බුදුදහමට අනුව සමාධි හෙවත් සම්මා සමාධි යනු සිත එකාග්‍රව තබාගැනීමයි. (චිත්තස්ස ඒකග්ගතා සමාධි)
".........තත්ථ කතමෝ සම්මා සති ? ඉධ භික්ඛූ විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේහි ධම්මේහි...."ආදී වශයෙන් නිවැරදි සමාධිය යන්න සිව්වැදෑරුම්ව විස්තර කෙරේ. එනම්,
- ප්‍රථම ධ්‍යාන සමාධිය
- ද්විතීය ධ්‍යාන සමාධිය
- තෘතිය ධ්‍යාන සමාධිය
- චතුර්ථ ධ්‍යාන සමාධිය
මෙසේ සිත ස්ථිර ලෙසින් නොසැලෙන අයුරින් පිහිටුවා ගැනීම සම්මා සමාධිය වේ.
සමාධිය පිලබඳ සඳහන් අවස්ථා
සමාධිය පිළිබඳ සංකල්පය පහත දේශනාවල අඩංගු වේ.
-ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වන සම්මා සමාධිය (නිවැරදි සිහිය)
-ත්‍රිවිද්‍යාව (පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය හා ආසවක්ඛය ඤාණය) - සීල, සමාධි, ප්‍රඥා
-ධ්‍යාන සතර, දෙවන ධ්‍යානය හට ගන්නේ සමාධියෙනි.
-විශුද්ධි මාර්ගයට අනුව ප්‍රඥාව ලබා ගැනීමට ආසන්නතම හේතුව වන්නේ සමාධියයි.
සමාධි වඩන ක්‍රමය
බුදු දහමට අනුව සතලිස් කම්මත්ථාන පිළිබඳ මෙනෙහි කිරීමෙන් සමාධිය හට ගනි. සමාධිය වැඩීමෙන් කෙනෙකුගේ සිතේ කෙලෙස් දුරු වී සිත සන්සුන් භාවයට පැමිණේ. භාවනානු යෝගියෙකු සමාධි භාවනාවෙන් ඉහළම තලයට ළඟා වු පසු ඔහු යථාර්ථයේ නියම ස්වභාවය අවබෝධ කරගෙන දුකින් මිදීමේ සත්‍යය වෙත ළඟා වේ.
සමාධියේ ප්‍රයෝජන / අරමුණු
අංගුත්තර නිකායේ සමාධිය වර්ධනයේ ක්‍රම 4 ක් දැක්වෙන අතර සෑම ක්‍රමයකටම අනන්‍ය වූඅරමුණක් පවති.
1. ධ්‍යාන සතර වැඩීමෙන් සාමාන්‍ය ජීවිතය ප්‍රසන්න භාවයට පත් කර ගත හැක.
2. ප්‍රඥාව හා අභිඥා - අලෝකය අරමුණු කර භාවනාවෙන් ලැබේ.
3. සිහිය හා පැහැදිලි අවබෝධය - වේදනා, සංඥා හා සිතුවිලි සිතෙහි පවතින ආකාරය පිළිබඳ සිත පිහිටුවීමෙන් ලැබේ.
4. කෙලෙස් දුරු කිරීම - පංචස්කන්ධයේ ස්වභාවය පිළිබඳ සිත පිහිටුවීමෙන් ලැබේ.
බෞද්ධ සුත්‍ර වලට අනුව සමාධි භාවනාව පුහුණු කරන්නෝ විවිධ අභිඥා බල හෙවත් අධිමානසික බල ලබාගනිති. නමුත් බුදුරජාණන් වහන්සේ මෙම හැකියාවන් හේතුවෙන් සිත වියවුල් කරගෙන නිර්වාණය පිළිබඳ අරමුණු අමතක නොකරන ලෙසට අනතුරු ඇඟවු සේක.
සම්මා සතිය
සම්මා සති යනු නිවැරැදි සිහියයි. වික්ෂිප්ත බවෙන් තොර වූ අවදිකමයි. එළඹ සිටි සිහියයි. පුහුණු නොකළ සිතක් නිරතුරුවම නොසන්සුන්ය. වික්ෂිප්තය . ඒ නිසා තමා තුළ හටගන්නා සිතිවිලි හඳුනා ගැනීමට පුද්ගලයාට අවදිකමක් නැත. හොඳ - නරක, පින්- පව්, කුසල් - අකුසල්, සාවද්‍ය - නිරවද්‍ය යන මෙම සිතිවිලි හදුනා ගැනීමට නිතර සිහිය පිහිටුවා ගත යුතුය. එසේ සේවනය කළ යුතු කුසල ධර්ම සේවනය කළ යුතුය. සේවනය නො කළ යුතු අකුසල ධර්ම සිතින් බැහැර කිරීමට ශ්රාවකයා පෙළෙඹෙනු ඇත. නිරන්තරයෙන් එහෙ මෙහෙ දුවන හිත එකඟ කර ගැනීමට පුහුණුව ඇති වන්නේ එවිටය. කාම තණ්හා, භව තණ්හා , විභව තණ්හා යන ත්‍රිවිධ කම්ම වට්ටයෙන් මිදීමට ස්කන්ධයන්ගෙන් නිසරු බව වැටහෙන්නේ ජීවිතයේ එදිනෙදා කටයුතු වල දී ප්‍රායෝගික වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව සිතීමට පුරුදු වීමේදීය. ඒ අනුව පුද්ගලයාට නාම - රූප ධර්මතාවයන්ගේ යථා ස්වභාවය වන අනිත්‍ය දුඞඛ - අනාත්ම නමැති ත්‍රිවිධ ලක්ෂණ වැටහෙයි.
සිහි නුවණින් කටයුතු කිරීමේදී සිතිවිලි වලට වහල් නොවී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු (යථා භූත) පිළිවෙත, මජ්ක්‍ධිම නිකායේ මහා සුඤ්ඤතා සූත්‍රයේ මෙසේ දක්වා තිබේ.
“ නාහං ආනන්ද එක රූපම්පි සමනුපස්සාමි යත්ථාහි රත්තස්ස රූපස්ස විපරි නාමඤ්ඤතා භාවනා උප්පජ්ජෙය්යුං සෝක පරිදෙව දුක්ඛ දෝමනස්සුපායා සා “
ආනන්ද කිසියම් රූපයක ඇලී ගැලී කාම රාගය ඇතිකර ගන්නේ නම්, ඒ උපාඥානය වී තිබූ රූපය වෙනස් වන විට බිඳෙන විට (නැසෙන විට) ඒ තැනැත්තාට ශෝකයක් සන්තාපයක් නූපදින්නේ යැයි කිව හැකි කිසිම රූපයක් මේ ලෝකයේ යෝනිසෝමනසිකාරයෙන් (සිහිනුවණින්) නො දකිමි.
රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශා දී ධර්මතාවල තෘෂ්ණාවෙන් ඇලෙන සිතිවිලි ඇතිවන්නේ ඉන්ද්රිය ගෝචර අවස්ථා වලදී සිදුවන අතීත සංඥා සිහිපත් වීමෙනි. මනසේ ස්වභාවය ඉන්ද්රිය මගින් හටගන්නා සෑම අරමුණක දීම අතීතර නාම -රූප මෙනෙහි වීමයි. එසේ හෙයින්, මෙම මෙනෙහි වීම වැළැක්වීමට සිත ඒකාග්රතාවයකට ගැනීමට සිහිය තදින් පිහිටුවීමට පුහුණුවක් ඇති කර ගත යුතුය.
“අයං ඛො ආනන්ද විහාරො තථාගථෙන අභිසම්බුද්ධො යදිදං සබ්බ නිමිත්තානං අමනසිකාරො අජ්ජක්ධත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විරහතුං “
“ ආනන්දය, තථාගතයන් විසින් මෙලෙස වාසය කිරීමට කුමන ධර්මතාවක් අවබෝධ කර ගැනීම හේතු වී ද? රූපා දී සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් ආධ්‍යාත්මික ශාන්තිය - ඵල සමාප්තිය ලබා ගැනීම ඒ සඳහා හේතු විය.
සතිය තදින් පිහිටුවාගෙන භාවනා කිරීම, ප්‍රධාන භාවනා ක්‍රමයයි. එසේ සතිය තදින් පිහිටුවා ගෙන වාසය කිරීම සතර ඉරියව් වලදීම අවශ්‍යය. එසේ ‘ සතර වෝහාර ධම්ම ‘ නම් වූ සිත වැඩ කරන දිට්ඨ, ස්රත මුන, විඤ්ඤාත යන අවස්ථාවලදී (පෙනෙනවා , ඇසෙනවා , දැනෙනවා, සිතනවා) අතීත මතක සටහන් (සඤ්ඤා) පදනම්ව ඇතිවන නැවත උපදින සිතිවිලි වලට වහල් නොවීමට සතිය නිරන්තරයෙන්ම උපකාර කරගත යුතු වෙයි.
සිහිය තදින් පිහිටුවා ගැනීම යන අදහස ගෙන දෙන එකම බෞද්ධ භාවනාව, සතිපට්ඨාන භාවනාවයි. එය සතර සතිපට්ඨාන භාවනාව වෙයි.
1. කායානුපස්සනා 2. වේදානුපස්සනා 3. චිත්තානුපස්සනා 4. ධම්මානුපස්සනා යනුවෙන් සඳහන් වන්නේ ඒ සිහිය පිහිටුවිය යුතු තැන් සතරයි .
කායානුපස්සනා සතිපට්ඨානය
:-
තම ශරීරය අනුව මෙන්ම අනෙක් සත්වයා ගැනත්, ලෝකය ගැනත් අනිත්‍ය , දුඞඛ, අනාත්ම යන ත්රිලක්ෂණය අනුව නිරන්තර හට ගැනීම, වෙනස්වීම , හා නැසීම පිළිබඳ හේතු ප්‍රත්‍ය ඒකාන්ත වශයෙන් දුක් හටගැනීමේ ස්වභාවයක් බව අවබෝධ කොටගෙන ඒ ගැන තදින් සිහිය පිහිටුවා ගැනීම කය විෂයෙහි සත්ව පුද්ගල සංඥාව දුරු කර ගැනීමේ ප්‍රධාන අදහසයි. කායානුපස්සනා සතිපට්ඨානය 1.ආනාපාන 2. ඉරියාපථ 3. චතුසම්පජඤ්ඤ 4. පටික්කූල 5. ධාතු මනසිකාර වශයෙන් කොටස් පහක් හා මෘත ශරීරයෙහි අවස්ථා නවයක් වශයෙන්, කොටස් 14 කින් යුක්තය.
ආනාපාන සතිය
ආනාපාන සති භාවනාව යනුවෙන් අදහස් වන්නේ ආශ්වාස ප්රාශ්වාසයෙහි සිහිය පිහිටුවීමයි. ආනාපාන සති භාවනාව භාවිතා කරන, බහුල වශයෙන් කරන තැනැත්තාට මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිතා කරන බොහෝ වශයෙන් කරන ආනාපාන සති භාවනාවෙන් සතර සතිපටිඨානයම සම්පූර්ණ කෙරෙයි.
බොහෝ වශයෙන් භාවිතා කරන සතර සතිපට්ඨානයෙන් සත්තබොජ්ක්ධංග සම්පූර්ණවෙයි. බොහෝ වශයෙන් භාවිතා කරන සත්තබොජ්ජක්ධංගයන් ගෙන් විද්‍යාවත්, විමුක්තියත් සපුරාලයි. ඉන්ද්රිය භාවනාවේ දීද මෙය ම සිදු වන්නේය. සතර සතිපට්ඨාන සත්තබොජ්ඣංග ආදී සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වෙන් වෙන්ව වඩන දහම් නොවේ. විපස්සනා භාවනාවේ යෙදෙන විට, ඒ සියල්ලම සම්පූර්ණවෙයි.
ඉරියාපථ , චතුසම්පජඤ්ඤ , සාත්‍ථකසම්පජඤ්ඤ , පටික්කූ®ල මනසිකාර , ධාතු මනසිකාරය, නව සීවථිකා , වේදනානුපස්සනා , චිත්තානු පස්සනා, ධම්මානු පස්සනා ආදි සතිපට්ඨාන ගැන වැඩි වශයෙන් කරුණු දැන ගැනීම පිණිස මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය හා ආනාපාන සති සූත්‍රයත් දීඝ නිකායේ සතිපට්ඨාන සූත්‍රයත් පරිශීලනය කරන්නේ නම් මැනවි.
සම්මා සමාධිය
නිර්වාණ ප්‍රතිපදා මාර්ගයේ අටවන අංගය, සම්මා (නිවැරැදි) සමාධියයි. සමාධිය යනු සිත ඒකාග්‍රතාවයක පිහිටුවා ගැනීමයි. සිත එකඟ කර ගැනීමයි. ඉහත සඳහන් සූත්‍ර පාඨය අනුව සමාධිය ඇතිකර ගැනීම පිණිස සම්මා දිට්ඨියේ පටන් සම්මා සතිය දක්වා වූ අංග හත එකිනෙකට සාපේක්ෂ ව සම්මා දිට්ඨියට පිරිවර වෙයි. සම්මා දිටිඨියෙන් සම්මා සංකප්පයද එම අංග දෙක පූර්වාංගම වීමෙන් නිවැරැදි වචනය නිවැරැදි කර්මාන්තය , නිවැරැදි ජීවිතය ද යන අංග සම්පූර්ණ වී ආර්ය ශ්රාවකයා ශීලයෙහි පිහිටනු ඇත.
දැන් ඔහු නිවැරැදි ව්‍යායාමයත්, නිවැරැදි සිහියත් පිහිටුවාගෙන යෝනිසොමනසිකාරයෙන් යුතුව සතර ආකාරයෙන් සිදුවන ස්පර්ශ වලදී ඒවා විපස්සනා කිරීමට සිහිය පිහිටුවා ගනී. මෙම ආර්ය මාර්ගාංග හත පරිවාරකොට ගෙන උපදවා ගන්නා සමාධිය, ආර්ය සමාධියයි. මේ සියල්ලටම පූර්වාංගම වන්නේ, සම්මා දිට්ඨියයි. (මහා චත්තාරීසක සූත්‍රය ම.නි.)
සම්මා දිට්ඨියෙන් ලොව දෙස බලන තැනැත්තා යම් වස්තුවක් (රූප ) යථා භූත පරිදි දැක, ඒ කෙරෙහි නිවැරදි තීරණයක් ගෙන, එහි අනිත්‍ය ස්වභාවය දැක, එහි ඇලීම ප්රතික්ෂ්ප කරයි, මුළා නෙවෙයි, සිතින් උපාදානය නොකරයි. මෙහි දී සිදුවන්නේ එම වස්තුව පිළිබඳ සිත තුළ උපන් සිතිවිල්ල සිතින් අල්ලා නොගෙන ප්‍රහීණකර දැමීමය. එය එම වස්තුව ප්රතික්ෂ්ප කිරීමක් නොව, තමාගේ සිත තුළ උපන් සිතිවිල්ල සිතින් අල්ලා නොගෙන ප්‍රහීණ කර දැමීමය. එය එම වස්තුව ප්‍රතික්ෂේප කිරීමක් නොව, තමාගේ සිත තුළ උපන් සිතිවිල්ල සිතින් අල්ලා නොගෙන ප්‍රහීණ කිරීම පමණකි. මෙම මානසික ක්‍රියාකාරිත්වය , ත්‍රිවිධ ප්‍රඥාව යනුවෙන් හැඳින්වෙයි.
1. ඤාත පරිඤ්ඤා 2. තීරණ පරිඤ්ඤා, 3. පහාන පරිඤ්ඤා “ ඤාත” යනු දැන ගැනීමය. ‘පරිඤ්ඤා’ යනු ප්‍රවීණ ඤාණයෙන් දැකීමය. පහාන පරිඤ්ඤා යනු සිතින් අල්ලා නොගෙන අතහැරීමය. (මනසිකරොථ) භාවනානුයෝගී යෝගාවචරයකුගේ මානසික ක්‍රියාකාරිත්වය , එම ත්‍රිවිධ පඤ්ඤාව අනුව සිදුවෙයි.
ඤාත පරිඤ්ඤාවෙන් දැන ගන්නේ රූප, ශබ්ද, ගන්ධ ආදි භෞතික රූප පඨවි, ආපෝ, තේජෝ. වායෝ ආදී මහා භූත ධර්මනිසා සංස්කරණය වූ ඒවා බවය.
තීරණ පරිඤ්ඤාවෙන් කැරෙන්නේ ලෝකයේ කිසිවක් එක ලෙසින් (නිත්‍ය වශයෙන්) නොපවතින හෙයින්, ඒවා අනිත්‍ය බැවින්, එයින් සදාකාලික සැපතක් හා සතුටක් නොලැබිය හැකි බවට ගනු ලබන තීරණයයි. එවැනි අනිත්‍ය වූ වස්තුවක් තෘෂ්ණාවෙන් උපාදානය කොට මගේ කොට ගැනීම කළහොත් එම වස්තුව විපරිණාමයට හා පරිහානියට පත්වීමෙන් ඇතිවන දුක පිළිබඳ අවබෝධය නිසා සිත තුළ ඇතිවන තෘෂ්ණා දෘෂ්ටි මාන යන ප්‍රපංචයන්ගෙන් මිදීම
(ප්රහාණය කිරීම ) ‘පහාන පරිඤ්ඤා ‘ යනුයි.
මෙසේ සිත වැඩීමේ දී අනුක්රමයෙන් කාමාදී අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විතක්ක විචාර සහිත ප්‍රථම ධ්‍යානය උපදවා ගන්නට හැකි වන්නේය. මේ අනුව ආර්ය ශ්රාවකයා සම්පූර්ණයෙන් අකුසලයන්ගෙන් වෙන් වී ඇති බව දැක්වෙයි.
ආර්ය ශ්රාවකයා මේ තත්ත්වයට පත් වන විට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාසව පුඤ්ඤාභාගීය උපධිවෙපක්ක නමින් හැඳින්වෙන ප්‍රථම අංගය පුරා අවසන් කොට, අනාසව ලෝකෝත්තර මාර්ගාංගය පිරීම ආරම්භ කරන්නේය. එහිදී ආර්ය ශ්‍රාවකයාගේ හිත ප්‍රඥාව දෙසට යොමු වන අතර, ඔහු තුළ පවත්නා දස සංයෝජන හා පංච නීවරණ ද අනුක්රමයෙන් ක්ෂය වී යන්නේය.
ඉන්පසු එබඳු සිතක් උත්තරීතර (අශෛක්ෂ) ඤාණ දර්ශනය දෙසට යොමු වන්නේය. (සම්මා ඤාණ 9 වැනි අංගය ) මෙසේ ප්‍රඥාව තියුණු ලෙස වැඩීමේ දී ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා විසින් ඉද්ධිවිධ ඤාණය දිබ්බසොත ඤාණය චෙතොපරිය ඤාණය , පුබ්බෙනිවාසානුස්සති ඤාණය , චුතූපපාත ඤාණය ආදී වශයෙන් විශිෂ්ට ඤාණ දර්ශන සම්පූර්ණ කොටගෙන අවසන් වශයෙන් ආශ්රවක්ෂය කර ඤාණය කරා සිත යොමු කොට කෙළෙසුන් සපුරා මිදුණු දුකෙහි සංසිඳීම වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේය. එය සම්මා විමුක්තිය ලෙස හැඳින්වෙයි. (සම්මා විමුක්ති 10 වැනි අංගය )
සමණා මණ්ඩිකා සූත්‍රය ම.නි.)
ඉහත දැක්වූ කරුණු ගැන විමසා බැලීමේදී සමාධිය බෞද්ධ මාර්ගයේ නිෂ්ඨාව නොවන බව පැහැදිලිය .
සම්මා සමාධියෙන් අවසන් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්රාවකයා නිවනට යොමු කරන මාර්ගය පමණක් වන අතර, පූර්ණා විමුක්තිය ලැබීම පිණිස (මහා චත්තාරීසක සූත්‍ර දේශනාවේ දැක්වෙන පරිදි) අශෛක්ෂ වශයෙන් දේශනා කර තිබෙන සම්මා ඤාණ නම් වූ නව වැනි අංගයත්, සම්මා විමුක්ති නම් වූ දහ වැනි අංගයත් වශයෙන් දසාංග මාර්ගය සම්පූර්ණ කළ යුතුවෙයි.
ශෛක්ෂ වශයෙන් පුහුණු වන්නන්ගේ (ආධුනිකයන්ගේ) ප්‍රයෝජනය පිණිස සම්මා දිට්ඨි - සම්මා සංකප්ප (ප්‍රඥාව) මුල් කරගෙන අංග අටකින් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගයන්, අශෛක්ෂ වශයෙන් කෙලෙස් ප්‍රහීණ කරන උතුමන්ට දසාංග මාර්ගත් නිර්දේශ කර තිබේ. (දශඅංගයෙහි සමන්නාගතො අරහා) සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ යනුවෙන් දැක්වෙන නිරන්තර සීලයේ පිහිටීම සිදුවන්නේ, ආර්ය භාවයට පත්වීමෙන් පසුවය.