සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අඟහරු ග්‍රහලොව (සංකේතය: ), සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන්

අඟහරු ග්‍රහලොව

  • මුල් පිටුව
  • අඟහරු ග්‍රහලොව

අඟහරු ග්‍රහලොව (සංකේතය: ♂), සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ‍ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි.

අඟහරු ♂
Orange-brown globe with white snow caps
Mars in true color, as captured by the Hope orbiter. The Tharsis Montes can be seen at the center, with Olympus Mons just to the left and Valles Marineris at the right.
නිලනාමයන්
විශේෂණයMartian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය J2000
විහේලිකය249261000 km
(1.66621 AU)
අපහේලිකය206650000 km
(1.3814 AU)
අඩ-මහා අක්ෂය227939366 km
(1.52368055 AU)
උත්කේන්ද්‍රියතාවය0.0934
කක්ෂීය කාලාවර්තය686.980 d
(1.88085 yr; 668.5991 sols)
චන්ද්‍ර කාලාවර්තය779.94 d
(2.1354 yr)
සාමාන්‍යය කක්ෂීය වේගය24.07 km/s
මධ්‍යන්‍යය විෂමතාවය19.412°
ආනතිය
  • 1.850° to ecliptic
  • 5.65° to Sun's equator
  • 1.63° to invariable plane
ආරෝහණ මංසලෙහි දේශාංශකය49.57854°
පරිතාරාන්තිකයේ වේලාව2022-Jun-21
පරිතාරාන්තිකයේ විස්තාරය286.5°
චන්ද්‍රිකා2 (Phobos and Deimos)
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය3389.5±0.2 km
සමක අරය3396.2±0.1 km
(0.533 Earths)
ධ්‍රැවීය අරය3376.2±0.1 km
(0.531 Earths)
Flattening0.00589±0.00015
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය1.4437×108 km2
(0.284 Earths)
පරිමාව1.63118×1011 km3
(0.151 Earths)
ස්කන්ධය6.4171×1023 kg
(0.107 Earths)
මධ්‍යන්‍යය ඝණත්වය3.9335 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය3.72076 m/s2 (0.3794 g0)
මිදුම් ප්‍රවේගය5.027 km/s
(18100 km/h)
භ්‍රමණ කාලාවර්තය1.02749125 d
24පැය 39විනා 36තත්
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය1.025957 d
24පැය 37විනා 22.7තත්
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය241 m/s
(870 km/h)
ආක්ෂක ආනතිය25.19° to its orbital plane
උත්තර ධ්‍රැවය විෂුවදංශය317.269°
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය54.432°
ප්‍රභානුපාතය
  • 0.170 geometric
  • 0.25 Bond
උෂ්ණත්වය209 K (−64 °C) (blackbody temperature)
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
  −110 °C −60 °C 35 °C
දෘශ්‍ය විශාලත්වය−2.94 to +1.86
නිරපේක්ෂ විශාලත්වය (H)−1.5
කෝණික විෂ්කම්භය3.5–25.1″
වායුගෝලය
පෘෂ්ඨීය පීඩනය0.636 (0.4–0.87) kPa
0.00628 atm
සංයුතිය
  • 95.97% carbon dioxide
  • 1.93% argon
  • 1.89% nitrogen
  • 0.146% oxygen
  • 0.0557% carbon monoxide
  • 0.0210% water vapor
හබිල් අභ්‍යවකාශ දුරදක්නයකින් අඟහරු ග්‍රහයා දිස්වෙන අයුරු

අඟහරු ග්‍රහයා තුනී වායුගෝලයක් සහිත ‍භෞමික ග්‍රහයෙකු වන අතර චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථිවියේ දක්නට ඇති ගිනි කඳු, තැනිතලා, කාන්තාර සහ ධ්‍රැවවල ඇති අයිස් තොප්පිවල නෂ්ඨාවශේෂ අඟහරු පෘෂ්ඨය මතද දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද ‍විශාලතම අගාධය වන වැලිස් මැරියිනරීස් ද පිහිටා ඇත්තේ මෙහිය. මෙම භූගෝලීය ලක්ෂණ හැරුණු කොට අඟහරුගේ භ්‍රමණ කාලය සහ දේශගුණික සෘතු රටාවද පෘථිවියට සමානය.

1965 දී මැරිනර් 4 යානය අඟහරු අසලින් ගමන් ගන්නා තුරුම අඟහරු ග්‍රහ පෘෂ්ඨය මත ද්‍රව ජලය ඇති බව අනුමාන කෙරුණි. මෙම අනුමානය පදනම් වුයේ විශේෂයෙන් ම ධ්‍රැවාශිත අක්ෂාංශ වල දක්නට ලැබුණු අඳුරු සහ ලා පැහැති පැල්ලම් හේතුවෙනි. මෙම පැල්ලම් සමුද්‍ර සහ අර්ධද්වීප ලෙස පෙනී ගිය අතර අඳුරු පැහැති ඉරි, ඇතැම් නිරීක්ෂකයින් විසින් අර්ථකථනය කළේ ද්‍රව ජලය සහිත ජල මාර්ග ලෙසය. කෙසේ නමුත් පසු කලක මෙවැනි අඳුරු ඉරි දෘෂ්ටි මායාවක් ලෙසට පැහැදිලි කෙරුණි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් පෘථිවියේ හැරුණු විට ද්‍රව ජලය සහ ජීවය හමුවන්නට වඩාත් ම ඉඩ කඩ ඇත්තේ අඟහරු ග්‍රහයා මතය.

අඟහරු ග්‍රහයා වටා මේවන විට ක්‍රියාකාරී අභ්‍යාවකාශ යානා තුනක් කක්ෂ ගත කොට ඇත. මාර්ස් ඔඩිසි, මාර්ස් එක්ස්ප්‍රස් සහ මාර්ස් රෙකොනයිසන්ස් ඕබිටර් ‍එම යානා තුනයි.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් පෘථිවියට පසු වැඩිම යානා ගණනක් කක්ෂ ගත වී ඇත්තේ අඟහරු වටාය. තවද ස්පිරිට් සහ ඕපර්ච්නිටි නමැති අඟහරු ගවේෂණ ‍යානා දෙකක් ද එහි පෘෂ්ඨය මත තිබේ. මේවායින් ලබා ගන්නා භූගෝලීය සාක්ෂි වලින් යෝජනා වන්නේ අඟහරු ග්‍රහයා මින් පෙර විශාල ලෙස ජලයෙන් වැසී තිබෙන්නට ඇති බවත් මෑත කාලයේ දී කුඩා ජල දහරා ඒ මත ඇති වී තිබෙන බවත් ය.NASA (නාසා) ආයතනයේ අඟහරු විශ්ව ගවේෂණය මඟින් පෙනීගොස් ඇත්තේ දකුණු ධ්‍රැවයේ කොටසක ඇති ‍අයිස් තට්ටු අඩු වෙමින් පවතින බවය.

අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.

පටුන

භෞතික ලක්ෂණ

භූගර්භ විද්‍යාව

කක්ෂීය නිරීක්ෂණ හා අඟහරු උල්කාෂ්ම පරීක්ෂණ ප්‍රතිඵල අනුව, අඟහරුගේ පෘෂ්ඨයේ මූලික සංයුතිය වී ඇත්තේ බැසෝල්ට්වලින් බව පැහැදිලිය. අඟහරු පෘෂ්ඨයේ කොටසක් සාමාන්‍ය බැසෝල්ට්වලට වඩා සිලිකාවලින් පොහොසත් බව සමහර සාක්ෂිවලින් ඉඟි කෙරෙන අතර පෘථිවියේ ඇන්ඩසයිට් පාෂාණවලට සමාන වීමට ඉඩ ඇත. කෙසේ වුව ද මෙම නිරීක්ෂණ සිලිකා වීදුරු මඟින් ද පැහැදිලි කළ හැක. පෘෂ්ඨයෙන් විශාල කොටසක් ටැල්කම් කුඩු ගහන අයන් (III) ඔක්සයිඩ්වලින් ආවරණය වී ඇත.

 
අඟහරු පාත්පයින්ඩර් මඟින් ඡායාරූප ගත කරන ලද පාෂාණ විසිරුණු භූමිය.

අඟහරු නිසඟ චුම්භක ක්ෂේත්‍රයක් නොමැති වුව ද ග්‍රහලොවේ පෘෂ්ඨයේ සමහර ‍ෙකාටස් චුම්භකත්වයකට ලක්වී ඇති බව නිරීක්ෂණයට ලක් වී ඇති අතර මෙම විකල්ප ධ්‍රැවනය නිසා එහි ද්වී ධ්‍රැව මඟින් ඇති කෙරෙන ක්ෂේත්‍රය වෙනසකට ලක් වී ඇත. මෙම පාෂාණවල පෘථිවි සාගර පත්ලෙන් හමු වූ ප්‍රත්‍යාවර්ත තීරු (alternating bands ) වලට බොහෝ සමාන ලක්ෂණ ඇත. 1999 දී ප්‍රකාශයට පත්කෙරුණු 2005 ඔක්තෝබර් හි දී නැවත අධ්‍යයනට ලක් කෙරුණු එක් සිද්ධාන්තයකින් කියැවෙන්නේ (Mars Global Surveyor හි උදව් සහිතව) මෙම තීරු මඟින් ග්‍රහ ඩයිනමෝව ක්‍රියා විරහිත වී එහි චුම්භක ක්ෂේත්‍රය තුනී වී යාමට පෙර (අවු : බිලියන 4කට පෙර) අඟහරු මත තිබූ භුචලන තැටි ආදර්ශනය කෙරෙන බවයි. ග්‍රහලොවේ වර්තමාන අභ්‍යන්තර පිළබඳ ආකෘති මඟින් කිලෝ මීටර් 1480 පමණ අරයකින් යුක්ත හරයක් දක්වයි. ඒ 14% - 17% පමණ සල්ෆර් හා යකඩ සහිතවය. මෙම අයන් සල්ෆයිඩ් හරය කොටසක් තරල වශයෙන් පවතින අතර මෙහි වඩා සැහැල්ලු මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය පෘථිවි හරයේ මෙන් දෙගුණයක් පමණ වේ. මෙම හරය අතීතයේ බොහෝ භූචලන හා ගිනි කඳු ක්‍රියාකාරකම්වලට හේතු වූ , දැන් අක්‍රියව පවතින සිලිකේට් වැස්මකින් ආවරණය වී ඇත. ග්‍රහලොවේ පි‍ටපොත්තේ මධ්‍යන්‍ය ඝනකම 50 km පමණ වන අතර එහි වැඩිම ඝනකම 125 km පමණ වේ. 40 km පමණ මධ්‍යන්‍ය පිට ඝනකමක් ඇති පෘථිවියේ පිට පොත්ත , ග්‍රහලෝකයන්හි ප්‍රමාණයන්ට සාපේක්ෂව බලන කල්හි අඟහරුගේ පිටපොත්ත මෙන් 3 ගුණයක් පමණ ඝනකම්ය. අඟහරුගේ භූගර්භ ඉතිහාසය කාල පරිච්ඡේද බොහෝ ගණනකට බෙදිය හැකි වුව ද පහත දැක්වෙන්නේ ප්‍රධාන ඒවායි.

  • Noachian යුගය - (Noachis Terra ගේ නමින් උපුටා ගනිමින්) : අඟහරුගේ විද්‍යාමාන පෘෂ්ඨවලින් පැරණිතම ආකාරය, (අවු: බිලියන 3.8 පෙර කාලයේ සිට අවු: බිලියන 3.5 පෙර දක්වා ) Noachian යුගයේ පෘෂ්ඨය බොහෝ විශාල ගිනි කඳු මුඛ මඟින් පලුදු වී ඇත. නෙරා ගිය Tharsis ඉහළ ගිනිකඳු භූමිය මෙම කාලයේ දී සකස් වී ඇති බවට විශ්වාස කෙරෙන අතර ඒ සමඟම යුගයේ අවසාන කාලයේ දී විශාල ද්‍රව ජලය ගැල්මක් ද සහිත වූ බවට සැක කෙරේ.
  • Hesperian යුගය - (Hesperia Planum ගෙන් උපුටා ගනිමින්) : (අවු: බිලියන 3.5 පෙර සිට අවු: බිලියන 1.8 ක් පෙර කල දක්වා ) Hesperia යුගය විශාල ලාවා භූමි සකස් වීම් මඟින් සලකුණු වී ඇත.
  • Amazonian යුගය - (Amazonis Planitia ගෙන් උපුටා ගනිමින්) : (අවු බිලියන 1.8 සිට වර්තමාන‍ය දක්වා ) Amazonian ප්‍රදේශවල උල්කාෂ්ම ගැටීම් නිසා ඇති වූ විවර හැරෙන්නට තරමක විවිධත්වයක් දක්වයි. අඟහරු මත විවිධ ප්‍රදේශවල ලාවා ගැලීම් සමඟම Olympus Mons නිර්මාණය වූයේ ද මෙම කාල පරිච්ඡේයේය.

අඟහරුගේ ජල විද්‍යාව

 
අඟහරු මත ජලය තිබුණු බවට සළකුණක් වන ක්ෂුද්‍ර පාෂාණ, ඔපචුනිටි යානාව විසින් ඡායාරූපගත කරන ලද අයුරු

අඟහරුගේ පහත් වායුගෝලීය පීඩනය නිසා එහි පෘෂ්ඨය මත ද්‍රව ජලය තිබිය නොහැක. නමුත් එහි ධ්‍රැව ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ අයිස් තොප්පි වලින් බැවින් ඝන තත්වයේ ඇති ජලයෙන් නම් කිසිම හිඟයක් නැත. අඟහරුගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස් තොප්පිය දියවී ගියහොත් එහි මුළු ග්‍රහ පෘෂ්ඨයම මීටර 11 ක් ගැඹුරට ජලයෙන් යට වී යනු ඇති බව 2007 මාර්තු මාසයේ දී නාසා ආයතනය විසින් නිවේදනය කරන ලදි.

අඟහරුගේ ඝනකම් සයිටොස්පියරයට යටින් ජලය විශාල ප්‍රමාණයක් සිර වී ඇති බව විශ්වාස කෙරේ. ගිනි කඳු පිපිරිමක් වැනි යමකින් එම ද්‍රව ජලය නිදහස් වීමට ඉඩ ඇත. අඟහරුගේ ඉතිහාසයේ දී මෙලෙස ද්‍රව ජලය නිදහස් වන්නට ඇති බවට මතයක් පල වී තිබේ.

මෑතක දී අඟහරු විශ්ව ගවේෂක යානාව මඟින් ගනු ලැබූ ඡායාරූප වලින් අඟහරු පෘෂ්ඨය මත ද්‍රව ජලයේ ඉතිහාසය පිළිබඳ විස්තර වඩා හොඳින් ඉදිරිපත් කරයි. විශාල ගංගා මාර්ග සහ ඒවා ආශ්‍රිත අතු බෙදුනු ශාඛා ජල මාර්ග තිබුණු බවට සාක්ෂි හමුවුවත් ඒවායේ ආරම්භය සනිටුහන් කරන කුඩා ජල මාර්ග පිළිබඳ සාක්ෂි තවමත් හමු වී නැත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති කාළගුණික විපර්යාස හේතුවෙන් පැරණි ගංගා නිම්නවල ලක්ෂණ යටපත් වී ගොස් ඇති බවට යෝජනා ඉදිරිපත් වී ඇත. අඟහරු විශ්ව ගවේෂකයා වැනි අභ්‍යාවකාශ යානා මඟින් කරන ලද අධි විභේදන නිරීක්ෂණවලින් ආවාට හා ආගාධ බිත්තිවල ඇති ලක්ෂණ සිය ගණනක් සනාථ කොට තිබේ.

අඟහරු පෘෂ්ඨය මත කලක් ද්‍රව ජලය පැවති බවට තවත් සාක්ෂියක් වන්නේ හෙමටයිට් හා ගොයිතයිට් නමැති විශේෂිත ඛනිජ ලවණ දෙක එහි පෘෂ්ඨයෙන් සොයා ගැනීමය. මේවා ජලය ඇති ඇතැම් අවස්ථාවලදී සෑදෙන ඛනිජ ලවණ දෙකකි.

වායු ගෝලය

 
අඟහරු‍ගේ වායු ගෝලය, මෙම පහත් කක්ෂීය ඡායාරුවේ දිගන්තයේ දෘෂ්‍යමානව.

අවුරුදු බිලියන 4කට පෙර එහි චුම්බකගෝලය අඟහරු හට අහිමි වූ අතර එම නිසා සූර්ය සුළං කෙලින්ම අඟහරු අයන ගෝලයට බැලපෑම් ඇති කරයි. මෙම ක්‍රියාවලිය බාහිර ස්ථරයෙන් පරමාණු ඉවත් කරමින් වායුගෝලය වඩාත් තුනී බවට පත් කර ඇත. මෙම අයනීකරණය වූ වායුගෝලීය අංශු අඟහරු පිටුපසින් ඇදී යනු Mars Global Surveyor හා Mars Express යන 2ම මඟින් අනාවරණය කරගන්නා ලදී. අඟහරුගේ වායුගෝලය දැන් සාපේක්ෂව ඉතා තුනීව පවතී. ඔලිම්පස් මොන්ස් සිට හෙලාස් ප්ලැනිෂියාහි අභ්‍යන්තරය දක්වා පෘෂ්ඨය මත වායු ගෝල‍ පීඩනය 30 Pa (0.03 kPa) සිට 1155 Pa (1.155 kPa) දක්වා වෙනස් වේ. අඟහරුගේ මධ්‍යන්‍ය පෘෂ්ඨ වායුගෝල පීඩනය 600 Pa (0.6 kPa) පමණ වේ. මෙය පෘථිවි පෘෂ්ඨ වායුගෝල පීඩනයෙන් (101.3 kPa) සියයෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයකි. අඟහරුගේ මධ්‍යන්‍ය පෘෂ්ඨ වායුගෝල පීඩනය පෘථිවි පෘෂ්ඨයෙන් 35 km ඉහළ පවතින පීඩනයට සමාන වෙයි. වායුගෝලයේ පරිමානීය උස, 11 පමණ, පෘථිවියට වඩා වැඩි අතර (6 km) මෙයට හේතුව අඩු ගුරුත්වයයි. අඟහරුගේ වායුගෝලයේ 95% කාබන් ඩයොක්සයිඩ්, 3% නයිට්‍රජන්, 1.6% ආගන් හා ඔක්සිජන්, ජලය අංශු මාත්‍ර වශයෙන් පවතී. වායුගෝලය දුහුවිලි සහිත වන අතර 1.5 µm පමණ විශ්කම්භයක් ඇති අංශුවලින් ගහනය. මෙම නිසා පෘෂ්ඨයේ සිට බලන කළ අඟහරු අහසට දුඹුරු වර්ණයක් ලැබී ඇත.අඟහරු වායුගෝලයේ පරිමාව අනුව 10 ppb(අංශු බිලියනයට) සාන්ද්‍රණයක් සහිතව මෙතේන් පවතින බවට සමහර පරීක්ෂකයන් ප්‍රකාශ කරති. මෙතේන් පාරජම්බුල කිරණ මගින් බිඳ වැටෙන, ආකෘතික වශයෙන් අවුරුදු 340 ක් අඟහරු වායුගෝලයේ ජීව කාලයක් පවතින, අස්ථායී වායුවක් නිසා එහි පැවැත්ම ග්‍රහලොව මත වර්තමාන හෝ මෑත කාලීන ප්‍රභවයක් පිළිබඳ ඉඟි කරයි. ගිනි කඳු ක්‍රියාකාරකම් , ධූමකේතු ගැටීම් හා මෙතේන් නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම මෙලෙස පැවතිය හැකි ප්‍රභවයන්ය. පසු කාලීනව අඟහරු මත බහුලව ඇති ඛනිජමය ඔලිවයින්, කාබන් ඩයොක්සයිඩ් හා ජලය එක්ව සිදුවිය හැකි ජීව විද්‍යාත්මක නොවන සංසිද්ධියක් වන “සර්පන්ටයින්කරණය” නම් ක්‍රියාවලිය මගින් ද මෙතේන් නිපදවෙන බව පෙන්වා දෙන ලදී. ධ්‍රැව ශීත කාලවලදී මෙය දිගු අඳුරක පවතින අතර පෘෂ්ඨය සීතල කරමින් මුළු වායුගෝලයෙන් 25-30% පමණ ඝන CO2 (වියළි අයිස්) ඵලක බවට මිදීමට ලක්වේ. ධ්‍රැවය සූර්යාලෝකයට නැවත නිරාවරණය වූ පසු මිදුණු CO2 ඌර්ධවපාතනය වී ධ්‍රැව හරහා 400 km/h වේගයෙන් හමායන වේගවත් සුළං ඇති කරයි. මෙම සෘතුමය ක්‍රියාකාරකම් දූවිලි හා ජල වාෂ්ප විශාල ප්‍රමාණවලින් ප්‍රවාහනයකට ලක් කරන අතර පෘථිවියේ මෙන් තුෂාර හා කෙඳි වළාකුළු ඇති කරයි. ජල අයිස්වලින් සැදුම් ලත් වළාකුළු 2004 ඔපචුනිටි රෝවරය මගින් ඡායාරූපගත කරන ලදී.

දේශගුණය

සියලුම ග්‍රහයින්ගෙන් පෘථිවියට වඩාත් සමාන සෘතු විපර්යාස දක්වන්නේ අඟහරුය. ඒ ග්‍රහලෝක දෙකෙහි භ්‍රමණ අක්ෂ දෙකෙහි ඇලවීමෙහි ඇති සමානතාවය නිසාය. කෙසේ වුවද අඟහරුගේ සිට සූර්යයාට ඇති දුර, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරට වඩා වැඩි නිසා අඟහරුගේ වසරක් පෘථිවි වසර දෙකක් පමණ වන අතර එම නිසා අඟහරුගේ ඍතු අතර කාල ප්‍රාන්තර පෘථිවියේ මෙන් දෙගුණයක් පමණ වේ. අඟහරුගේ මතුපිට උෂ්ණත්වය ධ්‍රැව ශීත කාලයේදී -1400C (-2200F) පමණ අඩු අගයක සිට ග්‍රීස්ම ඍතුවේදී 200C(680F) දක්වා වැඩි අගයකට විචලනය වේ. අඟහරුට පවතින එතරම් සූර්ය තාපය දරා ගත නොහැකි තුනී වායු ගෝලය, අඩු වායුගෝලීය පීඩනය, හා අඟහරුගේ පස සතු අඩු තාපධාරිතාව මෙතරම් පුළුල් පරාසයක උෂ්ණත්වය විචලනයකට හේතු වේ.

අඟහරුටද පෘථිවියට සමාන කක්ෂයක් තිබුණි නම් එහි සෘතුද පෘථිවියේ සෘතුවලට සමානවීමට ඉඩ තිබේ. මන්ද, එහි අක්ෂයේ ඇලවීමද පෘථිවියට සමාන බැවිණි. කෙසේ වුවද සංසන්දනාත්මකව වැඩි විකේන්ද්‍රිකතාවක් ඇති අඟහරුගේ කක්ෂයේ සුවිශේෂී ලක්ෂණයන් ඇත. අඟහරු සූර්යයාට වඩාත්ම ආසන්න ලක්ෂ ආසන්නයේදී දක්ෂිණ අර්ධ ගෝලයට ග්‍රීෂ්ම සෘතුවද උත්තර අර්ධ ගෝලයට ශීත සෘතුවද ඇති අතර සූර්යය‍ාට වඩාත් ඈත ලක්ෂයේදී දක්ෂිණ අර්ධ ගෝලයට ශීත සෘතුවද උතුරු අර්ධ ගෝලයට ග්‍රීෂ්ම සෘතුවද ඇති වේ. මේනිසා උතුරේ සෘතු වඩාත් සෞඛ්‍යමය හා දක්ෂිණ අර්ධ ගෝලයේ සෘතු වඩාත් තියුණු වේ. දක්ෂිණ ග්‍රීස්ම සෘතු උෂ්ණත්වය උතුරට වඩා 300C (240F) පමණ ඉහළ අගයක් ගත හැක.

 
අඟහරුගේ උතුරු අයිස් ආවරණය

අප සෞරග්‍රහ මණ්ඩලයේ දක්නට ඇති විශාලතම ධූලිකුණාටු ඇත්තේ අඟහරු මතය. මේවා කුඩා පෙදෙසක් ආවරණය කෙරෙන ධූලි කුණාටුවක සිට සමස්ත ග්‍රහලොවම ආවරණය කෙරෙන කුණාටුවක් දක්වා පරාසයක විචලන‍ය වේ. අඟහරු සූර්යයාට සමීපවත්ම මේවා ඇති වීමේ ප්‍රවණතාවක් ඇති අතර, ගෝලීය උණුසුම වැඩිකිරීමටද හේතුවන බව පෙනී ගොස් ඇත.

ධ්‍රැව ආසන්නව ඇති ධ්‍රැව ආවරණ මූලික වශයෙන් ජල අයිස්වලින් සමන්විතය. කෙසේ වුවද එහි මතුපිට වියළි අයිස් ද යම් ප්‍රතිශතයක් ඇත. උත්තර ධ්‍රැවයේ ශීත කාලයේදී පමණක් මිදුණු කාබන් ඩයොක්සයිඩ් (වියළි අයිස්) මීටර් එකක් පමණ ඝනකම තුනී තට්ටුවක් ලෙස පැතිරෙන අතර දක්ෂිණ ධ්‍රැවයේ මීටර් 8 ක් ඝනකම ඇති නිත්‍ය අයිස් තට්ටුවක් ඇත. අඟහරුගේ උතුරු ග්‍රීෂ්ම ඍතුවේදී උතුරු ධ්‍රැව වැස්මට 1000Km පමණ විශ්කම්භයක් ඇති අතර එහි අයිස් කියුබික් කිලෝමීටර මිලියන 1.6 පමණ ඇත. මෙම අයිස් ප්‍රමාණය වැස්ම පුරා සමානව ඇතිරුවහොත් 2km පමණ ඝනකම් වේ. (මෙය අයිස් කියුබික් කිලෝමීටර මිලියන 2.85 ක් සහිත ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව සමග සැස‍ඳේ) දක්ෂිණ ධ්‍රැව වැස්ම සතු මුළු අයිස් අයිස් පරිමාව හා යාබද අයිස් තට්ටු වල මුළු අයිස් පරිමාව කියුබික් ක්ලෝමීටර් මිලියන 1.6 බවට ගණන් බලා ඇත. ධ්‍රැව වැස්මවල් දෙකම සර්පිලාකාර නිම්න පෙන්වන අතර මෙයට හේතුව ලෙස සූර්ය තාපනයේ ඇති වෙනස්කම් සමගම අයිස් ඌර්ධවපාතනය හා ජල වාෂ්ප ඝණීභවනය බවට විශ්වාස කෙරේ. අඟහරු ඍතු විපර්යාසවල උෂ්ණත්වය උච්ඡාවචනය අනුව ධ්‍රැව වැස්ම දෙකම හැකිලීමකට හා වර්ධනයකට භාජනය වේ.

අඟහරුගේ කක්ෂය සහ භ්‍රමණය

 
අඟහරු සහ සිරිස්(Ceres) අතර සම්බන්ධතාවය පෙන්නුම් කරයි

අඟහරුගේ සිට සූර්යයාට සාමාන්‍ය දුර දළ වශයෙන් කිලෝමීටර මිලියන 230 ක් වන අතර එහි කක්ෂගත වීමේ කාලය පෘථිවි දින 687 ක් වේ. අඟහරුගේ සූර්ය දිනයක් පැය 24 මිනිත්තු 39 තත්පර 35.244 ක් වන බැවින් එය පෘථිවියේ සූර්ය දිනයකට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. අඟහරුගේ වසරක් පාථිවි වර්ෂ 1.8809 කට නැතිනම් වසරක් දින 320 ක් සහ පැය 18.2 කට සමාන වේ.

අඟහරුගේ අක්ෂයෙහි අංශක 25.19 ක ආනතියක් ඇති අතර එය පෘථිවි අක්ෂයේ ආනතියට ආසන්න වශයෙන් සමාන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අඟහරු ග්‍රහයාගේ ද පෘථිවියේ මෙන් සෘතු දක්නට ලැබෙන අතර අඟහරු ග්‍රහයාගේ වර්ෂය පෘථිවි වර්ෂයට වඩා දීර්ඝ බැවින් එහි සෘතු කාල පරාසයන් ද දීර්ඝ වේ. අඟහරු ග්‍රහයා සූර්යයාට සමීපතම ලක්ෂයට 2007 ජුනි මාසයේ දී පැමිණුන අතර සූර්යයාගෙන් දුරස්තම ලක්ෂයට පැමිණුනේ2008 මැයි මාසයේ දීය.

අඟහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රීයතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමණි. කෙසේ නමුත් අතිතයේ දී අඟහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රීයතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අඟහරු පෘථිවි චක්‍රය වන වසර 100,000 සමඟ සසඳන විට අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීයතා චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ.

කක්ෂයේ ලක්ෂණ

ඉහත රූපයේ ෆෝබෝස් (Phobos) හා ඩෙයිමෝස් (Deimos) කක්ෂ පිහිටා ඇත. අඟහරුගේ උතුරු ධ්‍රැවයේ සිට එය දැකිය හැකය. (‘ෆෝබෝස්’ හා ඩෙයිමෝස්’යනු අගහරුගේ උපග්‍රහයන් 2කකි.) ෆෝබෝස් හි කක්ෂය අගහරුට ඉතා ආසන්නව පිහිටයි. මේ නිසා අසාමාන්‍ය ප්‍රතිඵල දැකිය හැකිය. අගහරුගේ සිට බලන විට ෆෝබෝස් චන්ද්‍රයාගේ දර්ශනය පෘථිවියේ චන්ද්‍රයා පෙනෙන විශාලත්වය මෙන් 6400 ගුණයක් විශාලව පෙනේ. එමෙන්ම පෘථිවියේ චන්ද්‍රයා මෙන් 2500 ගුණයක් දීප්තිමත් වේ. අගහරුගේ අහසේ ¼ ක ප්‍රමාණයක් මෙම චන්ද්‍රයාගේ දර්ශනයෙන් වැසෙයි. ෆෝබෝස් චන්ද්‍රයා පරිභ්‍රමණය වන්නේ අගහරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවටයි. නමුත් පරිභ්‍රමණ වේගය අගහරුගේ භ්‍රමණ වේගයට වඩා ඉතා වැඩි වේ. මේ හේතුවෙන් ෆෝබෝස් චන්ද්‍රයා බටහිරින් පායා, පැය 4 කින් පමණ නැගෙනහිරින් බැස යයි. දිනකට දෙවරක් මෙය සිදුවේ. (පැය 11 විනාඩි 6 කට වතාවක්) ෆෝබෝස් අක්ෂය සමකයට ආසන්න වේ. මේ හේතුවෙන් අංශක 70.4 ට ඉහළ අක්ෂාංශයන්ට මෙම චන්ද්‍රයා දැකිය නොහැකිය. අගහරුගේ සමකයේ සිට ෆෝබෝස් චන්ද්‍රයාගේ විෂ්කම්භය පෘථිවියේ සිට, පෘථිවිය චන්ද්‍රයා දකින ආනතියෙන් 1/3 ක වෙනසක් දක්වයි. අක්ෂාංශවල අගය ඉහළ වන විට මෙම ආනතිය අඩු වේ. මෙ හේතුවෙන් ෆෝබෝස් හි දර්ශනය වන විශාලත්වය 45% ක පරාසයක විචලනය වේ. දෘෂ්‍ය ආනතිය ෆෝබෝස් පායන විටදී 0.140 ද, බැස යන විට 0.200 ද වේ. සූර්යයාගේ ආනතිය අගහරුට 0.350 ක් වේ.

සූර්යග්‍රහන ෆෝබෝස් චන්ද්‍රයාගේ සමීප පිහිටීම නිසා නිරන්තර සූර්යග්‍රහන ඇතිවේ. නමුත් මේ සියල්ල අර්ධ සූර්යග්‍රහන වේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදු කිරීමට තරම් ෆෝබෝස් විශාල නොවේ. මෙම අර්ධ සූර්යග්‍රහන අභ්‍යවකාශ යානාවලින් හා අගහරු මත ඇති රොබෝ යන්ත්‍ර වලින් ඡායාරූපගත කොට ඇත.

ෆෝබෝස් හි අනාගත ව්‍යසනය ෆෝබෝස් ගේ ඉතා සමීප කක්ෂගත වීම නිසා අගහරුගේ ගුරුත්වය මගින් කක්ෂය තව ලං කරමින් තිබේ. එය වසර 100 කට මීටර් 1.8 ක ප්‍රමාණයක් වේ. උදම් බලයන්ගෙන් තුලනය වන සීමාව (Roche limit) ඉක්ම වූ විට ෆෝබෝස් හි අභ්‍යන්තර කුහර හා බිඳවැටීම් ඇති වේ. ඉන්පසු මෙම කැබලි අගහරු වටා කක්ෂ ගත වේ. නමුත් එයට තව වසර මිලියන 30 – 80 අතර කාලයක් ගත වේ.

අමතර අවධානයට

  • අඟහරු මත තාරකාවේදය
  • අඟහරු වටසන
  • අඟහරු වෙත අජටාකාශ චාරිකා ලැයිස්තුව
  • අඟහරු චුම්භක ක්ෂේත්‍රය
  • අඟහරු ඛණිජවේදය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මෞර්ය රාජවංශය

  • අප්‍රේල් 04, 2026

    බුද්ධ ධර්මය

  • අප්‍රේල් 04, 2026

    Terminologia Embryologica

  • අප්‍රේල් 03, 2026

    රත්නපුර දිස්ත්‍රික්කය

  • මාර්තු 10, 2026

    සිංහල සන්ධි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට