| භූල් භුලයියා | |
|---|---|
![]() සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | ප්‍රියදර්ශන් |
| තිර රචනය | නීරාජ් වෝරා |
| කතාවස්තුව | මධු මුත්තම් |
| නිශ්පාදනය | භූෂන් කුමාර් කිෂාන් කුමාර් |
| රංගන ශිල්පීන් | අක්ෂේ කුමාර් අමීෂා පටෙල් විද්‍යා බාලන් ෂයිනි අහූජා විනීත් |
| සිනෙමාරූපණය | තිරූ |
| සංස්කරණය | එන්. ගෝපාලක්‍රිෂ්ණන් අරුන් කුමාර් අරවින්ද් |
| සංගීතය | ගීත: ප්‍රිතම් පසුබිම් ස්වර මාලා: රංජිත් බැරට් |
| බෙදාහැරීම | ටී-සීරීස් ඊරෝස් ඉන්ටර්නැෂනල් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 154 |
| රට | ඉන්දියාව |
| භාෂාව | හින්දි |
| ආදායම | |
භූල් භුලයියා (සිංහල: වංකගිරිය) යනු ප්‍රියදර්ශන් විසින් අධ්‍යක්ෂණය කැරුණු 2007 ඉන්දියානු ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයකි. මෙය මෝහන්ලාල් සහ ශෝබනා ප්‍රධාන චරිත නිරූපණය කළ මණිචිත්‍රතාලු නම් 1993 මලයාලම් චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි. එම චිත්‍රපටයෙන් ඉන්දියානු චිත්‍රපට ගණනාවක් ප්‍රතිනිර්මාණය වී ඇත.
භූල් භූලයියාහි ප්‍රධාන චරිත නිරූපණය කෙරෙන්නේ අක්ෂේ කුමාර්, විද්‍යා බාලන්, අමීෂා පටෙල් සහ ෂයිනි අහූජා විසිනි. පරේශ් රාවල් සහ රාජ්පාල් යාදව් සහය චරිත නිරූපණයෙන් දායක වෙති. චිත්‍රපටයේ ස්වර මාලා සහ ධ්වනිපථය නිමැවුණේ පිළිවෙලින් රංජිත් බැරට් සහ ප්‍රිතම් විසිනි. එහි පද රචනය කැරුණේ සමීර් විසිනි. මෙය විචාරක මෙන්ම ආර්ථික වශයෙන් ද සාර්ථකත්වයට පත් විය.
මෙහි ප්‍රධාන චරිතය පෙළෙන ආබාධය වන විඝටන තදාත්ම ආබාධය (dissociative identity disorder) යනු සැබෑ මානසික රෝගයකි. මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණ විස්තර කිරීමේ දී වඩාත්ම සුප්‍රකට නිදසුන වන්නේ ෂර්ලි ආර්ඩල් මේසන් නම් ඇමරිකානු කාන්තාව ගේ සිද්ධියයි.
කතාපුවත
බද්‍රි (මනෝජ් ජෝෂි) යනු පාරම්පරික මන්දිරයක වෙසෙන බ්‍රාහ්මණ පවුලක ප්‍රධානියායි. මෙම මන්දිරය බෙංගාලි සම්භාව්‍ය නර්තන ශිල්පිනියක වූ මංජුලිකා නිතර ගැවසුණු ස්ථානයකැයි පැවසේ. බද්‍රිගේ වැඩිමහල් සොයුරාගේ පුත්‍රයා සහ ලේලිය වන සිද්ධාර්ත් (ෂයිනි අහූජා) සහ ආව්නි (විද්‍යා බාලන්) එක්සත් ජනපදයේ සිට සිය ගම්මානය වෙත පැමිණෙන අතර, ඔවුහු සිය පාරම්පරික මන්දිරයේ නවාතැන් ගැනීමට තීරණය කරති. මෙය සිද්ධාර්ත්ගේ ළමාවියේ පෙම්වතිය වූ රාධාගේ (අමීෂා පටෙල්) ඊර්ෂ්‍යාවට හේතුවුව ද, පසුව ඇය ඉන් මිදෙයි. සිහුසනේ උරුමකරු වන සිද්ධාර්ත් රජු ලෙස නම් කෙරේ.
සිද්ධාර්ත් සහ ආව්නි නවාතැන් ගෙන සිටින මන්දිරය වරක් සිද්ධාර්ත්ගේ මුතුන් මිත්තකු වූ රාජා විභූති නාරායන් විසින් භාවිතයට ගෙන තිබිණි. ඔහු බෙංගාලයේ සිට පැමිණි මංජුලිකා නම් නළඟනට පෙම් කළේ ය. නමුත් මංජුලිකා මන්දිරයට පසුපසින් වූ නිවසෙහි නවාතැන් ගත් තවත් නර්තන ශිල්පියකු වූ ශෂිධර් සමග ප්‍රේමයේන බැඳුණා ය. ඔවුහු රහසේ මුණගැසුණහ. දුර්ගාෂ්ටමි දින රාත්‍රියේ රජු ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය සහ පලායාමට ඔවුන් සැලසුම් කොට ඇති බව දැනගනියි. ඔහු මාලිගය තුළ අවසන් වරට නර්තනයක් ඉදිරිපත් කරන මෙන් ඔවුනට පවසයි. අවසානයේ රජු ශෂිධර්ගේ හිස ගසා දමා මංජුලිකා ඇගේ කුටියේ සිර කරයි. රජුගේ විවාහ මංගල්‍ය දිනයේ මංජුලිකා ගෙල වැළලාගෙන මිය යන අතර, ඇගේ ආත්මය මෙම මන්දිරයේ දිවි ගෙවන කිසිදු රජකුට නිදහසක් නොදෙන බවට සාප කොට ඇත. ඉන් අනතුරුව නොයෙකුත් අද්භූත සිදුවීම් ගණනාවක් සිදු වේ. එහි දී රජු කෙරෙහි නපුරු ඇසක ග්‍රහණයට නතු වී ඇතැයි පැවසෙයි. නොදන්නා සිදුවීම් හේතුවෙන් රජු ද මිය යයි. පසුව, බලවත් මන්ත්‍රකරුවන්ගේ සහායෙන් ම්නදිරයේ තෙවන මහලේ පූජනීය කවචයක් තනා විභූති සහ මංජුලිකාගේ ආත්ම ඒ තුළ අගුළු ලනු ලැබෙයි.
සිදුවීම් අවුල් සහගත තත්ත්වයට පත්වන්නේ ආව්නි තෙවන මහලේ කුටියේ යතුරෙහි පිටපතක් භාවිතයෙන් මංජුලිකාගේ ආත්මය සිරකළ තහනම් කාමරයේ අගුළු විවෘත කිරීමත් සමගයි. අනතුරුව මන්දිරය තුළ අස්වාභාවික සිදුවීම් ගණනාවක් සිදුවන්නට පටන් ගනියි. ආව්නි මන්දිරයට ප්‍රිය කරන අතර, ඇයට මංජුලිකා සහ ඇගේ ඛේදනීය කථා පුවත දැනගන්නට ලැබෙයි. ඇය මංජුලිකා ලෙස වශීකරණයට ලක්වේ. බද්‍රි සහ බාටුක් ශංකර් (පරේශ් රාවල්) මෙම දුෂ්ට බලවේගයෙන් මිදීමට ශ්‍රී යාග්‍යප්‍රකාශ්ජි භාරතී (වික්‍රම් ගෝඛලේ) නම් පූජකයකුගේ සහාය පැතීමට තීරණය කරයි. නමුත් අවාසනාවට මේ වනවිට එම පූජකයා ලන්ඩනය වෙත පිටත් වී ඇති අතර, ඔහු නැවත පැමිණෙන දින අවිනිශ්චිත වේ.
සිද්ධාර්ත් මෙම අද්භූත සිදුවීම් සම්බන්ධයෙන් රාධාව සැක කරයි. තමන් මුලින් ඇය හා විවාහ වන්නට සිටි නමුත් පසුව ආව්නි හා විවාහ වීම නිසා ඇය උමතු වී ඇතැයි සිද්ධාර්ත් සිතයි. ඔහු නිව් යෝක්හි සිටින සිය මිතුරකු වන මනෝවෛද්‍ය ආදිත්‍ය ශ්‍රීවාස්තව් (අක්ෂේ කුමාර්) කැඳවන්නේ රාධාට සිදුව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමටයි. ආදිත්‍ය මන්දිරයට පැමිණීමත් සමග සෑම දෙයක්ම ප්‍රහසනයක් බවට පත්වන්නේ ඔහු මෝඩ පුද්ගලයකු යැයි අන්‍යන් සිතන නිසායි. නමුත් ඔහු සැබැවින්ම බුද්ධිමත් අයෙකි. රාධා අත කිසිදු වරදක් නොමැති බව ආදිත්‍ය ක්‍රමිකව අනාවරණය කර ගනියි. මෙම සිදුවීම් පසුපස වෙනත් අයකු සිටී යැයි විශ්වාස කරන ඔහු රාධාට පෙම් කරයි. එක් රැයක ඔහුට මංජුලිකාව මුණගැසෙන අතර, තමන් ඇයව වළකන බව පවසයි. කෝපයට පත් භූතාත්මය දුර්ගාෂ්ටමි දිනයේ සිය පළිගැනීම සම්පූර්ණ කරගන්නා බවට ප්‍රතිඥා දෙයි.
සිද්ධාර්ත්ගේ ඥාති සොයුරිය වන නන්දිනී සහ ශාරද් ප්‍රධාන්ගේ (විනීත්) විවාහ ගිවිස ගැනීමේ දී, ආව්නි ශාරද්ගේ සිරුරෙහි ආහාර හලයි. ඔහුව පිරිසිදු කිරීමට ඇය ඔහුව කැඳවාගෙන යයි. ආදිත්‍ය සහ සිද්ධාර්ත් එතැනට පැමිණෙන විට ඔවුන් දකින්නේ ආව්නි සහ ශාරද් අතර ගැටුමක් ඇතිවී ඇති බවයි. ඔවුන් ඉක්මණින් මැදිහත් වේ. සිද්ධාර්ත් සිතන්නේ ශාරද් ආව්නිට හිංසා කොට ඇති බවයි. නමුත් ආදිත්‍ය පවසන්නේ සැබෑ වැරදිකරු රාධා නොව ආව්නි බවයි. ආව්නිට විඝටන තදාත්ම ආබාධය නම් මානසික ආබාධය ඇතැයි හෙළිවේ. එහි දී පුද්ගලයාගේ අනන්‍යතාවට බලපෑම් එල්ලවන අතර, ඔහු තමන් වෙනත් අයකු යැයි සිතීමට පෙළඹේ. මන්දිරයේ සිදුවූ සෑම දෙයක් පසුපසම සිටින්නේ ආව්නි බව ආදිත්‍ය හෙළි කරයි. ආව්නිගේ ළමා විය පිළිබඳ තොරතුරු රැස් කරගැනීමට තමන් ආව්නිගේ උපන් ගම වෙත ගිය බවත්, එහි දී සාක්ෂි හමුවූ බවත් ඔහු හෙළි කරයි. මෙය වටහා දීමට සිද්ධාර්ත්ට ආව්නිව කැඳවන මෙන් පවසයි. සිද්ධාර්ත් ඇයව පෙළඹවීමේ දී, ආව්නි මංජුලිකා සේ හැසිරෙන අතර, මින් බියට පත්වන සිද්ධාර්ත් ආදිත්‍යගෙන් ඇයව මුදවා ගන්නා ලෙස ඉල්ලා සිටියි.
දුර්ගාෂ්ටමි දිනයේ දී, මංජුලිකා ලෙසින් සැරසුණු ආව්නි නර්තනයේ යෙදෙනු ආදිත්‍ය සහ සිද්ධාර්ත් දකියි. ඇයට තමන් සිය පෙම්වතා වූ ශෂිධර් සමගින් මියයාමට ප්‍රථම රජු ඉදිරියේ නර්තනයේ යෙදෙනු මැවී පෙනෙයි. පැරණි විභූති නාරායන් රජු මංජුලිකාට පෙම් කළ අයුරුත්, මංජුලිකා සහ ශෂිධර්ගේ ඛේදනීය ප්‍රේම වෘත්තාන්තයත් අනාවරණය වේ. රජ මාලිගයේ නර්තනයේ යෙදෙන ආව්නි සිතා සිටින්නේ තමා මංජුලිකා බවත්, ශාරද් යනු ශෂිධර් බවත් ය. ආව්නි සම්පූර්ණයෙන්ම මංජුලිකා බවට පත්වෙමින් සිය සැමියා වූ සිද්ධාර්ත්ව මරාදමන්නට තැත් කරන්නේ මංජුලිකාගේ පෙම්වතාව මරාදැමූ රජු ඔහු යැයි සිතමිනි.
ආව්නිව සුව කරගැනීම පිණිස ආදිත්‍ය මංජුලිකාව පොරොන්දු කරගන්නේ රජුව මරා ඇගේ පළිගැනීම සම්පූර්ණ කරගැනීමට ඇයට අවස්ථාව හිමිවුවහොත් ආව්නිගේ සිරුරෙන් නික්ම යන ලෙසටයි. පූජක ශ්‍රී යාග්‍යප්‍රකාශ්ජී භාරතී පැමිණෙන අතර, ඔහුගේ සහාය ඇතිව දුර්ගාෂ්ටමි චාරිත්‍රයේ දී, ආදිත්‍ය සැලැස්මක් යොදයි. ඒ අනුව රජු මරා දමන අයුරින් අනුරුවක් තනා එය විනාශ කොට රජු මියගොස් ඇති බව ඇයට පෙනෙන්නට සලස්වයි. මංජුලිකා සිතන්නේ තමන් සැබැවින්ම රජුව මරාදැමූ බවයි. මෙම "ඝාතනයෙන්" පසුව තෘප්තියට පත් මංජුලිකා සදහටම ආව්නිගේ සිරුර හැර යයි. ආව්නි සුවපත් වන අතර, සෑම දෙයක්ම යහපත් අතට හැරේ. මේ අතර තමන්ව විවාහ කරගැනීමට රාධා කැමති නම් තමන් සිය දෙමාපියන් කැඳවන බව ආදිත්‍ය පවසයි. ප්‍රීතියට පත් රාධා එයට ඇගේ නිහඬ අනුමැතිය ලබා දෙයි.
චරිත නිරූපණය
- අක්ෂේ කුමාර්, වෛද්‍ය ආදිත්‍ය ශ්‍රීවාස්තව් ලෙස; සිද්ධාර්ත්ගේ මිතුරා වන මොහු මනෝචිකිත්සකවරයෙකි. මන්දිරයේ සිදු වන සිදුවීම් පිළිබඳ සොයාබැලීමට සිද්ධාර්ත් මොහුව කැඳවයි.
- විද්‍යා බාලන්, ආව්නි චතුර්වේදි/ මංජුලිකා ලෙස; තරුණ යුවතියක වන මැය සිද්ධාර්ත් හා විවාහ වේ. මංජුලිකාගේ ආත්මය සිරකොට ඇතැයි පවුලේ සාමාජිකයින් විශ්වාස කරන අගුළු ලූ කාමරයක් ඇය විසින් විවෘත කිරීමෙන් පසු නිවසෙහි අද්භූත සහ අධිස්වාභාවික සිදුවීම් ඇරඹේ.
- නවිකා කෝටියා, ළමා ආව්නි ලෙස
- ෂයිනි අහූජා, සිද්ධාර්ත් චතුර්වේදි ලෙස; ආව්නිගේ දයාබර සැමියා වන මොහු එක්ස්ත ජනපදයේ අධ්‍යාපනය ලැබූවෙකි. සිය පුවලේ සාමාජිකයන් මෙන් නොව මොහු අධිස්වාභාවික දෑ විශ්වාස නොකරයි. මේ නිසා ඔහු සිය මිතුරකු වන මනෝවෛද්‍ය ආදිත්‍යට මේ පිළිබඳ විමර්ශනය කරන ලෙස පවසයි.
- අමීෂා පටෙල්, රාධා ලෙස; සිද්ධාර්ත්ගේ ළමා වියේ මිතුරියක වන මැය ආදිත්‍යගේ පෙම්වතියයි. අධිස්වාභාවික සිදුවීම් පසුපස සිටින්නේ මැය යැයි සිද්ධාර්ත් සැක කරයි.
- පරේශ් රාවල්, බාටුශංකර් උපධ්‍යාය ලෙස
- රාජ්පාල් යාදව්, චෝටේ පණ්ඩිත්/ ලාල් හනුමාන් ලෙස
- අස්රානි, මුරාරි ලෙස
- වික්‍රම් ගෝඛලේ, ආචාර්ය යාග්‍යප්‍රකාශ් භාරතී ලෙස
- මනෝජ් ජෝෂි, බද්‍රිනාරායන් ‘බද්‍රි’ චතුර්වේදි ලෙස
- රසිකා ජෝෂි, ජානකී උපධ්‍යාය ලෙස
- තරීනා පටෙල්, නන්දිනී උපධ්‍යාය ලෙස
- විනීත්, මහාචාර්ය ශාරද් ප්‍රහ්ලාද්/ ශෂිධර් ලෙස
- කාවේරි ජා, ගිර්ජා උපධ්‍යාය ලෙස
- ජිමිත් ත්‍රිවේදි, ගෝටි ලෙස
නිෂ්පාදනය
නළුවරණය
භූල් භුලයියාහි කාන්තා චරිත සඳහා මුලින් ඓශ්වර්යා රායි සහ කැට්‍රිනා කෙයිෆ් යෝජනා වී තිබුණත් ඔවුන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඒ වෙනුවට විද්‍යා බාලන් සහ අමීෂා පටෙල් තෝරාගැනුණ හ. මෙම චිත්‍රපටය සඳහා කථක් නර්තනය පුහුණු වීමට විද්‍යා බාලන්ට සිදු විය. මෙහි ඇති තවත් අහඹු සිදුවීමක් වන්නේ මණිචිත්‍රතාලුහි දෙමළ ප්‍රතිනිර්මාණය වූ රජිනිකාන්ත් රංගනයෙන් දායක වූ චන්ද්‍රමුඛී (2005) චිත්‍රපටයේ චරිත නිරූපණය කළ විනීත් හට මෙහි ද එම චරිතය නිරූපණය කිරීමට සිදුවීමයි. මෙහි නර්තනය ප්‍රධාන වශයෙන්ම කථක්, ඔඩිසි සහ භරතනාට්‍යම් සම්මිශ්‍රණයකි.
සංගීතය
ස්වර මාලා
චිත්‍රපට ස්වරමාලාව රචනය සහ නිෂ්පාදනය කරන ලද්දේ රංජිත් බැරට් විසිනි.
ධ්වනිපථය
| Untitled |
|---|
| වෘත්තීයමය ප්‍රමාණන | |
|---|---|
| විචාර ලකුණු | |
| ප්රභවය | ප්‍රමාණනය |
| බොලිවුඩ් හංගමා | |
| Rediff | |
ප්‍රිතම් විසින් ගොඩනගන ලද මෙම ධ්වනි පථය 2007 සැප්තැම්බරයේ මුදාහැරිණි. ඉන්දියානු වෙළඳ වෙබ්අඩවියක් වන බොක්ස් ඔෆීස් ඉන්ඩියා අනුව, ඒකක 12,00,000කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වූ මෙම චිත්‍රපටයේ ධ්වනිපථ ඇල්බමය වසරේ අටවන ඉහළම අලෙවියට ලක්වූ ඇල්බමය විය.
සියලුම ගීත රචනය සමීර් සහ සයීද් කද්‍රි.
| පථ ලැයිස්තුකරණය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | ගායකයින් | කාලය | |||||
| 1. | "භූල් භුලයියා" | සමීර් | නීරාජ් ශ්‍රීධර් | 05:12 | |||||
| 2. | "ලබොන් කෝ ලබොන් පේ" | සයීද් කද්‍රි | කේ.කේ. | 05:44 | |||||
| 3. | "ප්‍යාර් කා සජ්ඩා" | සමීර් | කේ.කේ. | 05:12 | |||||
| 4. | "භූල් භුලයියා – රීමික්ස්" | සමීර් | නීරාජ් ශ්‍රීධර් සහ ඩීජේ ඒ-මිත් | 05:07 | |||||
| 5. | "ලෙට්’ස් රොක් සෝනියේ" | සමීර් | ශාන්, තුල්සි කුමාර් | 04:27 | |||||
| 6. | "සකියා රේ සකියා" | සමීර් | තුල්සි කුමාර් | 04:57 | |||||
| 7. | "මෙරේ ධෝල්නා සන්/ ආමි ජේ තොමාර්" | සමීර් | ශ්‍රේයා ඝෝෂාල්, එම්. ජී. ශ්‍රීකුමාර් | 06:47 | |||||
| 8. | "අල්ලා හෆීස් කේ රහා" | සමීර් | කේ.කේ. | 04:34 | |||||
| 9. | "ලෙට්’ස් රොක් සෝනියේ – රීමික්ස්" | සමීර් | ශාන්, තුල්සි කුමාර් සහ ප්‍රිතම් | 04:28 | |||||
| 10. | "ප්‍යාර් කා සජ්ඩා – රීමික්ස්" | සමීර් | කේ.කේ. සහ ඩීජේ සුකේතු | 05:22 | |||||
| 11. | "ලබොන් කෝ ලබොන් පේ – රීමික්ස්" | සයීද් කද්‍රි | කේ.කේ., ඩීජේ කිරාන්, ඩීජේ ජී සහ අර්ල් | 05:17 | |||||
Total length: | 52:65 | ||||||||
මණිචිත්‍රතාලු සහ එහි ප්‍රතිනිර්මාණ චරිත සටහන
| මණිචිත්‍රතාළු (1993) | අප්තමිත්‍රා (2004) | චන්ද්‍රමුඛී (2005) | රාජ්මොහොල් (2005) | භූල් භුලයියා (2007) | |
|---|---|---|---|---|---|
| මලයාලම් | කන්නඩ | දෙමළ | තෙලිඟු (හඬකැවූ) | බෙංගාලි | හින්දි |
| වෛද්‍ය සනී ජෝසෆ් (මෝහන්ලාල්) | වෛද්‍ය විජේ (විෂ්ණුවර්ධන්) | වෛද්‍ය සරවණන් (රජිනිකාන්ත්) | වෛද්‍ය ඊස්වර් (රජිනිකාන්ත්) | වෛද්‍ය අග්නි (ප්‍රොසේන්ජිත් චැටර්ජී) | වෛද්‍ය ආදිත්‍ය ශ්‍රීවාස්තව (අක්ෂේ කුමාර්) |
| නකුලන් (සුරේෂ් ගෝපි) | රමේෂ් (රමේෂ් අරවින්ද්) | සෙන්තිල්නාතන් (ප්‍රභූ ගනේසන්) | කෛලාශ් (ප්‍රභූ ගනේසන්) | සුමිත් (අභිෂේක් චැටර්ජී) | සිද්ධාර්ත් චතුර්වේදි (ෂයිනි අහූජා) |
| ගංගා (ශෝබනා) | ගංගා (සෞන්දර්යා) | ගංගා සෙන්තිල්නාතන් (ජ්‍යෝතිකා) | ගංගා කෛලාශ් (ජ්‍යෝතිකා) | දේබොශ්‍රී (අනූ චෞධරි) | ආව්නි (විද්‍යා බාලන්) |
| ශ්‍රීදේවි (විනයා ප්‍රසාද්) | සෞම්‍යා (ප්‍රේමා) | දුර්ගා (නයනතාරා) | දුර්ගා (නයනතාරා) | මාලිනී (රචනා බැනර්ජී) | රාධා (අමීෂා පටෙල්) |
| උන්නිතන් (ඉනසන්ට් වින්සන්ට්) | මුකුන්දා (ද්වාරකිෂ්) | මුරුගේසන් (වඩිවේලු) | බාසවයියා (වඩිවේලු) | මාණික් (සුභාශිෂ් මුඛර්ජී) | බාටුශංකර් උපධ්‍යාය (පරේෂ් රාවල්) |
බොක්ස් ඔෆීස්
භූල් භුලයියා ආර්ථික අතින් සාර්ථකත්වයට පත් අතර, එය ඉන්දියාව තුළ
497 මිලියන (US$7.7 මිලියන)ක ශුද්ධ ආදායමක් උපයා ගත්තේ ය. මෙය 2007 වර්ෂයේ 6වන ඉහළම දේශීය චිත්‍රපට ආදායම වේ.
චිත්‍රපටයේ සමස්ත විදෙස් ආදායම $3,910,000ක් විය. මෙහි එක්සත් රාජධානියේ සර්වකාලීන විදෙස් ආදායම $1,380,000ක් ද, උතුරු ඇමරිකාවේ $1,130,000 ද, එක්ස්ත අරාබි එමිරේටයේ $820,000ක් ද, ඕස්ට්‍රේලියාවේ $151,000ක් සහ වෙනත් වෙළඳපොලවල $429,000ක් ද වශයෙන් විය.
ලොව පුරා ප්‍රදර්ශනයෙන් චිත්‍රපටය
840 මිලියන (US$13 මිලියන)ක ආදායමක් උපයා ගත්තේ ය.
- 2007 වසර තුළ චිත්‍රපට
- 2000 දශකයේ හින්දි-භාෂා චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- ඉන්දියානු ප්‍රහසන සංත්‍රාස චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට ප්‍රතිනිර්මාණ
- 2000 දශකයේ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපට
- සංත්‍රාස චිත්‍රපට ප්‍රතිනිර්මාණ
- බෙංගාලි-භාෂා චිත්‍රපට
- ප්‍රියදර්ශන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- ප්රිතම්ගේ ගීත ඇතුළත් චිත්‍රපට
