සුන්වොන් අගබිසව (순원왕후 김씨, 8 ජූනි 1789 – 21 සැප්තැම්බර් 1857) යනු කොරියාවේ ජොසොන්හි සුන්ජෝ රජුගේ අගබිසවයි. ඇය 1834–1841 සහ 1849–1852 යන කාලසීමාවන්හි උප රාජයකු ලෙස කටයුතු කොට ඇත.
ඇය අන්දොං කිම් වංශයේ කිම් ජෝ-සුන් (김조순, 1765–1832)ගේ දියණියයි. ඇගේ මව සිම් වංශයේ (심씨) ආර්යාවකි.
1802දී, ඇයව ජොසොන්හි සුන්ජෝ රජුට විවාහ කොට දෙන ලදී. ඇය ඔහුගේ පළමු සහ එකම අගබිසව වූවා ය. 1834දී ඇගේ සැමියා මියගිය හෙයින්, ඇය අට වියැති සිය මුණුපුරා වූ හොන්ජොං රජු වෙනුවෙන් උප රාජයා ලෙස කටයුතු කළා ය. රාජධානියේ දේශපාලන බලය ඇගේ පවුල වූ අන්දොං කිම් වංශය අත රැඳිණි. නමුත් 1840දී, එම බලය රජුගේ මවගේ පවුල වූ පුංග්යැං ජෝ වංශයට පත් වූයේ 1839 කතෝලික හිංසා කිරීමෙන් පසුවයි. නමුත් ඇගේ මුණුපුරා 1849දී මිය යාමත් සමග, ඇය නැවත වරක් අනුරාජයා බවට පත් විය.
1857 සැප්තැම්බර් 21වන දින කොරියාවේ, සෝල් හි, ජොංනෝ ගු පෙදෙසේ පිහිටි පංච මහා මාලිගාවලින් එකක් වූ චංදොක් මාලිගය තුළ දී ඇය අවසන් හුස්ම හෙළුවා ය.
ඇයව මරණින් පසු "සුන්වොන් සුක් අධිරාජිනිය" (순원숙황후) යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබිණි.
දරුවන්
ජොසොන්හි සුන්ජෝ රජුට දාව සුන්වොන් අගබිසව දරුවන් පස් දෙනකු බිහිකළා ය. ඇගේ වැඩිමහල් (සහ ජීවත් වූ එකම) පුත්‍රයා ඇතුළු ඔවුන් පස් දෙනා මෙසේ ය:
- කිරුළහිමි හ්යෝම්යොං කුමරු (효명세자, 1809–1830)
- ම්යොංගොන් කුමරිය (명온공주, 1810–1832)
- බොකොන් කුමරිය (복온공주, 1818–1828)
- නොහඳුනන කුමරෙක් (1820–?)
- දොකොන් කුමරිය (덕온공주, 1828–1844)
කිරුළහිමි හ්යෝම්යොං කුමරු
සුන්වොන් අගබිසවගේ පුත් කිරුළහිමි හ්යෝම්යොං කුමරු උපත ලැබූයේ යි යොං යන උපන් නාමයෙන් යුතුවයි. ඔහුගේ මරණින් පසු ඔහුව මුන්ජෝ රජු යන මරණාපර නාමයෙන් හැඳින්විණි. ඔහු ජොසොන්හි සුන්ජෝ රජුගේ වැඩිමහල්ම පුත්‍රයා විය. ඔහුගේ බිසව පසුව සෙන්ජොං රැජින යන නාමයෙන් හැඳින්විණි. ඔහුගේ පුත්‍රයා පසුකලෙක හොන්ජොං රජ යන නාමයෙන් රජු බවට පත් විය. 1817දී, හ්යෝම්යොං කුමරුන්ව සුංක්යුන්ක්වාන් විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් කර ගැණිනි. 1819දී, ඔහුට ජොසොන් රාජ්‍යයේ කිරුළහිමි කුමරු යන පදවිය පිරිනැමිණි. සාහිත්‍යය සහ කලාව යන ක්ෂේත්‍ර කෙරෙහි විශිෂ්ඨ ප්රවීණයකත්වයක් දැක් වූ ඔහු, මාලිගයේ ඇතැම් නර්තන අංග කිහිපයක්ම නිර්මාණය කළ අතර, රජය පුරා රජුගේ ආධිපත්‍යය පැතිරවීම සහ බලාත්මක කිරීම සඳහා මාලිග සම්ප්රදායයන් සහ කලාවන් උපයෝගී කොට ගත්තේ ය. දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවකින් පසුව 1827දී කුමරු රාජ්යාධිකාරිවරයකු ලෙස කටයුතු කළේ ය. නමුත් ඉන් වසර තුනකට පසුව, එනම් 20 වන වියේ දී ඔහු මියගියේ ය. කුමරුන්ව අනුස්මරණය කිරීම සඳහා ඔහුගේ සොංග්යුංග්වාන්හි අධ්‍යයන කාලය නිරූපණය කිරීමට දර්ශන සයකින් යුක්ත වූ ඇල්බමයක් නිර්මාණය කෙරිණි. මෙය ජොසොන් රාජවංශයේ වාර්තා සිතුවම් අතුරින් එකක් ලෙස සැලකේ.
- ජොසොන් රාජවංශයේ ජනයා
- 19වන සියවසේ කොරියානු ජනයා
- 1789 උපත්
- ජොසොන් රාජවංශයේ රාජකීය බිසෝවරු
- 19වන සියවසේ කාන්තා පාලකයින්
- 1857 මරණ
- කොරියාවේ රාජ්‍යාධිකාරීන්
- අන්දොං කිම් වංශය