණය යි. වර්තමානයේ භාගවත පුරාණ ද්විත්වයක් දැකිය හැකි අතර එනම් විෂ්ණු භාගවත පුරාණය සහ දේවී භාගවත පුරාණය යි. ඇතැම් විද්වතුන්ට අනූකූලව ව්‍යාස විසින් රචනා කළ සත්‍ය භාගවත මහාපුරාණය දේවී භාගවත පුරාණය වන අතර ශිව පුරාණය, ස්කන්ද පුරාණය, කුර්ම පුරාණය, වරහා පුරාණය එයට මැනවින් සාධක සපයයි. එය භගවති දේවිය මෙන්ම කෘෂ්ණ දෙවිඳුන්වද මැනවින් වර්ණනා කරනු ලබයි.
ස්කන්ද පුරාණය දේවී භාගවත මහත්යම්, 1වන පරිච්ඡේදයේ ශ්ලෝකය 37
අථෝ භාගවතම් දේව්යාහ් පුරාණම් ප්රථහ පරම් |
ධර්මාර්ථකාමමෝක්ශාණාමුත්තමම් සාධනම්මතම් ||
භාගවත එනම් දේවී පුරාණය ධර්ම අර්ථ කාම මෝක්ශ යන මහා ගුණයන් අඩංගු වන්නා වූ සියලු මුලාශ්‍රයන් පරයන්නා වූ පරම මුලාශ්‍රයයි.
ජේ.එල් ශාස්ත්‍රී පරිවර්තනයෙන්:
ශිව පුරාණ: උමා සංහිතා, 43 වන පරිච්ඡේදය, 76 වන ශ්ලෝකය
දුර්ගා දේවියගේ කථා සඳහන් වන ස්ථානය එය භාගවත පුරාණය මෙන්ම දේවි පුරාණය ද යැයි කියවේ.
— ශිව පුරාණ: උමා සංහිතා, 43 වන පරිච්ඡේදය, 76 වන ශ්ලෝකය
පුරාණ ලක්ෂණ
මහා පුරාණයක් ලෙස
පුරාණ සාහිත්‍ය තුළ භාගවත පුරාණ දෙකක් ඇත. එකක් විෂ්ණු භාගවත වන අතර අනෙක දේවී භාගවතයි. ඉන්දියාවේ පවා මෙම පුරාණ දෙකෙහි අව්‍යාජභාවය පිළිබඳ යම් සැකයක් තිබේ. උදාහරණයක් ලෙස ශිව පුරාණයේ උමා සංහිතාව තුළ දේවී භාගවත පස් වන මහා පුරාණය වන භාගවත පුරාණය ලෙස දක්වා තිබේ. දේවි භාගවත එය තුළම හැඳින්වෙන පරිදි, භාගවත හෝ ශ්‍රීමද් භාගවත යන වදන් මත්ස්‍ය පුරාණ ඇතුළු අනෙකුත් පුරාණවල අඩංගු භාගවත අර්ථ දැක්වීම් වලට අනුකූල වේ.
මත්ස්‍ය පුරාණයේ සඳහන් වන පරිදි, භාගවත පුරාණයේ ස්ලෝක 18,000 ක් අඩංගු වන අතර එය ගායත්රිය සමඟ ආරම්භ වී සාරස්වත කල්පය උත්කර්ෂයට නංවයි. එය සාරස්වත කල්පයේ රචනා වූවක් බව ව්‍යාස දේවි භාගවතම්හි සඳහන් කරයි. එමෙන්ම පුරාණය ආරම්භ වන්නේද ගායත්‍රි මන්ත්රයෙනි.
විෂ්ණු භාගවත පුරාණය මෑතකදි බෝපදේව නම් කතුවරයෙකු විසින් රචනා කෙරු මුලාශ්‍රයක් බවත මහා පුරාණ අතුරින් පස්වන මහාපුරාණය දේවී භාගවත පුරාණය බව දේවී බැතිමතුන් හා ඇතැම් විද්වතුන්ගේ මතයයි.
විෂ්ණුලොක් බිහාරි ශ්‍රීවාස්තවා ප්‍රකාශ කරන්නේ සංස්කෘත සාහිත්‍යයේ ශ්‍රීමද් භාගවතම් සහ දේවි භාගවතම් යන දෙකම මහාපුරාණ ලෙස පිළිගෙන ඇති අතර වායු පුරාණය, මත්ස්‍ය පුරාණය සහ ආදිත්‍ය උප පුරාණය දේවි භාගවතම් මහා පුරාණයක් ලෙස පිළිගන්නා බවයි. වනමලි සිය "ශක්ති" නම් ග්‍රන්ථයේ සඳහන් කරන්නේ දේවි භාගවතම් මහා පුරාණයක් ලෙස වර්ග කර ඇති බවයි. දේවි භාගවත පුරාණය තුළ එය භාගවත් මහාපුරාණය ලෙසත් වෛෂ්ණව භාගවත උප-පුරාණයක් ලෙසත් නම් කර ඇති බව පූරි සඳහන් කරයි.
පුරාණ දහඅට අතරට භාගවත ඇතුළත් කිරීම පිළිගත හැකි බව විල්සන් ප්‍රකාශ කරයි, නමුත් වෛෂ්ණව භාගවතයට වඩා භාගවත අර්ථකථනයන් දේවී භාගවත පුරාණයට වඩාත් නිවැරදිව අදාළ වන බැවින් එය දේවි භාගවත විය හැකි බව කියනු ලැබේ.
පංච ලක්ෂණ
සාත්ත්වික ශක්ත පුරාණයක් ලෙස ශ්‍රීමත් දේවී භාගවතම් තුළ ලක්ෂණ පහක් තිබේ.
ශ්‍රීමත් දේවී භාගවතම්, පළමුවන සර්ගය, 2වන පරිච්ඡේදයේ, ශ්ලෝක 17:18
මෙලෙස වේද ව්‍යාස විසින් මෙම භාගවත පුරාණය තුළ සර්ග සහ පරිච්ඡේදයන් ගණනාවකට වෙන් කරනු ලැබුවේය. එම ශ්ලෝක ප්‍රමාණය 18,000ක් බව දැනටමත් දක්වා තිබේ. පුරාණය තුළ පහත සඳහන් ලක්ෂණ පහ ඇතුළත් වේ: (1) සර්ග (විශ්ව නිර්මාණය), (2) ප්‍රතිසර්ග (දෙවන නිර්මාණය), (3) වංශ (රාජවංශයන්), (4) මන්වන්තර (මනු යුග). (5) වංශ නුචරරිත (මනු සහ අනෙකුත් රජවරුන් පිළිබඳ විස්තර).
— ශ්‍රීමත් දේවී භාගවතම්, පළමුවන සර්ගය, 2වන පරිච්ඡේදයේ, ශ්ලෝක 17:18
චරිත
දේවියගේ ස්වරූපයන්
මෙම වගුව පුරාණයේ සඳහන්, දේවිගේ කැපී පෙනෙන අවතාර පෙන්වයි
| ස්වරූපය | විස්තරය | සර්ගය |
|---|---|---|
| භුවනේශ්වරී | තෙවන මහාවිද්‍යා ස්වරූපය, මණිද්වීපයේ රැජින | -- |
| දුර්ගා | ආරක්ෂාව, ශක්තිය, මාතෘත්වය, විනාශය සහ යුද්ධයට අධිපති දෙවඟන | 5, 7, 9 |
| පාර්වතී | කෛලාසය මත වැඩ සිටින ආදරය හා සශ්‍රීකත්වයේ දෙවඟන | -- |
| කාලී | කාලය හා විනාශයේ දෙවඟන | 5, 9 |
| ලක්ෂ්මී | ධනයේ හා පාරිශුද්ධත්වයේ දෙවඟන වන විෂ්ණුගේ භාර්යාව | 1, 3, 9 |
| සරස්වතී | බ්‍රහ්මාගේ භාර්යාව, දැනුම, සංගීතය, කලාව, කථාව, ප්‍රඥාවට අධිපති දෙවඟන | 3, 5, 9 |
| රාධා | කෘෂ්ණගේ භාර්යාව, ආදරය, දයාව සහ භක්තියේ දෙවඟන, ගෝලෝකයේ රැජින | 9 |
| සාවිත්‍රී | ගායත්‍රි මන්ත්‍රයේ පුද්ගලාරෝපිත ස්වරූපය සහ වේදයේ මව | 9 |
| ශාකම්භරී | එළවලු පලතුරුවලින් මිනිස් වර්ගයා පෝෂණය කළ තැනැත්තිය | 7 |
| බ්රමරී | මී මැස්සන්ට අධිපති දෙවඟන | 10 |
සර්ග
පළමුවන සර්ගය
පරිච්ඡේදයන් 20ක් ඇත. අනෙකුත් පුරාණයන් මෙන් පුරාණයට පාදක වන වස්තු විශය පිළිබඳව පැහැදිලි කරයි. පුරාණයේ විශිෂ්ටත්වය සහ දේවියගේ මහිමය ගැන මූලික වශයෙන් පැහැදිලි කරයි, පහළොස්වන පරිච්ඡේදයේ, නුග පත්‍රයක් මත කුඩා දරුවෙකුගේ ස්වරූපයෙන් වැතිර සිටින විෂ්ණුට දේවිය ඇගේ සැබෑ අනන්‍යතාවය හෙළි කරයි.එමෙන්ම පහත කරුණුද අඩංගු වේ:
- මධු සහ කෛතභ සංහාරය
- විෂ්ණු රූපි හයග්රීවගේ වෘතාන්තය.
- ශුකදේව ගේ ජන්මය සහ ජනක හමුවීමට මිතිල වෙත යාම.
- විෂ්ණු වෙත භගවතියගෙන් උපදෙස්
ශ්‍රීමත් දේවී භාගවතම් 01 වන සර්ගය, 02 වන පරිච්ඡේදය, 03 වන ශ්ලෝකය:
नत्वा तत्पदपङ्कजं सुललितं मुक्तिप्रदं योगिनां
ब्रह्माद्यैरपि सेवितं स्तुतिपर््येयं मुनीन्द्रैः सदा ।
वक्ष्याम्यद्य सविस्तरं बहुरसं श्रीमत्पुराणात्तमं
भक्त्या सर्वरसालयं भगवतीनाम्ना प्रसिद्धं द्विजाः ॥
ඕ බ්‍රාහ්මණ වරුනි! බ්රහ්මා, විෂ්ණු මහේශ්වර සහ අනෙකුත් දේවතාවුන් වර්ණනා කරන, යෝගින් මුක්තිය සඳහා ධ්‍යාන වඩන තුන් ලෝකයේ භගවතී මාතාව නමින් හදුන්වන දේවියගේ පාද පද්මයන් මා නමස්කාර කරමි. මා අද සියලුම සමෘද්ධියන් ලබාදෙන, සියලු රසයන්ගෙන් පරිපූර්ණ වූ සියලු පුරාණයන්ගෙන් ශ්‍රේෂ්ඨතම පුරාණය වන ශ්‍රීමත් දේවී භාගවතම් භක්තියෙන් සරල භාෂාවෙන් විස්තර කරමි.
— ශ්‍රීමත් දේවී භාගවතම් 01 වන සර්ගය, 02 වන පරිච්ඡේදය, 03 වන ශ්ලෝකය
දෙවන සර්ගය
පරිච්ඡේදයන් 12 කින් සමන්විතය. මෙම සර්ගය කෙටි මෙන්ම ඓතිහාසිකය. එහි හින්දු වීර කාව්‍යයක් වන "මහා භාරතය" තුළ හොඳින් දන්නා චරිත නිරූපණය කරයි.
- වේද ව්‍යාසගේ ජන්මය
- පාන්ඩවයන්ගේ ජන්මය
- කුරුක්ෂේත්‍ර සංග්‍රාමය පිළිබඳ විස්තර
- පරික්ශිත් ගේ මරණය
තෙවන සර්ගය
පරිච්ඡේදය 30 ක් අඩංගු වන අතර මෙහි විශ්වය ආරම්භයේදි බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව ප්‍රථම වරට භුවනේශ්වරී දේවිය බැහැදැකීමට යන ආකාරයත් දේවියගේ ශක්තීන් පිළිබඳව වර්ණනා කිරිම් අඩංගු වේ.
- ප්‍රතිසර්ග (විශ්වයේ දෙවන නිර්මාණය) පිළිබඳ විස්තර.
- ත්‍රීමුර්තිය යානයකින් මණිද්වීපය වෙත පැමිණීම.
- යුධාජිත් සහ වීරසේන අතර සංග්‍රාමය
- නවරාත්‍රී උත්සවය සහ රාම කුමරු නවරාත්ර පූජාව කරන අකාරය.
ශ්‍රීමත් දේවී භාගවතම් 03 වන සර්ගය, 03 වන පරිච්ඡේදය, 52 වන ශ්ලෝකය:
दु्तेयाऽल्पधियां देवी योगगम्या दुराशया ।
इच्छा परात्मनः कामं नित्यानित्यस्वरूपिणी ॥
විපරීත බුද්ධියක් සහිත පුද්ගලයන්ට දේවිය වටහා ගත නොහැකිය; තම යෝග ශක්තියෙන් ඇයව දැකිය හැක්කේ යෝගීන්ට පමණි. ඇය නිත්‍ය බ්‍රහ්මන් මෙන්ම අනිත්‍ය මායාවයි. ඇය පරමාත්මයේ ඉච්ඡා ශක්තියයි. ඇය මෙම ලෝකයේ පළමු නිර්මාතෘවරියයි.
— ශ්‍රීමත් දේවී භාගවතම් 03 වන සර්ගය, 03 වන පරිච්ඡේදය, 52 වන ශ්ලෝකය
සිව්වන සර්ගය
පරිච්ඡේද 25 ක් ඇත. සිව්වන සර්ගයේ අඩංගු වන්නේ කෘෂ්ණ සහ ශිව දෙවියන්ගේ විවිධ අවතාර පිළිබඳවයි. එමෙන්ම යෝග සහ භාවනාවන් පිළිබඳවද සඳහන් වේ.
- ශ්‍රි කෘෂ්ණගේ උත්පත්තිය.
- නර සහ නාරායන් පිළිබඳව විස්තර.
- ප්‍රලාද සහ ඍෂිවරුන් අතර සංග්‍රාමය.
- විෂ්ණු දෙවියන්ගේ විවිධ ස්වරූප පිළිබඳ විස්තර.
පස්වැනි සර්ගය

පරිච්ඡේදයන් 25 ක් අඩංගු මෙම සර්ගයේ දේවියගේ මහිමයන් (දේවී මාහත්ම්යම්) පිළිබඳව විස්තර කරනු ලබයි.
- රම්භ - ක්රම්භ වෘතාන්තය සහ මහිෂාසුරගේ උත්පත්තිය
- දේවතාවුන් සහ මහිෂාසුර අතර සංග්‍රාමය
- දේවතාවුන්ගේ ශක්තීන් වලින් මහාලක්ෂ්මි දුර්ගා දේවිය ප්‍රකට වීම.
- මහිෂාසුර සංහාරය කොට දේවිය මණිද්වීපය වෙත පිටත් වීම.
- බ්රහ්මගේ වරයෙන් ශුම්භ - නිෂුම්භ ස්වර්ග ලෝකය යටත් කර ගැනීම.
- මහාසරස්වතී දේවියගේ ප්‍රකට වීම.
- චාමුණ්ඩා දේවිය චණ්ඩ - මුණ්ඩ සංහාරය කිරීම.
- දේවියගේ පරිවාර සේනාව ලෙස මාත්‍රිකාවන් ප්‍රකට වීම
- ශුම්භ - නිෂුම්භ සහ මහාසරස්වතී දුර්ගා දේවිය අතර සංග්‍රාමය.
- ශිව දෙවියන් ලිංගොද්භව ස්වරූපයෙන් බ්‍රහ්ම සහ විෂ්ණු ඉදිරියේ ප්‍රකට වීම.
- සුරතගේ සමාධිය සහ දේවියගෙන් වර ලැබීම.
හයවැනි සර්ගය
පරිච්ඡේද 31 ක් අඩංගු වේ. හයවන සර්ගයේ මෙම පුරාවෘත්තයන් අඛණ්ඩව සඳහන් කරයි. සියලුම පුරුෂ දේවතාවුන් යැපෙන ස්ත්‍රීත්වය මෙම සර්ගයෙන් ඉදිරිපත් කෙරේ.
- ඉන්ද්‍ර සහ වෘතාසුර අතර සංග්‍රාමය
- නහුශ ඉන්ද්‍ර පදවිය ලබාගැනීම සහ ඉන්ද්‍රානි දේවිය විශ්ව මාතාව ආවාහනය කිරීම.
- ශිව දෙවියන් ලක්ෂ්මී දේවියට වරයන් ලබාදීම.
- නාරද මුණිවරයා ස්ත්‍රීයක් වු ආකාරය සහ දේවියගේ කරුණාවෙන් නැවත පුරුෂ භාවය ලබා ගැනීම
- විෂ්ණු දෙවියන් මහාමායාවගේ වැදගත්කම පිළිබඳව දේශනා කිරීම.
හත්වැනි සර්ගය

පරිච්ඡේද 40 කින් සමන්විතයි. ''ශ්‍රීමත් දේවි-භාගවතම් '' හි හත්වැනි සර්ගයේ වේදයන්ගේ හරය පිළිබඳ එහි අනුවාදය තහවුරු කරමින් වඩාත් දාර්ශනික භාවයකට නැඹුරුව වේ. මෙහි "දේවී ගීතා" නමින් දාර්ශනික පාඨයක් අඩංගු වේ. දේවිය බ්‍රහ්මන් පිළිබඳ යථාර්ථය මෙන්ම ආත්මන් සහ බ්‍රහ්මන් එකක්, බවත් එය වටහා ගත් විට මුක්තිය ලැබෙන බව යන අද්වෛත වේදාන්ත සංකල්පය තහවුරු කරයි.පරාශක්තිය තහවුරු කරන පරිදි මෙම දැනුම පැමිණෙන්නේ මායාවෙන් පිරුණු ලෝකයෙන් වෙන් වී තම ආත්මය ගැන මෙනෙහි කිරීමෙන් ය. එමෙන්ම 28 වන පරිච්ඡේදය තුළ දුර්ගමාසුරගේ සහ දේවියගෙ ශාකම්භරී ස්වරූපයේ කතා වස්තුවද, සූර්යවංශය පිළිබඳව කරුණුද සඳහන් වේ.
- සුකන්ය සහ මහර්ෂි ච්යාවනගේ කතාව
- හරිශ්චන්ද්‍ර රජු විශ්වමිත්‍රගේ උදහසට ලක් වීම.
- පරාශක්තිය ප්‍රජාපති දක්ෂ රජුගේ නිවසේ සති ලෙස ජන්මය ලැබීම.
- තරකාසුර විසින් දේවතාවුන් පරාජය කරන කිරිම සහ දේවිය හිමාලයේ දියණිය ලෙස උත්පත්තිය ලැබීම.
- දේවිය තම විශ්ව ස්වරූපය ප්‍රකට කිරිම සහ හිමාලය රජුට බ්‍රහ්ම ඥානය ප්‍රධානය කිරීම.
අටවැනි සර්ගය
පරිච්ඡේද 24 කින් සමන්විතවය. මෙහි ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ලෝක විශයයි. භූ මණ්ඩලය, ජම්බුද්විපය ඇතුලු ද්වීප පිළිබඳවත්, මනු වංශ පිළිබඳව සඳහන් වේ.
- ස්වායම්භුව මනුගේ නිර්මාණය සහ විෂ්ණු දෙවියන්ගේ වරාහ ස්වරූපය
- මනු රාජ වංශය පිළිබඳව විස්තර.
- භූමණ්ඩලයේ පරිණාමය හා ප්‍රසාරණය, සප්ත මහා ද්වීප, ජම්බුද්වීපය සහ එහි ගංගාවන්, පර්වතයන් පිළිබඳ විස්තර.
- ජම්බුද්වීපයේ එක් එක් වර්ස තුළ නාරායන දෙවියන් වන්දනාමාන කරන ස්වරූප.
- චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක වල චලනය පිළිබඳ විස්තර.
- විවිධ නිරයන් ඇතුළු අතල, විතල, සුතල, තලාතල, මහාතල, රසාතල සහ පාතාලය පිළිබඳ විස්තර.
නවවන සර්ගය
පුරාණයේ විශාලතම සර්ගය වන මෙහි පරිච්ඡේදයන් 50 ක් ඇත. මෙහි විස්තර වන්නේ විශ්ව නිර්මාණයයි. (සර්ග) මෙහි කරුණු බ්රහ්මවෛවර්ත පුරාණයේ ප්‍රකෘති කන්ද හා සමාන වේ.
- දේවියගේ පංච ස්වරූප (පංච ප්‍රකෘති) පිළිබඳ විස්තර.
- ශ්‍රී පරම කෘෂ්ණගේ ප්‍රකට වීම විශ්වයේ පළමු නිර්මාණය (සර්ග)
- ශ්‍රී කෘෂ්ණ තුළින් බ්‍රහ්ම, විෂ්ණු සහ ශිවගේ උත්පත්තිය.
- ලක්ෂ්මී, සරස්වතී සහ ගංගා දේවීන් එකිනෙකාට ශාප කර භාරත වර්සයට පැමිණීම.
- කලි යුගයේ විස්තර සහ එහි බලපෑම්
- තුලසි දේවියගෙ වෘතාන්තය සහ කිරි සයුරින් ලක්ෂ්මී දේවිය ප්‍රකට වීම
- රාධා සහ දුර්ගා දේවින් වන්දනා කරන මන්ත්රයන්
ශ්‍රීමත් දේවී භාගවතම් 09 වන සර්ගය, 38 වන පරිච්ඡේදය, ශ්ලෝක 29:31:
रूपं विभर्त्यरूपा च भक्तानुग्रहहेतवे ॥
गोपालसुन्दरीरूपं प्रथमं सा ससर्ज ह ।
अतीव कमनीयं च सुन्दरं सुमनोहरम् ॥
नवीननीरदश्यामं किशोरं गोपवेषकम् ।
कंदर्पकोटिलावण्यं लीलाधाम मनोहरम् ॥
ඇය නිර්ගුණ වුවද, භක්තිකයන්න්ගේ ඉච්ඡාවන් තෘප්තිමත් කිරීම සඳහා ස්වරූප ධාරණය කරගනි. ඇය ප්‍රථමයෙන් නිර්මාණය කරන ලද්දේ මනස ආකර්ෂණය කර ගන්නා ඉතා සුන්දර හා අලංකාර ගෝපාල සුන්දරීගේ (කෘෂ්ණ) අලංකාර ස්වරූපයයි. ඔහුගේ ශරීරය නවුම් වැසි වළාකුළුක් මෙන් නිල් වර්ණයෙ යුක්තය. ඔහු තාරුණ්‍යන් යුක්ත වු අතර ගොපල්ලෙකු මෙන් සැරසී සිටියේය
— 09 වන සර්ගය, 38 වන පරිච්ඡේදය, ශ්ලෝක 29:31
දසවැනි සර්ගය
පරිච්ඡේද 13 කින් සමන්විත මෙම සර්ගය දේවි භාගවත පුරාණයේ කෙටිම සර්ගයකි. මෙහි මනුගේ නිර්මාණයන් සහ සංසාරයේ සෑම කාලයකම දේවිය නමස්කාර කරන බව සඳහන් වේ . අරුණාසුර සංහාරය කෙරූ බ්රහ්මරී දේවිය පිළිබඳවද විස්තර අඩංගු වේ.
එකොළොස්වැනි සර්ගය
පරිච්ඡේද 24 සහිත මෙම සර්ගයෙහි පුද්ගලයෙක් වශයෙන් තිබිය යුතු ගුණධර්ම සහ ධර්මය ගැන සාකච්ඡා කරනු ලැබේ. මෙම කොටස මඟින් සෘති වර්ණනා කරන අතර ස්මෘති සහ පුරාණ ද මඟ පෙන්වීම සඳහා වූ මූලාශ්‍ර බව සඳහන් කෙරේ. රුද්රාක්ෂ පිළිබඳව මෙන්ම පස් ආකරයේ යාගයන් පිළිබඳවත් සඳහන් වේ.
දොළොස්වැනි සර්ගය

පරිච්ඡේද 14 කින් සමන්විත දේවි භාගවතම්හී 12 වන සහ අවසාන සර්ගය තුළ දේවිය ආධ්‍යා ශක්තිය (ප්‍රාථමික, මූල ශක්තිය) ලෙසත්, ගායත්‍රි මන්ත්‍රයේ හරය ලෙසත්, වේදයේ මාතාව ලෙසත් දැක්වේ. 10 වෙනි පරිච්ඡේදයේ සිට 12 වන පරිච්ඡේදය දක්වා වෛකුන්තය සහ ගෝලෝකයට ඉහළින් පිහිටි මණිද්වීපය නම් දේවියගේ උත්තරීතර වාසස්ථානය පිළිබඳ විස්තර අඩංගු වේ.
ශ්‍රීමත් දේවී භාගවතම් 12 වන සර්ගය, 10 වන පරිච්ඡේදය, ශ්ලෝක 03:04:
सर्वदो निजवासार्थ प्रकृत्या मूलभूतया ।
कैलासादधिको लोको वैकुण्ठादपि चोत्तमः ॥
गोलोकादपि सर्वस्मात्सर्वलोकोऽधिकः स्मृतः ।
नैतत्समं त्रिलोक्यां तु सुन्दरं विद्यते क्वचित् ॥
සියල්ලටම ප්‍රථමව භගවතී මූල ප්‍රකෘති දේවිය කෛලාශය, වෛකුන්තය සහ ගෝලෝකයට ඉහලින් තම වාසස්ථානය සඳහා මෙම ස්ථානය නිර්මාණය කළාය. ඇත්තෙන්ම මේ විශ්වයේ වෙනත් කිසිම ස්ථානයක් එයට සම කළ නොහැක. එබැවින් එය සියලු ලෝකයන්ට වඩා උසස් ලෙස සර්වලෝක හෝ මණිද්වීපය ලෙස හැඳින්වේ
— 12 වන සර්ගය, 10 වන පරිච්ඡේදය, ශ්ලෝක 03:04
දර්ශනවාදය
වෛදික සාහිත්‍යය
පුරාණය තුළ පිළිපැදීම හා සම්බන්ධ වෛදික මන්ත්‍ර ගණනාවක් සඳහන් කර ඇත. එකොළොස්වන සර්ගයේ ඇතැම් චාරිත්‍ර විස්තර කරන අතර දේවිය යජුර්වේදය සහ රුද්‍ර සමඟ ද හඳුනාගෙන ඇත. නවවන සර්දේගයේවිගේ විවිධ ශක්තීන් පිළිබඳව සඳහන් කර ඇත. ලක්ෂ්මි සහ ස්වාහාගේ ධ්‍යාන ස්තෝත්ර සාමවේදයෙන් උකහාගෙන ඇත. නවවන සර්ගයේ සඳහන් රුද්රාක්ෂ භාවිතය ශ්රැති මගින් අනුග්‍රහය දක්වයි.
උපනිෂද්
දේවිභාගවතම් විසින් උපනිෂද්හි ඇතැම් ඡේද සම්මත කර ඇත. පුරාණයේ හත්වන සර්දේගයේදි දේවිය ඇගේම ස්වරූපයන් විස්තර කරයි මෙම ස්ලෝක දේවි උපනිෂද්හි සමහර ස්ලෝක සමඟ සමාන වේ. එසේම සිව්වන කාණ්ඩයේ දෙවියන්ගේ ස්වභාවය විස්තර කිරීමට තයිත්තිරීය උපනිෂද්හි ප්‍රසිද්ධ ප්‍රකාශන කිහිපයක් යොදා ඇත.
භක්තිය
මෙම පුරාණයේ දේවි ගීතා කොටසෙහි භක්ති දේවධර්මය භගවත් ගීතාව හා සමානව දැක්වෙන අතර, භාගවත පුරාණයේ දක්නට ලැබෙන කෘෂ්ණ කෙරෙහි ප්‍රේමනීය භක්තිය පිළිබඳ වෛෂ්ණව සංකල්ප සමඟින් සමානව පවති. මෙහි සාංඛ්‍යා දර්ශන රාමුවක් තුළ විවිධ ආකාරයේ භක්තිය ඉස්මතු කරයි. තාමසික භක්තිය යනු භක්ති ආකාර ත්‍රිත්වයෙන් එකකි, එහිදී බැතිමතා කෝපයෙන් පිරී සිටින හෙයින් යාච්ඤා කරයි, අන් අයට හානි කිරීමට උත්සාහ කරයි, අන් අය තුළ වේදනාව හෝ ඊර්ෂ්‍යාව ඇති කරයි. රාජසික භක්තිය යනු අන්‍යයන්ට හානියක් කිරීමට නොව, පුද්ගලික වාසි, කීර්තිය හෝ ධනය ලබා ගැනීම සඳහා බැතිමතා දෙවියන් උදෙසා භක්ති සේවය කිරීමයි. සාත්වික භක්තිය යනු බැතිමතා අනුන්ට යහපතක් හෝ හානියක් අපේක්ෂා නොකරන නමුත් තමාව පවිත්‍ර කර ගැනීමටත්, ඕනෑම පාපයක් අත්හැරීමටත්, තමාව නිදහස් කර ගැනීම සඳහා සර්වබලධාරී දෙවඟන වෙත භක්තිය පුද කිරීමයි.
දේවී ගීතාව තුළ පරා භක්තිය ලෙස භක්තියේ උත්තරීතර අවස්ථාවක් සඳහන් කොට ඇත. මැක්ඩැනියෙල් ප්‍රකාශ කරන පරිදි, භක්තිකයා දේවියගෙන් ආශීර්වාදයක් හෝ විමුක්තියක් සොයන්නේ නැත, නමුත් ඔහු ඇයට ආදරය කරන නිසා ඔහු ඇයව සිහිපත් කරන විට හඬා වැලපෙන අතර, ඔහුට සෑම තැනකම දෙවඟන සිටින බව දැනෙන අතර ඔහු සියලු ජීවීන් තුළ දේවිය දකි.
ශ්‍රීමත් දේවී භාගවතම්, 07 වන සර්ගය, 36 වන පරිච්ඡේදයේ, ශ්ලෝක 11:18
දැන් මා ඔබට විස්තර කරනු ලබන ඒ පරා භක්තිය පිළිබඳව සාවධානව ශ්‍රවණය කරන්න. ඔහු සෑමවිටම මාගේ තේජස ශ්‍රවණය කරයි, මාගේ නාමය සජ්ඣායනා කරයි, තෙල් වල නොනවතින වැගිරෙන ස්වභාවය සේ සියලු ශුභ ගුණයන්ගෙන් යුත් මා තුළ වාසය කරයි. නමුත් ඔහුට ඔහුගේ යහපත් කර්මයන්ගේ ඵලයන් ලබා ගැනීමට කිසිඳු අපේක්ෂාවක් නොමැත. සාමීප්‍ය, සාර්ෂ්ඨි, සායුජ්ය සහ සාලෝක්ය ආදි කිසිඳු ආකාරයේ මුක්තියක් ඔහුට අවශ්‍ය නොවේ. ඔහු මා කෙරෙහි පමණක් භක්තියෙන් පිරී, මා හට පමණක් නමස්කාර කරයි; මා හට සේවය කිරීමට වඩා උත්තරීතර කිසිවක් නොදන්නා අතර ඔහුට අවසාන විමුක්තියවත් අවශ්‍ය නැත. ඔහු නිතරම මා පිළිබඳව මෙනෙහි කරන්නේ නිරන්තර සුපරීක්ෂාකාරීව හා උත්තරීතර ශ්‍රද්ධාවෙන් යුක්තවයි. ඔහු මාගෙන් වෙන්ව නොසිතයි, ඒ වෙනුවට මා භාග්‍යවතුන් වහන්සේ යැයි සිතයි. ඔහු සමස්ථ ජිවීන් හට මාගේ අංශූන් ලෙසින් සලකන අතර තමාට ප්‍රේම කරන සේ මා හටද ප්‍රේම කරයි. ඔහු ජීවීන් සහ මා අතර කිසිදු වෙනසක් ඇති නොකරයි, මන්ද ඔහු ද්විත්ව භාවය පිළිබඳ සියලු අදහස් අත්හැර ඇති බැවින් ඔහු සෑම අයෙක්ම සමානව දකී. ඔහු හිස නමා, චාණ්ඩාල ඇතුළු සහ සියලුම ජීවීන්ට හට නමස්කාර කරයි.
— 07 වන සර්ගය, 36 වන පරිච්ඡේදය, ශ්ලෝක 11:18
ශ්‍රීමත් දේවී භාගවතම්, 07 වන සර්ගය, 37 වන පරිච්ඡේදයේ, ශ්ලෝක 27:28
ඕ පර්වත රජුනි! එබඳු පරා භක්තියෙන් සැබවින්ම පිරුණු සිතක් ඇති පුද්ගලයා වහාම මාගේ විඤ්ඤාණ ස්වභාවය හා එක් වන්නේය. මෙම ශ්‍රද්ධාව සහ විරාගය යන සීමාකාරී අවස්ථාව ඍෂිවරුන් හඳුන්වන්නේ ඥානය ලෙසයි. මෙම ඥානය අවධි වූ කල්හි, භක්තිය සහ විරාගය ඒවායේ අරමුණු තෘප්තිමත් කරගනී.
— 07 වන සර්ගය, 37 වන පරිච්ඡේදය, ශ්ලෝක 27:28
අද්වෛත
අද්වෛත වේදාන්ත සංකල්ප දේවි භාගවත පුරාණයේ දැකිය හැකිය. පුරාණයේ දක්නට ලැබෙන ප්‍රධාන අද්වෛත සංකල්පයක් වන්නේ පුද්ගල ආත්මභාවය සහ උත්තරීතර ආත්මය එකක් යන සංකල්පයයි. P. G. Lalye පවසන පරිදි දේවි භගවත් පුරාණයේ වඩාත්ම කැපී පෙනෙන අද්වෛත වේදාන්ත සංකල්පය වන්නේ දේවියගේ ද්විත්ව නොවන ඒකීයත්වයයි.
සාංඛ්‍යා
දේවි භගවතම් අයත් වන්නේ ශක්තදවෛතවාද සම්ප්‍රදායටය (සාංඛ්‍ය දර්ශනය සහ අද්වෛත වේදාන්තයේ සංකලනය, වචනාර්ථයෙන්, ද්විත්ව නොවන ශක්ති මාර්ගය). සාංඛ්යයේ ඇති ප්‍රකෘති සහ පුරුෂ අතර පවතින ද්විත්ව බව දේවි භාගවත තුළ නොපිළිගනී. ලියවිල්ලෙහි ප්‍රකෘති යනු පරාශක්ති සමඟ හඳුනාගෙන ඇත. ඇය මූලප්රකෘති නමින්ද හැඳින්වේ.
පිළිගැනීම
දේවි භාගවත පුරාණයේ ශ්ලෝක සහ අදහස් ගොඩනඟා ඇත්තේ උපනිෂද් පදනම මත වන අතර එහිදී බ්‍රහ්මන් හා ආත්මයේ පවතින ඒකීයභාවය සංස්ලේෂණය කෙරේ. මෙම පුරාණය ආදිශංකරගේ අද්වෛත වේදාන්ත සම්ප්රදායේ භාවිතා වන දර්ශනයන් සහ රූපක පිළිබඳව සඳහන් කරයි. පුරාණය තුළ දේවිය සඳහන් කරන්නේ ඇය සියල්ලටම එපිටින් පවතින බ්‍රහ්මන් සහ නිරතුරුව වෙනස් වන මායාව යන ද්විත්වයම ලෙසයි.
දේවි භාගවත පුරාණයේ සඳහන් වන පරිදි දේවිය මෝහය (අවිද්‍යාව) ලෙස ආත්ම බන්ධනයේ ප්රභවය මෙන්ම විද්‍යා (ප්‍රඥාව) තුළින් ස්වයං විමුක්තියේ ප්රභවය ද වේ. පුරාණයට අනුව ඇය වෛදික පාරභෞතික සංකල්පයක් වන සියල්ලහි යථාර්ථය වන බ්‍රහ්මන් වේ. සී මැකන්සි බ්‍රවුන් පවසන පරිදි දේවිය ඉදිරිපත් කරන්නේ "විශ්වයේ ගර්භය" ලෙසින් වන අතර, ඇය තම දරුවන්ගේ ක්‍රියාවන් නිරීක්ෂණය කරන, ඔවුන්ගේ සැබෑ ස්වභාවය සොයා ගැනීමට හා අවබෝධ කර ගැනීමට උපකාර කරන, වැරදි සිදු වූ විට ඔවුන්ට සමාව දෙන, තම දරුවන්ට තර්ජනය කරන දුෂ්ටයන්ට බියකරු වන, සියලු ආත්මයන්ගේ මිතුරිය ලෙසයි.