සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහා සේජොං (කොරියානු උච්චාරණය: [sʰe(ː)dʑoŋ]; මැයි 15, 1397 – අප්‍රේල් 8, 1450, රාජ්‍ය වර්ෂ. 1418–1450) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ සිව්වන පාලකයායි. යි (උච්චාරණය

මහා සේජොං

විකිපීඩියා වෙතින්
ජොසොන් හි සේජොං
朝鮮世宗
조선 세종
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1418 – 1450
අභිෂේකයසැප්තැම්බර් 18, 1418 (21 වියැති)
පූර්වප්‍රාප්තිකයාතේජොං (යි බං-වොන්)
අනුප්‍රාප්තිකයාමුන්ජොං (යි හ්යාං)
අනුරජහිටපු රජ ලෙස තේජොං (1418–1422)
කිරුළහිමි කුමරු ලෙස මුන්ජොං (1442-1450)
උපතමැයි 15, 1397
හන්සුං, ජොසොන්
මරණයඅප්‍රේල් 8, 1450 (52 වියැති)
හන්සුං, ජොසොන්
බිසවඅගබිසව
  • චොංසොං සිම් වංශයේ සොහොන් අගබිසව

රාජකීය උපබිසව

  • හ්යේ-බින් යැං
  • යොං-බින් ගං
  • සින්-බින් කිම්
  • ග්වයි-ඉන් බක්
  • ග්වයි-ඉන් චෝයි
  • සුක්-උයි ජෝයි
  • සෝ-යොං හොං
  • සුක්-වොන් යි
  • සං-චිම් සොං
  • සා-ගි චා
දරුවන්දරුවන් 22දෙනා අතුරින් නීත්‍යානුකූල 10දෙනා:
— ජොංසෝ කුමරිය (උ. 1412),
— ජොසොන්හි මුන්ජොං (උ. 1414),
— ජොං-උයි කුමරිය (උ. 1415),
— ජොසොන්හි සේජෝ (උ.1417),
— අන්ප්යොං කුමරු (උ. 1418),
— ඉම්යොං කුමරු (උ. 1419),
— ග්වංප්යොං (උ. 1425),
— ගුම්සොං කුමරු (උ. 1426),
— ප්යොං-වොන් කුමරු (උ. 1427),
— යොං-ඉයුං කුමරු (උ. 1434)
මරණාපර නාමය
මහා සේජොං ජංහොන් යොංමුන් යේමු ඉන්සොං මියොංහ්යෝ රජ
세종장헌영문예무인성명효대왕
世宗莊憲英文睿武仁聖明孝大王
විහාර නාමය
සේජොං
වංශයජොන්ජු යි
පියාතේජොං (යි බං-වොන්)
මවජොසොන්හි වොන්ග්යොං අගබිසව
ආගමකොන්ෆියුසියානුවාදය; පසුව බුදු දහම
‍කොරියානු නම
හංගුල්세종대왕
හන්ජා世宗大王
ප්‍රතිශෝධිත රෝමානුකරණයසේජොං දේවං
මැකූන්–‍රයිෂවර්සේජොං තේවං
උපන් නාමය
හංගුල්이도
හන්ජා李祹
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ දෝ
මැකූන්–‍රයිෂවර්ලී තෝ
ළමා වියේ නාමය
හංගුල්원정
හන්ජා元正
ප්‍රතිශෝධිත රෝමානුකරණයවොන් ජොං
මැකූන්–‍රයිෂවර්වෝන් චෝං

මහා සේජොං (කොරියානු උච්චාරණය: [sʰe(ː)dʑoŋ]; මැයි 15, 1397 – අප්‍රේල් 8, 1450, රාජ්‍ය වර්ෂ. 1418–1450) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ සිව්වන පාලකයායි. යි (උච්චාරණය [i(ː)]; හංගුල්:이; හන්ජා:李) පවුලට උපන් ඔහුට දෙන ලද නාමය දෝ (도; 祹) වේ. ඔහුගේ පවුලේ සම්භවය ජොන්ජු ([tɕʌndʑu]; 전주; 全州) පෙදෙසේ සිදු විය. ඔහුගේ විකට නාමය වොන්ජොං (원정; 元正) ය. ඔහු තේජොං රජු සහ මින් අගබිසවගේ තෙවන පුත්‍රයායි. ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කෙරුණේ, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ජේ කුමරු සිය තනතුර අත්හැරීමත් සමගයි. 1418දී ඔහු සිහසුනට පත් විය. ඔහුගේ ප්‍රථම වර්ෂ හත‍ර තුළ, තේජොං රජු රාජ්‍යාධිකාරී ලෙස කටයුතු කළේ ය. එහි දී සේජොංගේ මාමණ්ඩිය වූ සිම් ඔන් සහ ඔහුගේ සමීප ඥාතීනට දඬුවම් පමුණුවන ලදී. කොන්ෆියුසියානු ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානය කළ සේජොං ප්‍රධාන නීතිමය සංශෝධන (공법; 貢法) සම්පූර්ණ කළේය. කොරියානු වර්ණමාලාව වූ හංගුල් නිර්මාණය කළ ඔහු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට උපකාර කළේය. එසේම රට සමෘද්ධිමත් සහ ස්ථාවර කිරීමට ඔහු නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළේය. උතුරු පෙදෙස වෙත යුධ ව්‍යාපාර මෙහෙයවූ ඔහු සාමින් ප්‍රතිපත්තිය (사민정책; 徙民政策) ආරම්භ කොට, ප්‍රදේශයට නව පදිංචිකරුවන් ආකර්ෂනය කොට පත්තේය. දකුණු දෙසින් ජපන් ආක්‍රමණ මැඬලූ ඔහු ට්සුෂිමා දූපත අල්ලාගත්තේය.

රාජ්‍ය සමයේ 1418 සිට 1450 දක්වා කාලය සැලකූ විට, 1422 සිට 1442 දක්වා ඔහු තනිව රාජ්‍ය පාලනය මෙහෙයවූ අතර 1442 සිට 1450 ඔහුගේ මරණය දක්වා කාලයේ ඔහු සිය පුත් කිරුළහිමි මුන්ජොං කුමරු සමග හවුල් පාලනයක් ගෙනගියේය.

"මහා" / "大王" යන නාමය ගෝර්යෝ සහ ජොසොන් රාජවංශවල සියලු රජවරුනට මරණාපරව ලබා දී තිබුණත්, සාමාන්‍යයෙන් මෙම නාමය ව්‍යවහාර වන්නේ ග්වංගෙටෝ සහ සේජොං යන රජවරුන් සඳහා පමණකි.

මුල්කාලීන දිවිය

1397 මැයි 15වන දින සේජොං උපත ලැබූයේ තේජොං රජුගේ තෙවන පුත්‍රයා ලෙසයි. ඔහු දොළොස්වන වියට එළඹෙන විට ප්‍රධාන කුමාර චුංන්‍යොං (충녕대군) යන නාමය හිමි විය. ලාබාල කුමරකු ලෙස, ඔහු නොයෙකුත් අධ්‍යයන කටයුතු වල නියැළුණු අතර, තේජොං රජු ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාට වඩා සේජොංට ප්‍රියකළ බව කියැවේ.

තෙවන පුත්‍රයා වුවත්, සේජොං සිහසුනට පත්වූයේ සාධාරණ අයුරිනි. 1404දී තේජොං රජු සිය වැඩිමහල්ම පුත්‍රයා වූ යංන්‍යොං (양녕대군) යුව රජු ලෙස නම්කළේය. කෙසේනමුත්, යංන්‍යොංගේ වගකීම් වරහිත ක්‍රියා කලාපය සහ දඩයම හා විනෝදය කෙරෙහි දැක්වූ ලොල් බව හේතුවෙන්, 1418 ජූනි මස ඔහුව යුව රජ තනතුරෙන් ඉවත් කෙරිණි. යංන්‍යොං සිය බාල සොහොයුරාට තනතුර ලබාදීමේ අදහසින් කිරුළහිමි කුමරු තනතුර අත්හැරි බවට පැවසුණ ද, මේ පිළිබඳ නිශ්චිත වාර්තා හමු වී නැත. සේජොංව එම තනතුරට පත් කරමින් තේජොං රජුගේ දෙවන පුත්‍රයා බෞද්ධ භික්ෂුවක් බවට පත්වූයේ ය.

යංන්‍යොං යුව රජ තනතුරෙන් නෙරපීමෙන් පසු සිය බාල පුතුගේ තනතුර ආරක්ෂා කරනු පිණිස තේජොං ක්ෂණිකව ක්‍රියාකළේය. යංන්‍යොංගේ නෙරපීමට විරුද්ධ වූ රාජ්‍ය නිලධාරීන්ව ඉවත් කරන ලදී. 1418 අගෝස්තු මස සිහසුන අත්හැරි තේජොං, සේජොංව සිහසුනට පත්කළේය. කෙසේනමුත්, විශ්‍රාම ගැනීමෙන් පසුවත් තේජොං රාජ්‍ය පාලනයට මැදිහත් විය. 1422 තේජොංගේ මරණය තෙක්ම, සේජොංගේ විස්මයජනක දේශපාලන ඥානය සහ නිර්මාණශීලීත්වය ලෝකයාට ‍දැකගත හැකි වූයේ නැත.

ජයග්‍රහණ

කොන්ෆියුසියානුවාදය මත පදනම්ව දේශපාලනය ඇරඹීම

සේජොං රජු වෙනස් සමාජ පන්තිවල ජනයා සිවිල් සේවකයන් ලෙස පත්කොට සමාජ විප්ලවයක් ඇරඹීය. මීට අමතරව, රජයේ නිල අවස්ථාවන් කොන්ෆියුසියානුවාදය අනුව සංවිධානය කළ මෙතුමා, ජනතාවට කොන්ෆියුසියානු දර්ශනයට අනුව හැසිරීමට දිරිමත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ෆියුසියානුවාදය සමාජ සම්මතයක් බවට පත් විය. එසේම කොන්ෆියුසියානුවාදය පිළිබඳ ග්‍රන්ථ කිහිපයක් ඔහු විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

මුලින්, බුදු දහම යටපත් කිරීමට උත්සාහ දැරූ මෙතුමා, සෝල් නුවරින් සියලු බෞද්ධ භික්ෂූන් පලවා හැර බෞද්ධ සමාජයේ බලය සහ ධනය දැඩිව සීමා කළේ ය. නමුත් පසුව මෙම ක්‍රියාමාර්ග අත්හළ මෙතුමා, විහාරස්ථාන ඉදිකොට බුදු දහම වැළඳගත්තේ භික්ෂුවක් වීමට පරීක්ෂණයක් (ස්‍යුං-ග්වා) පවා හඳුන්වා දෙමිනි.

විදේශ ප්‍රතිපත්තිය

චීනයේ මිං රාජවංශය සමග සබඳතා පැවැත්වූ මෙතුමා, ජොසොන් රාජ්‍යයට වාසිදායක වූ එකඟතාවන් කිහිපයක් ඇති කරගැනීමට සමත් වූයේය. ජුර්චෙන් ජනයා සමග සම්බන්ධතා ඇති කරගනිමින්, කොරියානු අර්ධද්වීපයේ උතුරු පෙදෙසේ යුධ මුරපොළවල් 10ක් (ගුන් 4 (郡) සහ ජින් 6 (鎭)) ස්ථාපනය කළේ ය.

ජපානය සමග ද යහපත් සබඳතා පැවැත්වූ ඔහු ජපානය සමග වෙළඳාම් කිරීමට වරායයන් තුනක් විවෘත කළේය. නමුත් දකුණු මුහුදේ (නැගෙනහිර චීන මුහුද) මුහුදු කොල්ලකෑම් වැළැක්වීම සඳහා ඔහු ට්සුෂිමා දූපත ආක්‍රමණය කළේ, ට්සුෂිමාව මුහුදු කොල්ලකරුවන්ගේ සන්ධිස්ථානයක් වූ බැවිනි.

මාලිග වැසියන් කුජු ක්‍රීඩාව සිදුකරන අයුරු බලාසිටින යොංග්ලේ අධිරාජයා; මෙම පුරාතන චීන ක්‍රීඩාව මහා සේජොංගේ සමයේ කොරියාව තුළ ද ප්‍රචලිතව පැවතිණි.

කොරියානු හමුදාව ශක්තිමත් කිරීම

සේජොං රජු කාර්යශූර යුධ සැලසුම්කරුවකු විය. සිය රාජධානියේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඔහු විවිධ යුධ රෙගුලාසි නිර්මාණය කළේය. ඔහු කොරියානු යුධ තාක්ෂණය දියුණු කළ අතර, කාලතුවක්කු සංවර්ධනය කළේය. මේ සමයේ නොයෙකුත් ආකාරවල කෙටි කාලතුවක්කු සහ ගිනි අවි අත්හදා බැලුණු අතර, වෙඩිබෙහෙත් භාවිතය ද සිදු විය.

1419 මැයි මස සිය පියා වූ තේජොං රජුගේ උපදෙස් සහ මගපෙන්වීම මත ගිහේ නැගෙනහිර ගවේෂණය සිදුකළ සේජොං රජු, ට්සුෂිමා දූපත කේන්ද්‍ර කරගනිමින් සිදු වූ ජපන් මංකොල්ලකරුවන් පලවා හැරියේය. මෙම ආක්‍රමණයේ දී, ජපනුන් 245ක් මරා දැමුණු අතර, තවත් 110ක් අල්ලා ගන්නා ලදී. කොරියානු සෙබලුන් 180ක් මියගියේ ය. මෙහි දී පැහැරගනු ලැබ සිටි චීන ජාතිකයින් 146ක් සහ කොරියානුවන් 8 දෙනකු නිදහස් කරගන්නා ලදී. 1419 සැප්තැම්බර් මස, සටන් විරාමයක් ප්‍රකාශ කොට කොරියානු හමුදාව නැවත කොරියාව බලා පැමිණියහ. නමුත් 1443දී ග්යේහේ ගිවිසුම අත්සන් තැබුණු අතර, ට්සුෂිමාවේ දයිම්යෝවරයා ජොසොන් රජුට පඬුරු කප්පම් ලබා දීමට පොරොන්දු විය. එයට ප්‍රතිඋපකාර වශයෙන් ජොසොන් රාජසභාව සෝ වංශයට ජපානය සහ කොරියාව අතර වෙළඳාමට අයිතිය ලබාදුන්නේ ය.

1433දී, සේජොං රජු කිම්ජොංසෝ (හංගුල්: 김종서, හන්ජා: 金宗瑞) නැමැති ප්‍රධාන සෙන්පතියාව උතුර වෙත පිටත්කර හැරියේ, ජුර්චෙන්වරුන් (පසුව මැංචුවරු ලෙස ප්‍රකට විය) විනාශ කිරීම සඳහායි. කිම්ගේ යුධ ව්‍යාපාරය මගින් මාලිගා කිහිපයක් අල්ලාගැනීමට හැකි වූ අතර, එමගින් කොරියානු භූමියේ දේශ සීමා සොංහුවා ගංගාව තෙක් උතුරට ව්‍යාප්ත විය. ජුර්චෙන්වරුන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීම පිණිස බලකොටු හතරක් සහ මුරපොලවල් හයක් (හංගුල්: 사군육진; හන්ජා: 四郡六鎭) ස්ථාපනය කරන ලදී.

විද්‍යාව සහ තාක්ෂණය

ජං යොං-සිල්ගේ ස්වයංක්‍රීය ජල ඔරලෝසුවේ ප්‍රමාණයෙන් කුඩා නූතන ප්‍රතිනිර්මාණයක්.

සේජොං රජු සිය රාජ්‍ය සමය තුළ විවිධ තාක්ෂණික eප්‍රගමනයන් සඳහා අනුග්‍රහ දැක්වී ය. ගොවියන්ට උපකාර කිරීමට සිතූ ඔහු ගොවියන්ගේ අත්පොතක් නිර්මාණය කිරීමට තීරණය කළේය. මෙම ග්‍රන්ථය—නොංසා ජික්සොල් (හංගුල්: 농사직설, හන්ජා: 農事直說)—රජුගේ අණපරිදි විවිධ විද්‍යාඥයින් විසින් කොරියාවේ විවිධ ප්‍රදේශවලින් රැස් කරගත් වෙනස් වගාක්‍රම පිළිබඳ සඳහන්ය. මෙම ක්‍රමවේද සහ ඒ ඇසුරෙන් ගොඩනගාගත් නව කඩිනම් ක්‍රමවේද කොරියානු කෘෂිකර්මාන්තයේ දියුණුවට හේතු විය.

සේජොංගේ රාජ්‍ය සමය තුළ විසූ ජං යොං-සිල් (හංගුල්: 장영실, හන්ජා: 蔣英實) ප්‍රමුඛ නව නිර්මාණකරුවකු ලෙස ප්‍රචලිත විය. ජං තරුණ නිර්මාණශීලී චින්තකයකු විය. කෙසේනමුත්, ජං පසුවූයේ සමාජයේ පහළම පන්තියේය. ඔහුගේ දක්ෂතා හඳුනාගත් සේජොංගේ පියා වූ තේජොං ඔහුව වහාම සෝල්හි සිය මාලිගයට කැඳවීය. ජංට රජයේ තනතුරක් ලබා දී ඔහුට අනුග්‍රහ දැක්වීම පිළිබඳ සෙසු නිලධාරීහු විරෝධය පලකළහ. ඔවුන් විශ්වාස කළේ එවැනි පහළම පන්තියේ සාමාජිකයකු බලවත් වංශවතුන් අතරට නොපැමිණිය යුතු බවයි. නමුත් එය සැලකිල්ලට නොගත් සේජොං ජංගේ දක්ෂතාවන්ට අනුග්‍රහ දැක්වීය. ජං විසින් ජල ඔරලෝසු, කටු ගෝල සහ හිරුතැටි සඳහා නව ආකෘති නිර්මාණය කළේ ය. 1442දී, ජං විසින් නැගෙනහිර ආසියාවේ ප්‍රථම වර්ෂාමානය නිපදවන ලද්දේ යැයි පැවසේ. එය ච්‍යුගුගි නම් විය. මෙය සේජොංගේ පුත්‍රයා සහ උරුමකරු වූ මුන්ජොං අදහස් අනුව නිමකළ එකකි. නමුත් මෙහි ආකෘතියක් අද දක්නට නොලැබෙයි. දැනට හමුවන නැගෙනහිර ආසියාවේ පැරණිතම වර්ෂාමානය 1770 එනම් යොංජෝ රජ සමයට අයත් එකකි. රාජකීය ලේකම්ගේ දෛනික වාර්තා (හංගුල්: 승정원일기, හන්ජා:承政院日記) අනුව මහා සේජොං රජ සමයේ මෙන් උද්යෝගයක් නැවත ඇති කිරීම සඳහා යොංජෝ රජු විසින් සේජොංගේ සමයේ වාර්තා කියවා ඇත. වර්ෂාමානය පිළිබඳ සඳහන් දැක යොංජෝ රජු එය ප්‍රතිනිර්මාණය කිරීමට නියෝග කොට ඇත. මෙහි 1770 වර්ෂය සඳහන් චිං රාජවංශයේ ක්වියැන්ලොං (රාජ්‍ය. 1735–1796) අධිරාජයාගේ සලකුණත් ඇති හෙයින්, මෙම කොරියානුවන් නිර්මාණය කළේ යැයි පැවසෙන වර්ෂාමානය චීනයෙන් ආනයනය කළ එකක් බවට වැරදි වැටහීමක් පවතී.

ජොසොන් රාජවංශයේ මහා සේජොං රජසමයේ ප්‍රථම වරට ජං යොං-සිල් විද්‍යාඥයා විසින් නිර්මාණය කළ කොරියානු දිව්‍යමය ගෝලය (ඛගෝලය)

චීන අගනුවර දේශාංශය මත පදනම්ව නිර්මාණය වූ කොරියානු දින දර්ශන ක්‍රමය ප්‍රතිශෝධනයට සේජොං අපේක්ෂා කළේය. කොරියානු ඉතිහාසයේ පළමු වතාවට, කොරියාවේ සෝල් නුවර කේන්ද්‍ර කරගත් දින දර්ශනයක් සේජොං සමයේ ඔහුගේ තාරකා විද්‍යාඥයන් විසින් සකස් කරන ලදී. මෙම නව ක්‍රමය නිසා කොරියානු තාරකා විද්‍යාඥයන්ට සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ සිදුවන දිනයන් නිශ්චිවම නිර්ණය කළ හැකි විය.

සේජොං රජ සමයේ සම්ප්‍රදායික කොරියානු වෛද්‍යවිද්‍යාව පිළිබඳ වැදගත් ග්‍රන්ථ ද්විත්වයක් බිහි විය. ඒවා නම්, හ්යංග්යක් ජිප්සොංබං සහ යුයිබං යුච්වි යන්නයි. ඉතිහාසඥ කිම් යොංසික් පවසන්නේ මෙමගින් චීනයෙන් වෙන්ව තමන්ටම අනන්‍ය වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ගොඩනගා ගැනීමට කොරියානුවන් දැරූ උත්සාහය නිරූපණය වන බවයි.

සාහිත්‍යය

සේජෝ රඳා පැවතියේ ජොසොන් රාජ්‍යයේ ගොවීන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනය මතයි. එම නිසා ඔහු ආර්ථික සමෘද්ධිමත් සහ දුෂ්කර අවස්ථාවන්හි දී ඊට අනුරූපව අඩු වැඩි වන බදු ක්‍රමයක් අනුගමනය කළේ ය. මේ හේතුවෙන්, ගොවීන්ට බදු මුදල් ගැන එතරම් බිය වීමට හේතුවක් නොවූ හෙයින්, ඔවුනට පහසුවෙන් සිය වගා කටයුතුවල නියැලිය හැකි විය. වරක් මාලිගයේ සැලකිය යුතු තරම් ආහාර අතිරික්තයක් වූ විට, සේජොං රජු එම ආහාර දිළිඳු ගැමියන්ට සහ ගොවීන්ට බෙදා දුන්නේ ය. 1429දී සේජොංගේ රජුගේ අධීක්ෂණය මත නොංසා-ජික්සොල් (හංගුල්: 농사직설, හන්ජා: 農事直說) යන ග්‍රන්ථය සම්පාදනය කෙරිණි. මෙ කොරියානු ගොවිතැන, රෝපණ ක්‍රම, අස්වැද්දීම, සහ පාංශු පිරියම් ක්‍රම වැනි කෘෂිකාර්මික තේමා පිළිබඳ විස්තර සඳහන් ප්‍රථම කොරියානු ග්‍රන්ථය වේ.

හංගුල් ලේඛන ක්‍රමය භාවිතයට රාජ්‍ය නිලධාරීන් සහ වංශවතුන් විරුද්ධ වුවද, පහත් පාන්තිකයන් එය හොඳින් වැළඳ ගත්හ. මේ හේතුවෙන් ඔවුන්ගේ සාක්ෂරතාව වර්ධනය වූ හෙයින් ලිවීම මගින් එකිනෙකා අතර සන්නිවේදනය දියුණු විය.

සේජොං විසින් පෞද්ගලිකව සිදු කළ ලේඛන ද ඇගයුමට පාත්‍ර වී ඇත. ඔහු විසින් ප්‍රකට යොංබි ඉයොචොන් ගා ("පියඹන මකරුන්ගේ ගී", 1445), සොක්බෝ සංජොල් ("බුදුන් වහන්සේගේ දිවියේ සිදුවීම්", ජූලි 1447), වොරින් චොන්-ගං ජිගොක් ("සහසක් ගං මත දිදුලන සඳුගේ ගී", ජූලි 1447), සහ ආශ්‍රේයයක් වන දොංගුක් ජොං-උන් ("නිසි චීන-කොරියානු උච්චාරණය සඳහා ශබ්දකෝෂය", සැප්තැම්බර් 1447) යන කෘතීන් සම්පාදනය කොට ඇත.

1420දී සේජොං රජු විසින් ග්යොංබොක්ගුං මාලිගය තුළ දී ගරු කළ යුත්තන්ගේ ශාලාව (집현전; 集賢殿; ජිප්හ්යොන්ජොන්) ස්ථාපනය කරන ලදී. මෙය රජු විසින් තෝරන ලද විද්වතුන්ගෙන් සමන්විත විය. මෙම ශාලාව නොයෙකුත් විද්වත් උත්සාහයන් දරන ලදී. ඉන් වඩාත් සුප්‍රකට කාර්යය නම් හුන්මින් ජොංග්‍යුම් සම්පාදනය කිරීමයි.

හංගුල්

හුන්මින් ජොංග්‍යුම් ඉයොන්හේ

සේජොං රජු කොරියානු ඉතිහාසය කෙරෙහි වඩාත්ම බලපෑමක් සිදුකළේ හංගුල් වර්ණමාලාව හඳුන්වා දීම නිසායි. මෙය කොරියානු භාෂාව සඳහා වූ ස්වදේශික ශබ්දවිද්‍යාත්මක හෝඩියයි.

හංගුල් නිර්මාණය කිරීමට පෙර, ලියන්නට කියවන්නට දැන සිටියේ උසස් වංශවල සාමාජිකයන් පමණි. (චීන භාෂාවෙන් ලබාගත් අක්ෂර භාවිතයෙන් කොරියානු භාෂාව ලිවීමට එකල බහුලව හන්ජා හෝඩිය භාවිත විය. හන්මුන් යන්න භාවිත වූයේ සම්භාව්‍ය චීන බසින් මාලිගයේ ලේඛන රචනා කිරීම සඳහායි.) එකල කොරියානු බස කියවීම සහ ලිවීම සඳහා සංකීර්ණ හන්ජා අක්ෂර ඉගෙනීමට සිදු විය. මීට අමතරව චීන අක්ෂරවල විකරණයන් නොමැතිව කොරියානු භාෂාවේ ව්‍යාකරණ සහ වාක්‍ය ව්‍යූහ හන්ජා අක්ෂරවලින් හැදෑරීම අපහසු විය. කෙසේනමුත් නව හෝඩියක් නිර්මාණය කිරීම පිළිබඳ රජුට රාජසභිකයින්ගේ විරුද්ධතා ඇති විය.

අක්ෂර 28කින් යුත් කොරියානු වර්ණමාලාව හඳුන්වා දුන් සේජොං රජුගේ අරමුණ වූයේ සියලුම සමාජ පන්තිවල කොරියානුවන්ට කියවීමට සහ ලිවීමට හැකියාව ලබාදීමටයි. මේ සෑම හංගුල් අක්ෂරයක්ම පදනම් වී ඇත්තේ අක්ෂරයට අදාළ ශබ්දය නිෂ්පාදනය කිරීමට අදාළව මානව කථන අවයවල (මුඛය, දිව සහ දත්) සරල කරන ලද සටහන් අනුසාරයෙනි. පදාණු ගොඩනගන්නේ අක්ෂර මාත්‍රාමය කාණ්ඩ වශයෙන් ලිවීමෙනි. රජුගේ අදහස වූයේ අනන්‍ය අක්ෂර මාලාවක් ඔස්‍සේ සංස්කෘතික අනන්‍යතාවක් ගොඩනැගීමයි. මෙම අක්ෂර කාණ්ඩ රේඛීයව එකට සම්බන්ධ කෙරේ.

1443දී හංගුල් වර්ණමාලාව සම්පාදනය කෙරුණු අතර, 1446දී එය ප්‍රකාශයට පත්කරන ලද්දේ පිටු 33කින් සම්න්විත හුන්මින් ජොං-උම් නැමැති අත්පොත සමගය. එහි අක්ෂර පිළිබඳ විස්තර, ඒවායේ දාර්ශනික න්‍යායන් සහ අරමුණු සඳහන් කොට තිබිණි. මෙම හුන්මින් ජොං-උම් අරමුණු කොට තිබුණේ ඕනෑම අයකුට දින ගණනකින් හංගුල් උගත හැකි බවයි. පෙර හංගුල් එතරම් හුරු පුරුදු නොවූවන් හට පවා පැය කිහිපයක අධ්‍යයනයෙන් පසු කොරියානු අක්ෂර උච්චාරණය කළ හැකි විය.

මරණය සහ උරුමය

දකුණු කොරියාවේ, ගොංගි පළාතේ, යෝජුහි පිහිටි මහා සේජොං රජුගේ සොහොන.

වසර ගණනාවකට පසු දියවැඩියාව‍ හේතුවෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් සේජොංට සිට පෙනීම අහිමි විය. අනතුරුව එම රෝගය හේතුවෙන් 1450දී ඔහු මියගියේය. ඔහුගේ දේහය යොං සොහොන්ගැබෙහි (영릉; 英陵) තැන්පත් කරන ලදී. ඔහුගෙන් පසු ඔහුගේ පළමු පුත් මුන්ජොං සිහසුනට පත් විය. සිය රෝගී පුත්‍රයා වූ මුන්ජොං එතරම් කලක් ජීවත් නොවේ යැයි පූර්ව නිශ්චය කළ සේජොං සිය මරණ මංචකයේ දී, ගරුකළ යුත්තන්ගේ ශාලාවේ විද්වතුනට සිය මුණුපුරා වූ දන්ජොං රැකබලා ගන්නා ලෙස පැවසී ය. සේජොං අපේක්ෂා කළ පරිදිම මුන්ජොං ඔහුගේ සිංහාසනාරූඪයෙන් වර්ෂ දෙකකට පසු මියගියේය. දොළොස්වන වියේ පසු වූ දන්ජොං ජොසොන්හි සයවන රජු බවට පත් වීමත් සමග, සේජොංගේ සමයේ පැවති දේශපාලන ස්ථාවරභාවය ක්‍රමයෙන් හීන වන්නට විය. අනතුරුව සේජොංගේ දෙවන පුත්‍රයා වූ සේජෝ 1455දී දන්ජොංගෙන් සිහසුන පැහැරගත්තේය. ෂඩ් ප්‍රාණත්‍යාගී අමාත්‍යවරුන් නැවත දන්ජොංව නැවත සිහසුනට පත් කිරීමට දැරූ උත්සාහය හෙළිවීමෙන් පසු, සේජෝ විසින් ගරුකළ යුත්තන්ගේ ශාලාව අහෝසි කොට දන්ජොං සහ සේජොංගේ සමයේ සිටි ඇතැම් අමාත්‍යවරුනට දඬුවම් පැමිණවීය.

සෝල් නගර මධ්‍යයේ පිහිටා ඇති සේජොංනෝ වීදිය සහ අභිවාහ්‍ය කලා සඳහා වූ සේජොං මධ්‍යස්ථානය යන ස්ථාන සේජොං රජුට ගෞරව වශයෙන් නම් කොට ඇත.

කොරියානු වොන් 10,000 මුදල් නෝට්ටුවේ සේජොං රජුගේ රුව සහ ඔහුගේ සමයේ විද්‍යාත්මක නිමැවුම් දක්නට ලැබෙයි.

2007 මුල්කාලයේ, කොරියානු ජනරජය දේජොන් අසල පිහිටි වර්තමාන චුංචොංනම්-දෝ පළාතේ කොටසක් නව පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට තීරණය කොට තිබිණි. එම දිස්ත්‍රික්කය සේජොං විශේෂ ස්වාධීන නගරය යනුවෙන් නම් කිරීමට අදහස් කෙරිණි.

සේ‍ජොං රජුගේ දිවිය අලලා KBS නාළිකාව විසින් 2008දී කිං සේජොං ද ග්‍රේට් නැමැති රූපවාහිනී කතාමාලාවක් විකාශය කරන ලදී. මීට අමතරව සේජොංගේ චරිතය 2011දී විකාශය වූ SBS නාළිකාවේ ඓතිහාසි නාට්‍යයක් වූ ඩීප් රූටඩ් ට්‍රීතුළ නිරූපිත ය.

පවුල

  • පියා: තේජොං රජු (태종)
  • මව: යෝහ්‍යුං මින් වංශයේ වොන්ග්යොං අගබිසව (원경왕후 민씨, ජූලි 11, 1365 – ජූලි 10, 1420)
  • බිසෝවරු සහ ඔවුන්ගේ දරුවන්:
  1. චොංසොං සිම් වංශයේ සෝහොන් අගබිසව (소헌왕후 심씨, සැප්තැම්බර් 28, 1395 – මාර්තු 24, 1446)
    1. යි හ්යාං, පසුව ජොසොන්හි මුන්ජොං රජ, 1වන පුත්‍රයා
    2. යි යු, සුයාං ප්‍රධාන කුමරු, පසුව ජොසොන්හි සේජෝ රජ, 2වන පුත්‍රයා
    3. යි යොං, අන්ප්යොං ප්‍රධාන කුමරු (이용 안평대군, ඔක්තෝබර් 18, 1418 – නොවැම්බර් 18, 1453), 3වන පුත්‍රයා
    4. යි ගු, ඉම්යොං ප්‍රධාන කුමරු (이구 임영대군, ජනවාරි 7, 1420 – ජනවාරි 21, 1469), 4වන පුත්‍රයා
    5. යි යෝ, ග්වංප්යොං ප්‍රධාන කුමරු (이여 광평대군, 1425–1444), 5වන පුත්‍රයා
    6. යි යු, ගුම්සොං ප්‍රධාන කුමරු (이유 금성대군, මාර්ගු 28, 1426 – ඔක්තෝබර් 21, 1457), 6වන පුත්‍රයා
    7. යි ඉම්, ප්යොං-වොන් ප්‍රධාන කුමරු (이임 평원대군, 1427–1445), 7වන පුත්‍රයා
    8. යි යොම්, යොං-ඉයුං ප්‍රධාන කුමරු (이염 영응대군, 1434–1467), 8වන පුත්‍රයා
    9. ජොංසෝ කුමරිය (정소공주, 1412–1424), 1වන දියණිය
    10. ජොං-උයි කුමරිය (정의공주, 1415–1477), 2වන දියණිය
  2. චොංජු යැං වංශයේ රාජකීය වංශවත් හ්යේ බිසව (혜빈 양씨, ? – නොවැම්බර් 9, 1455)
    1. යි ඉයෝ, හන්නම් කුමරු (이어 한남군 1429-1459), 1වන පුත්‍රයා
    2. යි හ්යොන්, සුචුන් කුමරු (이현 수춘군 1431-1455), 2වන පුත්‍රයා
    3. යි ජොන්, යොංපුං කුමරු (이전 영풍군, අගෝස්තු 15, 1434 – ජූනි 20, 1456), 3වන පුත්‍රයා
  3. ඉන්ජු ගං වංශයේ රාජකීය වංශවත් යොං බිසව (영빈 강씨)
    1. යි යොං, හ්වා-උයි කුමරු (이영 화의군, 1425-1460), එකම පුත්‍රයා
  4. චෝංජු කිම් වංශයේ රාජකීය වංශවත් සින් බිසව (신빈 김씨, 1406 – සැප්තැම්බර් 4, 1464)
    1. යි ජ්‍යුං, ග්යේයැං කුමරු (이증 계양군, 1427–1464), 1වන පුත්‍රයා
    2. යි ගොං, උයිචං කුමරු (이공 의창군, 1428–1460), 2වන පුත්‍රයා
    3. යි චිම්, මිල්සොං කුමරු (이침 밀성군, 1430–1479), 3වන පුත්‍රයා
    4. යි‍ යොන්, ඉක්හ්යොන් කුමරු (이연 익현군, 1431–1463), 4වන පුත්‍රයා
    5. යි දං, යොංහේ කුමරු (이당 영해군, 1435–1477), 5වන පුත්‍රයා
    6. යි ගෝ, දම්යං කුමරු (이거 담양군, 1439–1450), 6වන පුත්‍රයා
    7. උපතේදී මියගිය නම් නොලද දියණියන් දෙදෙනෙක්
  5. බක් ග්වයි-ඉන් (귀인 박씨)
    1. දරුවන් නැත.
  6. චෝයි ග්වයි-ඉන් (귀인 최씨)
    1. දරුවන් නැත
  7. ජෝ සුක්-උයි (숙의 조씨)
    1. දරුවන් නැත
  8. හොං සෝ-යොං (소용 홍씨)
    1. දරුවන් නැත
  9. යි සුක්-වොන් (숙원 이씨)
    1. ජොං-අන් කුමරිය (정안옹주, 1438–1461), එකම දියණිය
  10. සොං සං-චිම් (상침 송씨)
    1. ජොංහ්යොන් කුමරිය (정현옹주, 1424–1480), එකම දියණිය
  11. චා සා-ගි (사기 차씨, ? – ජූලි 10, 1444)
    1. නම් නොලද දියණියක් (1430–1431)

නිල මරණාපර නාමයන්

කොරියානු මහ බැංකුවේ වොන් 10,000 බැංකු නෝට්ටුවේ (මාලාව VI) මහා සේජොංගේ රුව නිරූපණය කොට ඇත.
  • හන්ජා: 世宗莊憲英文睿武仁聖明孝大王
  • හංගුල්: 세종장헌영문예무인성명효대왕
  • සිංහල: මහා සේජොං ජංහොන් යොංමුන් යේමු ඉන්සොං මියොංහ්යෝ රජ

කලාවන් සහ මාධ්‍ය තුළ නිරූපණ

  • කිං සේජොං ද ග්‍රේට්
  • ද ඩිවයින් වෙපන්
  • ඩීප් රූටඩ් ට්‍රී
  • ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව්

වීඩියෝ ක්‍රීඩා තුළ නිරූපණ

  • සිඩ් මයර්'ස් සිවිලයිසේෂන් V යන වීඩියෝ ක්‍රීඩාවේ කොරියානු ශිෂ්ටාචාරයේ නායකයා ලෙස දක්වා ඇත.
  • සිවිලයිසේෂන් රිවොලූෂන් 2 යන වීඩියෝ ක්‍රීඩාවේ කොරියානු ශිෂ්ටාචාරයේ නායකයා ලෙස දක්වා ඇත.
  • ස්ටාර්ක්‍රාෆ්ට් II: හාට් ඔෆ් ද ස්වෝම් යන ක්‍රීඩාවේ සේජොං රජ ස්ථානය LE යනුවෙන් ප්‍රධාන තරග සිතියමක් ඇත.

කොරියානු මුදල් නෝට්ටුවල නිරූපණ

මහා සේජොං, භාෂාමය විද්වතුන් සයදෙනාගෙන් අයකු ලෙස සැමුවෙල් ජොන්සන්,ජේකබ් ග්‍රිම්, විල්හෙල්ම් ග්‍රිම්, එලියස් ලොන්රොට් සහ වුක් ස්ටෙෆානොවික් කරාඩ්සික් යන්නවුන් සමග ජාතික මුදල් නෝට්ටුවල නිරූපිත ය.

ප්‍රතිමාව සහ කෞතුකාගාර ප්‍රදර්ශනය

2009දී කොන්ක්‍රීට් පාදම සහිත සේජොං රජුගේ මීටර් 9.5ක් උස ලෝකඩ ප්‍රතිමාවක් සොල් නුවර ග්වංහ්වාමුන් චතුරස්‍රයේ අභිවාහ්‍ය කලා සඳහා වූ සේජොං මධ්‍යස්ථානයට මුහුණලා ඉදිකෙරිණි. මෙහි ප්‍රතිමා ශිල්පියා වූයේ කිම් යොං-වොන් ය. මෙහි පාදමේ "සේජොං රජුගේ කථාපුවත" යනුවෙන් නම්කළ වර්ග මීටර් 3,200ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු භූගත කෞතුකාගාර ප්‍රදර්ශනයට ඇතුළු වන පිවිසුම් මගක් පිහිටයි. මෙමගින් සේජොං රජු විසින් කොරියානු වර්ණමාලාව නිපදවා වර්ෂ 563ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වුණු හංගුල් දිනය සිහිගැන්විණි.

මේවාද බලන්න

ඉහළට