සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නවකතාවක් යනු, සාමාන්‍යයෙන් අනුක්‍රමික කථාන්තරයක විලාසයෙන්, ප්‍රබන්ධ චරිත සහ සිද්ධි විස්තර කරන, දිගු ගද්‍ය ආඛ්‍යානයකි. මෙම සාහිත්‍යාංගය වසර දෙදහසකට ආසන්න පරිපූර්

නවකතාව

  • මුල් පිටුව
  • නවකතාව

නවකතාවක් යනු, සාමාන්‍යයෙන් අනුක්‍රමික කථාන්තරයක විලාසයෙන්, ප්‍රබන්ධ චරිත සහ සිද්ධි විස්තර කරන, දිගු ගද්‍ය ආඛ්‍යානයකි. මෙම සාහිත්‍යාංගය වසර දෙදහසකට ආසන්න පරිපූර්ණ සහ අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන්නක් ලෙස සැලකේ. මෙම දැක්ම විසින් සම්භාව්‍ය ග්‍රීසිය සහ රෝමය, මධ්‍යකාලීන සහ මුල් නුතන අරුමැසි කතාව, සහ කෙටි-නවකතා (novella) සම්ප්‍රදාය තුළ ද නවකතාවේ මූලාරාම්භයන් හඳුනාගනී. කෙසේවෙතත් ඉයන් වොට් The Rice of the Novel (1957) හි නවකතාව මුලින් ම හඳුනාගත හැකිවන්නේ 18වන සියවසේ මුල් අවධියේ දී බවට අදහස් දක්වයි.නූතන යුගය තුළ නවකතාමය ලක්ෂණ පෙන්නුම් කළ ප්‍රථම යුරෝපියානු සාහිත්ය කරුවා ලෙස බොහෝවිට සඳහන් කරනු ලබන්නේ දොන් ක්විසෝට්හි (Don Quixote) කතුවර මිගුවෙල් දි සර්වැන්තේස් (Miguel de Cervantes) ය. දොන් කිවිසෝට් කෘතියේ ප්‍රථම භාගය 1605දි ප්‍රකාශයට පත්විය. අරුමැසි කතාව (romance) ද මීට සමීප දීර්ඝ ගද්‍ය ආඛ්‍යාන විශේෂයකි. අපූර්ව සහ අද්භූත සිදුවීම් ඇසුරු කරගන්නා ගද්‍යමය හෝ පද්‍යමය වූ ප්‍රබන්ධ ආඛ්‍යාණයක් ලෙස වෝල්ටර් ස්කොට් අරුමැසි කතාව නිර්වචනය කළ අතර නවකතාව තුළ දිගහැරෙන සිදුවීම් ව්‍යවහාරික මිනිස් දිවියේ දෛනික රිද්මයට සහ නූතන සමාජ තත්ත්වයට අනුකූල බවට ද අදහස් දැක්වීය. කෙසේවෙතත් ස්කොට්ගේ ඓතිහාසික අරුමැසි කතාවන් ද ඇතුළු ව එමලි බ්‍රොන්ටේගේ වදරිං හයිට්ස් (Wuthering Heights) සහ හර්මන් මෙල්විල්ගේ මෝබි ඩික් (Moby-Dick) වැනි කෘතීන් ද නවකතාවන් ලෙස බොහෝවිට සඳහන් කරනු දැකිය හැකි අතර Romance යන යෙදුම Novel යන්නට බෙහෙවින් සමීප අරුත් නගන යෙදුමක් (kindred term) බවට ස්කොට් කරුණු දක්වා තිබේ. අරුමැසි කතාව උදෙසා මෙන් ම ආදරය සහ රාගය ඇසුරු කරන නවකතාවන් (romance novel) උදෙසා ද ඉංග්‍රීසි භාෂාවේ romance යන යෙදුම භාවිත වන අතර යට කියන ලද්දේ අරුමැසි කතාව සම්බන්ධයෙන් මිස ආදරකතා ශානරය පිළිබඳ ව නොවේ. අරුමැසි කතාව සහ නවකතාව භාෂාත්මක ව වෙන්කර දක්වන්නේ ඉංග්‍රීසි භාෂාව තුළ පමණක් වන අතර අනෙකුත් යුරෝපියානු භාෂාවල novel සහ romance පර්යාය යෙදුම් ලෙස භාවිත වෙයි.

පටුන

ශානරය නිර්වචනය කිරීම

 
Madame de Pompadour පොතක් සමග සිය සවස් යාමය ගත කරමින්, 1756.

නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කෙරෙන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්‍යානයකි. නූතන යුගයේ නවකතාවන් සාමාන්යසයෙන් ගද්‍යමය සාහිත්‍ය ආකෘතිය යටතේ රචනා කෙරෙන අතර 15වන සියවසේ මුද්‍රණ ශිල්පය සොයාගැනීම සහ ලාභදායී කඩදාසිය හඳුන්වා දීමත් විසින් ගද්‍ය නවකතාවේ සංවර්ධනයට තල්ලුවක් සැපයිණි.දීර්ඝ ගද්‍යමය ප්‍රබන්ධ කෘතීන් උදෙසා වත්මන් ඉංග්‍රීසියේ (සහ ස්පාඥ්ඤ භාෂාවේ) යෙදෙන වදන නවමු හෝ නවදේ හෝ අලුත් ආරක කෙටිකතාවක් හැඳින්වීමට යෙදෙන ඉතාලියානු novella යන වදනින් තද්භව වූවකි. එහි තද්සම වදන වන ලතින් novella යන්න නව යන අරුතැති novus ඇසුරින් බිහිවුණු novellus නම් නපුංසක බහුවචන පදයෙහි ඒකවචනයයි.

ප්‍රබන්ධ ආඛ්‍යානයක් වීම

නවකතාව ඉතිහාස ලේඛනයකින් වෙන්වන්නේ ප්‍රබන්ධමය බව විසින් බව බොහෝදුරට පිළිගත් මතයයි. එහෙත් ඇතැම්විට මෙම නිර්ණායකය නොමඟ යවනසුලු විය හැකි ය . මුල් නූතන අවධිය පුරා ම ඓතිහාසික ආඛ්‍යාන රචකයෝ නිරතුරු ව කෘතියේ යම්කිසි කොටසක් වර්ණවත් කිරීමටත් කිසියම් ඓතිහාසික කරුණක් පිළිබඳ සිය පැහැදිලි කිරීම්වලට පාඨකයාගේ විශ්වසනීයත්වය දිනාගැනීමටත් සාම්ප්‍රදායික පිළිගැනීම් පාදක කරගත් ස්වකීය වූ පරිකල්පනයන් ඇතුළත් කළෝ ය. ඉතිහාසඥයෝ ද උපදේශාත්මක අරමුණු වෙනුවෙන් ප්‍රබන්ධ සිදුවීම් ඉපදවීම සහ ගොඩනැගීම සිදු කරති. අනෙක් අතට ඉතිහාස කෘතියකින් සොයාගැනීමට සහ පෙන්වාදිය නොහැකි වන නිශ්චිත යුගයක සහ ප්‍රදේශයක සමාජ, දේශපාලනික සහ පුද්ගල යථාර්ථයන් නිරූපණය කිරීමට නවකතාවට හැකි ය.

ගද්‍ය සාහිත්‍යාංගයක් වීම

නූතන නවකතාවේ සම්මතය බවට ගද්‍යාකෘතිය පත් ව තිබුණ ද නූතන යුරෝපීය නවකතාවේ ආදිතමයන් අතර දකුණු ප්‍රංශයේ රොමෑන්සීය බසින් රචිත පද්‍යාකෘතික වීරකාව්‍යයන්, වෙසෙසින් ම Chrétien de Troyes වැන්නන්ගේ නිර්මාණ සහ මධ්‍යම ඉංග්‍රීසි බසින් ලියැවුණු පද්‍යාකෘතික වීරකාව්‍යයන් (ජෙෆ්රි චෝසර්ගේ ද කැන්ටබරි ටේල්ස්) හමු වේ. 19වන සියවසේ දී ද බයිරන් සාමිගේ දොන් ජුවන්, ඇලෙක්සැන්ඩර් පුශ්කින්ගේ ඉයුජිනි ඔනෙජින් (Eugene Onegin) සහ එලිසබෙත් බැරට් බ්ර්වුනින්ගේ Aurora Leigh (1856) ගද්‍ය නවකතාවන් සමග තරග කළහ. ඔනෙජින් ආකෘතියේ පද්‍ය (Onegin stanzas) 590කින් සමන්විත වික්‍රම් සෙත්ගේ The Golden Gate (1986) පද්‍යමය නවකතාවකට මෑතකාලීන නිදසුනකි.

සමීප අත්දැකීමක් වීම

12වන සියවස තුළ ජපානයේත් 15වන සියවස තුළ යුරෝපයේත් ගද්යා ප්ර)බන්ධය විසින් සමීප පාඨන අවස්ථාවන් සංවිධානය කරන ලදී. එහෙත් ඔඩිසි සහ ඊනිඩ් ඇතුළු පද්යාුකෘතියෙන් රචිත වීරකාව්යරයන් නිශ්චිත ශ්රාථවක සමූහයකට සඣ්ඣායනා කෙරුණේ විය. පුද්ගල ආඨෝපයෙන්, අනන්යය මතිමතාන්තරවලින්, සහෘද සංවේදනයන්ගෙන්, රහසිගත කාංසාවන්ගෙන්, සිත්ගන්නාසුලු විනීත බවින් යුතු නව ලෝකයක් නවකතාවන් සහ අරුමැසි කතාවන් ඇසුරු කරගනිමින් බිහිවිය.

දීර්ඝ ආඛ්‍යානයක් වීම

අද කෙටි නවකතාව, කෙටිකතාව, ජනප්‍රිය ප්‍රබන්ධය (flsh fiction) වැනි ගද්‍ය ප්‍රබන්ධාකෘතීන් අතර දීර්ඝතම සාහිත්‍යාංගය බවට නවකතාව පත් ව තිබේ. කෙසේවෙතත් 17වන සියවසේ විචාරකයන් අරුමැසි කතාව සාතිශය දීර්ඝත්වයකට හිමිකම් කියන්නක් ලෙසත් නවකතාව එහි කුඩා එදිරිවාදියා ලෙසත් දුටහ. කෙසේවෙතත් මෙම ප්‍රබන්ධාකෘතීන්හි දීර්ඝත්වය පිළිබඳ වෙනස ප්‍රශස්ත නිර්වචනයක් තුළින් හඳුනාගත නොහැකිය. දීර්ඝත්වය පිළිබඳ අවශ්‍යතාවය නවකතාව ජීවන සමස්තයක් කැටිකරගත යුතු ය යන අදහස සමග සාම්ප්‍රදායික ව බැඳී පවතී.

ඇගයීම් ක්‍රමවේද සැකසීමේ දී බොහෝ සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවයන් දීර්ඝත්වය නිර්ණායකයක් ලෙස සලකන බැවින් එය තවමත් වැදගත් සාධකයක් ව පවතී.

මුල්කාලීන නවකතා

 
කඩදාසිය සුවිශේෂී මාධ්‍යයක් වීම: මුරසකි ෂිකිබු සිය ගෙන්ජි කථා රචනා කරමින්, 17වැනි ශතවර්ෂයේ අඳින ලද්දකි.

නවකතාවේ මූලබීජයන් පුරාණ ග්‍රීසිය, 10වැනි 11වැනි සියවසේ ජපානය තුළ මෙන් ම එලිසබෙත් රාජිනියගේ සමයට අයත් එංගලන්තය තුළ ද හමුවෙතත් යුරෝපියානු නවකතාවේ ආරම්භය 1605දී පළ වූ දොන් ක්විසෝට් කෘතියත් සමග ඇරඹුණු බව සඳහන් කරනු ලැබේ. මුල්කාලීන ව රචනා වූ දීර්ඝ ගදය ප්‍රබන්ධයන් හෙවත් නවකතාවන් යටතට ලතින් බසින් ලියැවුණු Petronius ගේ Satyricon සහ Apuleius ගේ The Golden Ass , 6වැනි සහ 7වැනි සියවස්වල සංස්කෘත බසින් ලියැවුණු දණ්ඩීන්ගේ දශකුමාර චරිතය සහ 7වැනි සියවසේ බානභට්ටයන් විසින් ලියැවුණු කාදම්බරිය, 11වැනි සියවසේ ජපානයේ මුරසකි ශිකිබු ලියූ ගෙන්ජි කථා, 12වැනි සියවසේ අරාබි ලේඛක ඉබ්න් තුෆේල් (Ibn Tufail) ලියූ Hayy ibn Yaqdhan , 13වන සියවසේ තවත් අරාබි නවකතාකරුවෙක් වූ ඉබ්න් අල් නෆිස් (Ibn al-Nafis) ලියූ Theologus Autodidactus සහ 14වන සියවසේ චීන බසින් ලියැවුණු ලුඹ් ගුඇන්ශොංග්(Luo Guanzhong) ගේ Romance of the Three Kingdoms ගැනේ.

මුරසකි ශිකිබුගේ ගෙන්ජි කතා ලොව පළමු නවකතාව ලෙස අර්ථදක්වා ඇති අතර ඒකීය ධාරණාවකින් යුතු වීම , චරිත ගොඩනැංවීමට අවධානයක් දක්වා තිබීම, මනෝවිද්‍යානුකූල ගවේෂණය වැනි Marie de La Fayette ගේ La Princesse de Clèves පැසසුමට ලක් වීමට හේතු වූ සියලුම උත්කෘෂ්ඨ ගුණාංගයන්ගෙන් සමන්විත වේ. සොංග් රජසමය තුළ චීනයේ සිදු වූ නාගරීකරණය සහ මුද්‍රිත ග්‍රන්ථවල ව්‍යාප්තිය; මිංග් රාජසමයේ දී මුඛ පරම්පරාගත කථාන්දර සම්ප්‍රදාය ප්‍රබන්ධ නවකතා බවට සවිඥාණික ව පරිණාමය වීමට බලපෑවේ ය. සමකාලීන යුරෝපීය සංවර්ධනයන් සියවස් ගණනක් ගත වනතුරුත් නොසිදු වූ අතර සමාන ප්‍රස්ථාවන් ලබාදීමට කඩදාසිය බිහිවනතුරු ඉවසා සිටින්නට කාලයට සිදු විය.

ඉබ්න් තුෆේල්ගේ හයි ඉබ්න් යක්දාන් සහ ඉබ්න් අල් නෆිස්ගේ තියෝලොගස් ඔටෝඩිඩැක්ටස් යනු දාර්ශනික සහ දේවධාර්මික උපදේශනයන් අරමුණු කරගත්තකි. මේ අරුතින් ගත්විට හයි ඉබ්න් යක්දාන් සැලකිය හැක්කේ දාර්ශනික නවකතාවකට මුල්කාලීන නිදසුනක් ලෙස වන අතර තියෝලොගස් ඔටෝඩිඩැක්ටස් සැලකිය හැක්කේ මුල්කාලීන දේවධාර්මික නවකතාවක් ලෙස ය. පිටමං කරනු ලැබ දිවයිනක් තුළ වෙසෙමින් සිය දිවි රැකගන්නා මානව සමූහයක් පිළිබඳ කියැවෙන හයි ඉබ්න් යක්දාන් කෘතියේ ආභාෂය ඩැනියෙල් ඩිෆෝගේ රොබින්සන් ක්රූසෝ කෘතිය විසින් ලබා ඇති බවට සැක කළ හැක්කේ එහි ඉංග්‍රීසි පරිවර්තනයක් 1711 වන විට නිකුත් වී තිබුණු නිසා ය.

වීරකාව්‍ය, නවකතාව සමග සමානකම් කිහිපයක් දක්වන අතර අඛණ්ඩ දහරාවක් ලෙස නොවුනත් බටහිර නවකතා සම්ප්‍රදාය කාව්‍යමය වීරකාව්‍යයන්ගේ පෙදෙස දක්වා ම ඔබ්බට දිවෙයි. 18වන සියවසේ අගභාගයේ දී සහ 19වන සියවස මුල දී සොයාගනු ලැබූ ඇංග්ලෝ-සැක්සනියානු වීරකාව්‍යයක් වූ බියොවුල්ෆ් (Beowulf : ක්‍රි.ව.750–1000) පිළිබඳ ව මෙන් ම සුමේරියානු ගිල්ගමේෂ් වීරකාව්‍යය ( Epic of Gilgamesh ක්‍රි.පූ.1300–1000) වැනි ආසියාතික වීරකාව්‍යයන් සහ රාමායණය (ක්‍රි.පූ.400 සහ ක්‍රි.ව.200) සහ මහාභාරතය (ක්‍රි.පූ.4වැනි සියවස) වැනි භාරතීය වීරකාව්‍යයන් පිළිබඳ ව ද මුල් නූතන යුරෝපය නොදැන සිටියහ. ටෝරාව, කුරාණය, බයිබලය වැනි අනෙකුත් යුරෝපීය නොවූ කෘතීන් ද කථාන්දරවලින් පිරී පවතින අතර එබැවින් ගද්‍ය නවකතාවන්හි සංවර්ධනයට ද සැලකිය යුතු බලපෑමක් සිදුකර තිබීමටත් ඒ අරුතින් නවකතාවන් ද ඇතැම්විට එමගින් ආභාෂයන් ලබා ඇති බැව් කීමට ද හැකිය.

මීළඟට 18වන සියවසේ ඇරඹුමත් සමග ප්‍රංශ ගද්‍ය පරිවර්තනයන් විසින් හෝමර්ගේ කෘතීන් පුළුල් ජනකායක් වෙතට ගෙනගිය අතර ඔවුහු ඒවා නවකතාවේ මූලාරම්භයන් ලෙස සැලකූහ.

සම්භාව්‍ය ග්‍රීක සහ රෝම ගදය ආඛ්‍යානයන් අතර ප්ලේටෝගේ සංවාද, පෙට්රෝනියස්ගේ Satyricon ප්‍රමුඛ උපහාසාත්මක මාදිළියත්, සැමෝස්ටාහි ලූෂන්ගේ විස්මයජනක කත්න්දරත්, Lucius Apuleius ගේ ප්‍රාක්-පිකාරෙස්කමය වූ The Golden Ass මෙන් ම හෙලිඩෝරස් සහ ලොන්ගස් වැනි ග්‍රීක ජාතිකයන්ගේ වීරපුරුෂමය අරුමැසි කතාවන් ද වැනි කෘතීන්ගෙන් යුතු වූ උපදේශනාත්මක දහරාවක් ද විය . Daphnis and Chloe (ක්‍රි.ව. 2වන සියවස) නම් සුප්‍රකට ග්‍රීක නවකතාව Longus ගේ නිර්මාණයක් විය.

මධ්‍යකාලීන අවධිය 1100-1500

නයිට්වරුන්ගේ කථා හෙවත් උදාර පුරුෂයන් සහිත අරුමැසිය

ප්‍රධාන ලිපිය: Chivalric romance
 
චෝසර් Troilus and Criseydeසජ්ඣායනා කරමින් 15වැනි සියවස මුල්භාගයේ සිතුවමකි. Cambridge හිCorpus Christi College හි පිහිටා ඇත.

අරුමැසි කතාව නැතිනම් chivalric romance යනු උච්ච මධයතන අවධියේ සහ මුල් නූතන යුරෝපයේ ප්‍රභූ රසවතුන් අතර ප්‍රචලිත වූ ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් ලියැවුණු ආඛ්‍යාන විශේෂයක් විය. බොහෝවිට වීරචාරිකාවක යෙදෙන උදාර නයිට්වරයකු කේන්ද්ර කරගත් චමත්කාරජනක වික්‍රමයන්ගෙන් යුතු වූ මේවා chanson de geste සහ වීරත්වය විෂය කරගත් අනෙකුත් වීරකාව්‍යයන්ගෙන් වෙන් වූයේ විෂමලිංගික ප්‍රේමය සහ විනීතාචාරයන් උත්කර්ෂයට නැංවීම විසිනි. පසුකාලීන අරුමැසි කතාවන්හි, වෙසෙසින් ම ප්‍රංශ සම්භවයකින් යුතු කෘතීන්හි වංශවත් ප්‍රේමය ප්‍රමුඛ තේමාවන් උත්කර්ෂයට නැංවීම පිණිස කැපී පෙනෙන නැඹුරුවක් පෙන්නුම් කෙරුණි.

ආරම්භයේ දී අරුමැසි සාහිත්‍යය පුරාණ ප්‍රංශ බසින්, ඇංග්ලෝ නෝර්මන් බසින් සහ ඔසිටන් බසින් ද, පසුකාලීන ව ඉංග්‍රීසි, ඉතාලි සහ ජර්මන් භාෂා වලින් ද රචනා විය. 13වන සියවසේ මුල් යුගයේ දී අරුමැසි කතාවන් බොහෝසෙයින් රචනා වූයේ ගද්‍යයෙනි‍ෙ

පද්‍යයෙන් ගද්‍ය කෙරෙහි යොමු වීම 13වන සියවසේ දී සිදු විය. prose Lancelot හෙවත් wulgate cycle තුළ මෙ සමයට අයත් සාහිත්‍ය නිර්මාණ කොටස් ඇතුලත් විය. මෙම සංග්‍රහය 1470 ගණන්වල මුල දී ලියැවුණු තෝමස් මැල්රෝයිගේ Le Morte de Arthur කෙරෙහි වක්‍ර ව බලපෑවේ ය. ගද්‍යාකෘතිය කතුවරුන්ගේ ප්‍රසාදය ඉක්මනින් ම දිනාගැනීමට සමත් විය. ඒ සම්ප්‍රදායක් වශයෙන් ගද්‍ය ස්වරූපයෙන් රචනා වී තිබුණු ප්‍රබල ඓතිහාසික ප්‍රවාත්තීන් සමග ජනප්‍රිය කතාන්දර සංයෝග කිරීමට කතුවරුන්ට හැකිවීමත්, පරිවර්තනය සාපේක්ෂ ව පහසු විමත් නිසා ය.

ජනප්‍රිය සාහිත්‍යය ද අරුමැසිමය තේමාවන් කැඳවාගත් මුත් ඒ උත්ප්‍රාසාත්මක, උපහාසාත්මක හෝ සෝපාහාසාත්මක අරමුණු පිණිස විය. අරුමැසි කතාවන් පුරාවෘත්තයන්, සුරංගනා කතාවන්, සහ ඉතිහාස ප්‍රවෘත්තීන් ප්‍රතිනිර්මාණය කළ මුත් 1600 පමණ වනවිට ඒ යල්පැනගිය සාහිත්‍යයක් බවට පත් වූ අතර මිගුවෙල් දි සර්වැන්තේස් දොන් කිහොතේ කෘතිය තුළින් ඒ ප්‍රසිද්ධියේ ම නිර්දය උපහාසයට ද ලක් කළේය. නමුදු මධ්‍යකාලීනත්වය පිළිබඳ නූතන ප්‍රතිරූපය අන් කවර මධ්‍යකාලීන සාහිත්‍ය ශානරකටත් වඩා අරුමැසිය තුළින් ආභාෂය ලැබූවක් වන අතර මධ්‍යකාලීන යන යෙදුම ද වික්‍රමාන්විත නයිට්වරුන්, අන්තරායන්ට පත් යුවතියන් සහ භයානක මකරුන් වැනි සංකල්ප රූපයන් කරා අප ගෙන යයි.

1800 ආසන්න සමයේ දී ගොතික් ප්‍රබන්ධයේ වර්ධනයත් සමග අරුමැසිය හා බැදුණු ආශ්රියතාර්ථයන් නවීකරණය විණි. ගොතික් නවකතා ලෙස හදුන්වන්න වරතමානයා බහුලව ඇති නවකතා ආකෘතියයි.

කෙටි නවකතාව

නවකතාව යන යෙදුම 19වන සියවසේ යුරෝපයේ පැවති අසාසිටින්නන්ට කතාන්දර කීමේ සම්ප්රඇදාය තුළ දැකගත හැකි වූ කෙටිකතා සම්පාදනය දක්වා ම දිවෙයි. පිළිසඳර කතාවන්හි ආරම්භක ලක්ෂ්‍යයන් ලෙස සුරංගනා කතාවන්, විසුළු සහ කවටකතාවන් යොදා ගැනුණු අතර සිය ධර්මානුශාසනාවන්හි දී ඇතැම්විට පූජකවරයකු ධර්මෝපදේශ කථාවක් ඇතුළත් කිරීම ද සම්ප්‍රදායක් ව පැවතුණි. මෙවැනි කථා ඇතුළත් ලිඛිත සංග්‍රහයන් ලෙස පූජකවරුන්ගේ ප්‍රයෝජනය පිණිස ලියැවුණු ධර්මෝපදේශ කථා සංග්‍රහයන්ගේ පටන් බොකෑෂියෝගේ ඩිකැමරන් (1354) සහ ජෙෆ්රි චෝසර්ගේ කැන්ටබරි ටේල්ස් (1386-1400) දක්වා වූ කථා සංග්‍රහයන් හඳුනා ගත හැකි ය. ඩි කැමරන්හි 1348 ගණන්වල දී මහාමාරිය වසංගතයෙන් බේරී ෆ්ලොරන්ස්හි ෆියෙසොල් කඳු වෙතට පළා යමින් සිටි කාන්තාවන් හත්දෙනෙකු සහ මිනිසුන් තිදෙනෙකු ගෙන් සමන්විත දසදෙනෙකු කියනු ලබන කථා සියයක් ඇතුළත් වෙයි.

පුනරුද අවධිය: 1500-1700

 
1474: The customer in the copyist's shop with a book he wants to have copied. This illustration of the first printed German Melusine looked back to the market of manuscripts.

ඉතිහාසය සහ ප්‍රබන්ධය අතර අද දවසේ පවතින විභේදනය මෙම යුගයේ දී දක්නට නොවූ අතර ඉතාමත් නොදියුණු අභව්‍ය සිදුවීම් මුල් නූතන යුගයේ මුද්‍රිත වෙළඳපොළ තුළ වූ බොහෝ ඓතිහාසික ලේඛනවල සඳහන් විය. අද්භූත සිදුවීම් සහ ඓතිහාසික අසංගතතාවන් සමූහයක් තුළ කථා පුවත දිගහැරුණද Thomas Malory ගේ Le Morte d’Arthur හි (1471) විලියම් කැක්ස්ටන්ගේ සංස්කරණය (1485) මිලදී ගැනුණේ සැබෑ ඓතිහාසික ප්‍රවෘත්තියක් ලෙස සලකමිනි. 14 වන සියවසේ දී රචනා වූ එහෙත් 18වන සියවස තුළ මුද්රිදත පිටපත් වශයෙන් සංසරණය වූ සර් ජෝන් මැන්ඩවිල්ගේ වොයේජස්හි වූ කාන්තාරීය සූර්යතාපයෙන් මිදීමට සිය යටිපතුල් ඡත්‍රයක් වශයෙන් භාවිත කළ ඒකපාදික ඉතියෝපියානුවන් වැනි ස්වාභාවික අරුමයන් සත්‍ය කරුණු වශයෙන් පිළිගැනීමට ලක්විය. මෙම කෘති ද්වය ම ප්‍රබන්ධ කෘති වශයෙන් හඳුනාගත්තේ පසුකාලීනව ය.

16 සහ 17 සියවස්වල දී ඉතිහාසය ප්‍රබන්ධයෙන් වෙන්වීමට බලපෑ සාධක දෙකක් විය. මුද්‍රණ ශිල්පයේ සොයාගැනීමත් සමග ම චැප්බුක්ස් හෙවත් සිල්ලර පොත් හරහා දැනුම සහ රසවින්දනය උදෙසා සාපේක්ෂ ව ලාභදායී වෙළඳපළක් බිහි විය. මෙම ශානරයේ වඩාත් ම ආකර්ෂණීය දායාදය වූයේ 17වැනි සහ 18වැනි සියවස්වල belles letters නම්, සාලංකාරද ග්‍රාම්‍යද නොවූ ප්‍රවණතාව නියෝජනය කළ ලේඛකයන් ය. දෙවැනි කඩඉම වූයේ නුතන සාහිත්‍යයේ අධික අළෙවියක් පෙන්නුම් කළ ප්‍රථම කෘතිය වූ ගාර්සියා මොන්තාල්වෝ ලියූ Amadis de Gaula නම් ස්පාඤ්ඤ නවකතාවයි. කෙසේනමුත් මෙය belles lettres ශෛලියට අයත් වූවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ නැත. ඇමඩිස් කෘතිය රොමෑන්සීය කථාකලාවේ මූලරූපයක් වූ අතර එය 17වැනි සියවසේ සිට විකාශ වෙමින් පැවති නුතන නවකතාවේ දිශානතිය වෙනතකට යොමු කළේ ය.

චැප්බුක්ස් හෙවත් සිල්ලර පොත්

චැප්බුක්ස් යනුවෙන් හැඳින්වෙන්නේ මුල්නූතන යුරෝපයේ ජනප්‍රිය සාහිත්‍ය තුළ දැකගත හැකි වූ මුද්‍රිත කෘති විශේෂයකි. කඩදාසි පිටකවරවලින් සමන්විත බොහෝවිට කුඩා ප්‍රමාණයේ පොත් පිංච විශේෂයක් වූ මේවා නිෂ්පාදනය කෙරුණේ තනි කඩදාසියක් ලෙස මුද්‍රණය කර එය පිටු 8, 12, 16 සහ 24 ආදී වශයෙන් නවා ගැනීමෙනි. ලක්ෂණ නොවූ දාරුමුද්‍රා චිත්‍ර වලින් හැඩකෙරුණු මේවායේ වූ සිතුවම් ඇතැම්විට පෙළට කිසිදු අදාළත්වයක් නොපෙන්වූ මෙන් ම නීරසද විය. මේවා ජනප්‍රිය මුද්‍රණ වශයෙන් සැළකීමට මෙම සිතුවම් අන්තර්ගත කිරීම හේතු විය. මුද්‍රිත ග්‍රන්ථ පහසුවෙන් මිලදී ගැනීමට හැකිවීමත් සමග ම 16වන සියවසේ දී ඉස්මතු වූ මෙම ප්‍රවණතාව 17 සහ 18වැනි සියවස්වල දී එහි උච්චත්වය කරා පැමිණුනු අතර පංචාංග, ළමා සාහිත්යවය, ජනකතා, ළමා ගී, පුස්තිකයන්, කාව්‍යයන් සහ දේශපාලන හෝ ආගමික ප්‍රකාශනයන් වැනි අනේකවිධ වූ කෙටිකාලීන දහරා මෙන් ම ජනප්‍රිය හෝ ජන සාහිත්‍යයන් ද චැප්බුක්ස් වශයෙන් ප්‍රකාශයට පත් විය.

මෙහි සඳහන් වූ ආකාරයේ සාහිත්‍යයක් හැඳින්වීම උදෙසා චැප්බුක් යන වදන පබඳින ලද්දේ 19වන සියවසේ දී ය. ප්‍රංශ හා ජර්මන් භාෂාවන්හි ඇති සමරුත් දෙන වදන් පිළිවෙළින් bibliothèque bleue (නිල් පොත) සහ Volksbuch වෙයි. චැප්බුක්ස්වල මූලික ඓතිහාසික වස්තු විෂයන් වූයේ පුරාණ ඉතිහාසඥයන්ගේ රචනාවල සංක්ෂිප්තයන්, නයිට්වරුන් පිළිබඳ ජනප්‍රිය මධ්‍යකාලීන ඉතිහාස කතාවන්, කවට වීරවරුන්ගේ කථා, ආගමික පුරාවෘත්ත සහ කවටකතා හා උපමා කථා ය. මෙම අලුතින් මුද්‍රිත කෘති නාගරික පුරවැසියන්ගේ සහ ව්‍යාපාර උදෙසා නගරවලට පැමිණි නාගරික වෙළඳුන්ගේ ගෘහමය අංගයක් බවට පත්විය. ලාභදායී ලෙස මුද්‍රණය කෙරුණු ඉතිහාස කතාවන් 17වැනි සහ 18වැනි සියවස්වල දී වෙසෙසින් ම විද්‍යාර්ථින් සහ බාල වයස්වල නාගරික පාඨකයන් අතර (ලිංගභේදයකින් තොර ව) ජනප්‍රියත්වයට පත්විය.

1530ත් 1540ත් අතර මුල් නූතන වෙළඳපොළ තුළ වූ කෘති ලාභදායී චැප්බුක්ස් ලෙස සහ ඉහළ මට්ටමේ මිලාධික විලාසිතාමය සහ ආකර්ෂණීය belles letters ශෛලියේ කෘති ලෙස බෙදනු ලැබේ. Amadis සහ රැබෙලාගේ Gargantua and Pantagruel මෙම බෙදුමට අදාළ ව වැදගත් කෘති දෙකක් වෙයි. මෙම කෘති ද්වය ම belles lettres පාඨකයන්ට වඩා ආමණත්‍රණය කළේ ජනප්‍රිය ඉතිහාස කතා කෙරෙහි ඇති වූ නව රසිකත්වයට ය. වෙලුම් රැසකින් යුතු ප්‍රබන්ධමය ඉතිහාස ප්‍රවෘත්තියක් වූ ඇමඩිස් කෘතිය ජනප්‍රිය ප්‍රබන්ධයන්ගෙන් වාර්තාගත අලෙවියක් පෙන්නුම් කළ ප්රථමයා වූ අතර ශෛලිය සහ සෞන්දර්යාත්මකබව පිළිබඳ ව විවාදයක් ඇවිළවීමට ද සමත් විය. නමුත් ගර්ගැන්ටුවා ඇන්ඩ් පැන්ටගෘයල් ආකෘතිය විසින් නූතන ජනප්රිබය ඉතිහාස පුවතක් වුවද සැබැවින් ම සිදුකළේ එකී ශානරයේ ශෛලිමය ලක්ෂණයන් උපහාසයට ලක්කිරීමයි. පහත් සහ උසස් සාහිත්යවයන් යන බෙදීම 17වැනි සහ 18වැනි සියවස්වල ජනප්රි ය සාහිත්ය වෙළඳපොළ තුළ මෙන් ම belles lettres සාහිත්ය්ය වෙළඳපොළ තුළ ද වෙසෙසින් විද්යැමාන විය. පහත්/ඕලාරික චැප්බුක්ස්වලට මිගුවෙල් සර්වැන්තේස්ගේ දොන් ක්විසෝට්(1605/1615) නැනි කෘතිවල සංක්ෂිප්තයන් ඇතුළත් විය.

නූතනයේ දී චැප්බුක්ස් යන යෙදුම වර්තමානයේ පළවන කෙටි, අඩුමිල පොත් පිංච උදෙසා ද පොදුවේ භාවිත වෙයි.

වීරපුරුෂමය අරුමැසිය

ප්‍රධාන ලිපියන්: Heroic romances සහ 17th-century French literature

වීරපුරුෂමය අරුමැසිය යනු 17වැනි සියවසේ දී (ප්‍රධාන වශයෙන් ම ප්‍රංශය තුළ) තුළ නැගී ආ ප්‍රබන්ධ සාහිත්‍යයේ තවද එක් ශානරයක් වෙයි.

ප්‍රංශය තුළ නූතන සාහිත්යෙයේ මූලාරම්භයන් ව්‍යාජ වූ එඩේර පෙවෙතක වේශය ගත් අතර මුල්කාලීන ප්‍රංශ නවකතාවක් වූ Honore d'Urfe (1568-1625) ගේ සම්භාවනීය L'Astrée (1610) ඉතාමත් නිවැරදි ව පැස්ටොරාලීය තේමාවක් නිරූපණය කළේ ය. සෑම අතින් ම කෘත්‍රිම වූ මෙම විචක්ෂණ සහ පුළුල් නිර්මාණය විවිධ වූත් විශාල වූත් අත්පිටපත් ප්‍රමාණයක් බිහිකළ පුළුල් සාහිත්‍යයකට මූලාශ්‍රය විය. එය ක්‍රියාව විසින් මූලික වශයෙන් ම මලානික සහ භාවානුගත වුවත් L'Astrée හි ඒ වන විට ප්‍රංශය තුළ එහි උච්චත්වය කරා යමින් තිබුණු තේජස කෙරෙහි වු ප්‍රමාණවිරහිත ඇල්ම සහ ඒ ඇසුරු කළ නොසැලෙන ගුණය උද්දීපනය කරන පෙදෙසක් ද විය. මේ නොසැලෙන ගුණය වූ කලී එතෙක් වීරපුරුෂමය අරුමැසිය යනුවෙන් හඳුනාගෙන සිටි ශානරයෙහි නිර්මාතෘ වූ Marin le Roy de Gomberville (1603-1674) විසින් නිරූපිත වූ දෙය විය. පැරණි මධ්‍යකාලීන සාහිත්‍යය සංරචකයන් ප්‍රචණ්ඩ ලෙස ඒ තුළ පෙනී සිටි අතර විස්මයජනක යුධමය නිර්භීතභාවය විස්මයජනක වූ අලංකාරයක් ඇති කළේය. නමුත් කාලීන සමාජයේ සහ භාෂාවේ සලු පිළියෙන් සියල්ල දවටා තිබුණි. කෘතියේ වීරවරයන්ගේ නිර්භීත සහ විනීත ගති පැවතුම් සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් ඇති කරනු වස් රොමෑන්තික වේශනිරූපණයකින් කෘතිය තුළ පෙනී සිටිනුයේ එවක සමාජයේ ප්‍රසිද්ධ ව සිටි චරිතයන් බව ඇඟවෙන ඉඟි නිරන්තරව සැපයුණි.
Chisholm, Hugh, ed. (1911). Encyclopædia Britannica (11th ed.). Cambridge University Press. A publication now in the public domain.

උපහාසාත්මක අරුමැසි කතා

 
Richard Head, The English Rogue (1665)

වංචාවකට හසුවන පුද්ගලයකු හරහා හාස්‍යයක් ජනිත කිරීම ෆැබිලෝක්ස් සම්ප්‍රදායත් සමග යුරෝපීය කෙටි නවකතාවේ අනිවාර්ය අංගයක් බවට පත් විය. Till Eulenspiegel (1510), Lazarillo de Tormes (1554), Grimmelshausen's Simplicissimus Teutsch(1666–1668) සහ එංගලන්ත ජාතික රිචඩ් හෙඩ්ගේ The English Rogue (1665) කැපී පෙනෙන නිදසුන් අතරට ගැනේ. යට කියන ලද කෘති විසින් දියුණු කෙරුණු සාහිත්‍යය වීරවරයකු සහ ඔහුගේ ජීවිතය මුල්කරගත්තේ විය. විරවරයාව හාස්‍යජනක අකරතැබ්බයන්ට ‍හසුවන අයුරු දැක්වීම හරහා ඔහු අනුකම්පා සහගත ගොදුරක් බවට පත්වන අයුරු හෝ තමාට හමුවන වංචනිකයන් සූක්ෂම අයුරින් පරදවන අයුරු දැක්වීම පිණිස මෙහි සිද්ධි දාමය යොමු විය.

වීරපුරුෂමය අරුමැසිය උපහාසාත්මක ලෙස හාස්‍යානුකරණයට ලක්කළා වූ සහ බොහෝවිට ම එය අවමන් සහගත සරදමකට හසු කිරීමෙන් ඒ කළා වූ හෙයින්රිච් විටන්විලර්ගේ රිංග් සහ ප්‍රංශුවා රැබෙලාගේ ගර්ගැන්ටුවා ඇන්ඩ් පැන්ටගෘයල් යන කෘති එක පෙළට තැබීමෙන් උපහාසාත්මක අරුමැසිවල තවත් ප්‍රභේදයක් හඳුනාගත හැකි වේ. සර්වැන්තේස්ගේ දොන් කිවිසෝට් කෘතිය විසින් උපහාසාත්මක අරුමැසියට නව හැඩයක් සපයනු ලැබී ය. එහි වීරවරයා ඇමඩීසියානු සම්ප්‍රදායට අයත් කෘති අධික ලෙස කියවීම හේතුවෙන් සිහින ලොවක අතරමං වන්නෙකි.

Paul Scarronගේ Roman Comique (1651–57), යුරෝපීය ආගම් පිළිබඳ උපහාසයකින් යුතු ව ප්රංලශ බසින් රචනා වූ කර්තෘ අඥාත වූ Rozelli , Alain-René Lesageගේ Gil Blas(1715–1735), හෙන්රි ෆීල්ඩිංගේ Joseph Andrews (1742) සහ Tom Jones (1749), මෙන්ම Denis Diderot විසින් 1773 ලියන ලදුව 1796දී මරණාපරව පළවුණු Jacques the Fatalist මෙකී සම්ප්‍රදායට අයත් අනෙකුත් වැදගත් කෘති අතර වේ.

ඉතිහාස කතා

 
1719 newspaper reprint of Robinson Crusoe

අද දැකගත හැකි ආකාරයේ ප්‍රබන්ධයන් සහ කාව්‍යයන් උදෙසා වෙන්වූ වෙළඳපොළක් 17වැනි සියවසේ අගභාගය වනතුරු දක්නට නොවී ය. 18වැනි සියවසේ මුල් භාගයේ දී පත්‍රිකා, ආවර්ජනා, සංචාරාඛ්‍යාන, දේශපාලන විශ්ලේෂණ, සැබෑ ඉතිහාසයන්, අරුමැසි කථා, කාව්‍ය සහ නවකතා ආදී සෑම පොතක් ම විකුණනු ලැබුවේ පොදුවේ ඉතිහාස සහ දේශපාලන යන ශීර්ෂය යටතේ ය.

මේ අන්දමින් ශාස්ත්‍රාලීය ඉතිහාස ලේඛන සහ මාධ්‍ය වාර්තා සමග ප්‍රබන්ධ ඉතිහාසයන්ද එකම ගණයේ ලා සැලකීම මධ්‍යකාලීන යුගයේ අවසානයේ පටන් ඉතිහාඥයන් විසින් විවේචනය කරනු ලැබිණි. ඒ සත්‍ය සිද්ධි පිළිබඳ නොවන ලියැවිල්ලක් වන ප්‍රබන්ධ රචනාවන් ඉතිහාස ප්‍රවෘත්ති වශයෙන් ගැනීම වැරදි විශ්වාසයන්ට මගපෙන්වන බැවිණි. කෙසේ නමුත් 1670ගණන් වන විට තත්ත්වය වෙනස් විය.

ඉතිහාස කතා රූපය ගත් අරුමැසි ආකෘතියට අයත් Madame d'Aulnoy, César Vichard de Saint-Réal, Gatien de Courtilz de Sandras, සහ Anne-Marguerite Petit du Noyer වැනි අයගේ කෘති සත්‍යතාවය පිළිබද පැහැදිලි සදහන් කිරීමකින් තොර ව ඉතිහාස කතා පළකිරීමට පසුබිම සලසා දුන්නේ ය.

17වැනි සියවසේ සහ 18වැනි සියවසේ මුල්භාගයේ දී ප්‍රබන්ධයන්ට සත්‍ය ඉතිහාසයන් සමග ගැටලුවකින් තොරව අලෙවි වීමට හැකි පරිදි විකල්පයන් භාවිත වු අතර ඒ හරහා තමන්ට අපහාසය පිළිබද නඩු පවරනු ලැබූ විට තමන් විසින් රචනා කරනා ලද්දේ ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවන බවත් පැවසීමට කතුවරුන්ට ඉඩ විවර විය.

17වැනි සියවසේ සහ 18වැනි සියවසේ මුල්භාගයේ ලියැවුණු ප්‍රබන්ධ කෘතීන්හි පූර්විකාවන් සහ මාතෘකා පිටු තුළ මෙම ක්‍රමවේදයට නිදසුන් හමුවන අතර ඉතිහාස කතාවන් අරුමැසිමය ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළ හැකි වූ මුත් සත්‍ය සිද්ධීන් නිරූපණය කිරීමෙන් වැළකිය යුතු විය. Roman à clef යනු නිදසුනකි. මීට වෙනස් ව තවත් කෘති වාර්තාමය ඉතිහාස ප්‍රවෘත්ති ලෙස රචනා වූ මුත් ඒවා ඇතැම්විට මුළුමනින් ම නිර්මිත බවට වූ චෝදනාවට ද ලක්විය. සමාජීය ඉතිහාසයන් සහ පුද්ගලකේන්ද්‍රීය ඉතිහාසයන් වශයෙන් වූ බෙදීමක් ද තවදුරටත් හදුනාගත හැකි වූ අතර අරුමැසි කතාවක් හෝ නවකතාවක් ලෙසින් සදහන් නොකෙරුණු ඩැනියෙල් ඩිෆෝගේ රොබින්සන් කෲසෝ මේ ගණයට අයත් විය. එය අරුමැසිමය ගුණයෙන් යුතු වූ මුත් පූර්විකාවට අනුව එය ඉතාමත් නිශ්චිත වශයෙන් පුද්ගලකේන්ද්‍රීය ඉතිහාස ප්‍රවෘත්තියක සත්‍ය වාර්තාවක් ලෙසින් කියවිය යුතු විය.

සර්වැන්තේස් සහ නූතන නවකතාව

අරුමැසි කතාවට විකල්පයක් වශයෙන් නවකතාව නැගී ඒම සිදුවූයේ සර්වැන්තේස්ගේ Novelas Exemplares (1613) පළවීමත් සමග ය. පෝල් ස්කැරන්ගේ Roman Comique විසින් මේ ප්‍රවණතාවය තවත් ඉදිරියට ගෙන යන ලදී.

17වැනි සියවසේ පසුභාගයේ විචාරකයන් ගද්‍ය ප්‍රබන්ධයේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී නූතන නවකතාව කරා ගෙන ඇති සාහිත්‍යයික හැරවුම අගය කරනු පෙනේ. ප්‍රංශ බසින් ලියැවුණු මුල් ම පරිපූර්ණ කෘති වන්නේ ස්කැරන්ගේ කෘතිත් madame de La Fayetteගේ "Spanish history" Zayde කෘතියත් ය. මෙම සාහිත්‍යමය නැග්ම madame de La Fayetteගේ Princesse de Clèves කෘතියට මග විවර කළ අතර පසුකාලීන ව ප්‍රංශ කෘතියවල අනන්‍ය වස්තු විෂය බවට මෙහි තේමාව පත්විය. [තහවුරු කර නොමැත]

ඕලන්දය තුළ පළකෙරුණු ප්‍රංශ කෘතිවල ශීර්ෂ පාඨයන් මෙම ශානරමය වෙනස පිළිබද ව යුරෝපයට දැනුම් දෙන ලද අතර ජාත්‍යන්තර වෙළදපොළක් ඇතිකරගැනීමට සමත් විය. සමකාලීන විචාරකයන් විසින් සංක්ෂිප්ත බව, දැවැන්ත වීර වෘත්තාන්ත බවට පත් වීමේ ආශාවකින් තොර වීම; එනම් රිද්මය නැවුම් සහ සරළ වීම; අද්‍යතන ජීවිතය කේන්ද්‍ර කරගැනීම සහ මුළුමනින් ම කලු හෝ සුදු චරිත නොවීම යන ගුණාංග නව ශානරයෙහි යහපත් ගුණාංග වශයෙන් දක්වන ලදී. නාගරිකයන් පිළිබද ඕපාදූපවල සහ දුසිරිත්වල ආරංචිකරුවකු වශයෙන් ක්‍රියාකිරීමට තිබූ හැකියාව නවකතාවේ ශුභසිද්ධියට ඉවහල් විය. කථාපුවත් මෑත ඉතිහාසයේ සත්‍ය සිදුවීම් බව පවසන ලද්දේ එහි සදාචාර අරමුණු සපුරාගැනීම පිණිස ය. ඒ වෙනුවෙන් සත්‍ය නම් සමග ප්‍රබන්ධ නම් ද භාවිත කෙරුණු අතර Mercure Gallant විසින් 1670දී මේ උපක්‍රමය හදුන්වා දෙනු ලැබී ය.

අපූරු යතුරු සිදුරු ආනන්දයක් සපයමින් ලිපි හුවමාරු සහ මතක සටහන් සාහිත්‍යය තුළ දිස්වීමට පටන් ගැනීමත් සමග ඒ ඇසුරින් හසුන්මය නවකතාව නම් සාහිත්‍යාකෘතියද බිහි වූ අතර අපවාද-ප්‍රබන්ධයකට ප්‍රබල නිදසුනක් වෙමින් Aphra Behnගේ Love-Letters Betweeen a Nobleman and His Sister (1684/ 1685/ 1687) පළ විය. සාහිත්‍යමය වශයෙන් නැගී ඒමට පෙර නවකතා කියවීම හුදෙක් රසිකයන්ට පමණක් සීමා වී පැවතුණි.

කෙසේ නමුත් මුල්කාලීන ඉංග්‍රීසි නවකතා අතරින් එකක් වූ ඩැනියෙල් ඩිෆෝගේ රොබින්සන් කෲසෝ කෘතිය මෙම කෘතිවලට වෙනස් මගක් ගනිමින් දූපතක හුදකලා ජීවිතයක් තෝරාගන්නකු පිළිබද අපූරු වෘතාන්තයක් තුළින් අරුමැසිමය ලක්ෂණ පෙන්වීමට සමත් විය. ආකර්ෂණීය නාගරික තරුණ වීරවරයින් පිරිසක් මැදිකරගනිමින් වේගයෙන් ගලායන කථාපුවතක් ඇසුරින් ඒවායෙහි වූ කුතුහලාත්මකබව, සදාචාරවත්බවින් බැහැර ක්‍රියාවන්, සංක්ෂිප්ත කථා වින්‍යාසයක් [තහවුරු කර නොමැත]ඇතුළු යට කියන ලද නවකතාවල සෑම ලක්ෂණයක් ම පාහේ සිය නවකතාව තුළ ඩිෆෝ විසින් හැර දැමෙයි. කෙසේ නමුත් Eliza Haywood ගේ Love in Excess (1719/20) නම් දීර්ඝ නවකතාවට මෙන් ම සැමුවෙල් රිචඩ්සන්ගේ Pamela, or Virtue Rewarded (1741)[තහවුරු කර නොමැත] නවකතාවට බිහිවන්නේ මෙකී සාහිත්‍යමය වර්ධනය පසුබිම් කරගනිමිනි. ඇතැම් සාහිත්‍ය ඉතිහාසඥයෝ ඉංග්‍රීසි නවකතාවේ ආරම්භය කෲසෝ වෙතින් නොව රිචඩ්සන්ගේ පැමෙලා වෙතින් ඇරඹුණු බවට ගණන් බලති.

18වන සියවසේ නවකතාව

18 වැනි සියවසේ නවකතාවේ නැගීම පිළිබද ප්‍රවාදය ගොඩනැගෙන්නේ ඉයන් වොට්ගේ rise of the novel නම් වටිනා අධ්‍යයනය 1957 දී පළවීමත් සමග ය. නවකතාව යනු නූතනයේ බිහිවුණු නව මාධ්‍යයක් බව පවසන ඔහු එය ඩැනියෙල් ඩිෆෝ, සැමුවෙල් රිචඩ්සන් සහ හෙන්රි ෆීල්ඩිං වැනි ලේඛකයන් විසින් කළ බිහිකළ යථාර්ථවාදී සාහිත්‍යයේ ඵලයක් බව පෙන්වා දෙයි. 18වැනි සියවසේ නවකතාව අරබයා ඇති වූ මෙම නව අර්ථකතනය පෙර යුගයන්හි වූ දීර්ඝ අරුමැසිමය කථාන්දර නවකතා ලෙස නොව නවකතාවට පහළ සාහිත්‍ය අවධියක නියෝජනයන් ලෙස සැලකීමකට තුඩු දිණි. කෙසේ නමුත් මාග්‍රට් ඈන් ඩූඩි වැනි අය මීට එකග නොවේ. ඇය දක්වන්නේ නවකතාවේ ආරම්භය හුදෙක් 18වන සියවසේ සිදුවූවක් නොවන බවත් නවකතාවේ ඉතිහාසය වසර දෙදහසකට අධික බවත් 18වැනි සහ 19වැනි සියවස්හි අරුමැසිමය සම්ප්‍රදායන් හරහා පැමිණි එය අද දක්වාම පැවතෙන එක ම දහරාවක් බවත් ය. 18වැනි සියවසේ ඇති වූ නවකතාවේ නැගීම පිළිබද ප්‍රවාදය වැදගත් තැනක් ගන්නේ ඉංග්‍රීසි ඇතුළු දීර්ඝ ආඛ්‍යානයන් උදෙසා රොමෑන් වැනි වෙනත් යෙදුමක් භාවිත වන භාෂාවන් හි ය. නවකතාකරුවකු සහ විචාරකයකු වන ඇල්බර්ට් ජේ. ජෙරාඩ් The Triumph of the Novel (1976) හි රැබෙලා, සර්වැන්තේස්, පින්චන්, බෝර්හේස්, ගාර්සියා මාර්කේස් සහ ජොයිස්ගේ Finnegans Wake සහ නැබකොව්ගේ Adaවිසින් බිහිකරන ලද යථාර්ථවාදයෙන් බැහැර වූ තවත් සාහිත්‍ය දහරාවක් හදුනා ගනු ලබන අතර ඉයන් වොට්ගේ නවකතාවේ නැගීම; නවකතා කලාවේ අනන්‍ය ලක්ෂණය වශයෙන් පිළිගත් යථාර්ථය ගෙනහැර දැක්වීම හේතුවෙන් ප්‍රබන්ධ යථාර්ථය සැබෑ ජීවිතයට එකඟ විය යුතු ද? යන ගැටුමට මුලපුරන්නක් ලෙස දකියි.

මේ මතවාද අනුව සලකා බලන විට 18වැනි සියවසේ දී සිදු වූ දෙය වඩාත් නිවැරදි ව විස්තර කළ යුත්තේ නවකතාවේ නැගීම වශයෙන් නොව යථාර්ථවාදී ප්‍රබන්ධයේ නැගීම වශයෙනි. සැබවින් ම ඉයන් වොට් මුල්කාලීන ගද්‍ය ආඛ්‍යානයන්ගේන් වෙන්වූවක් ලෙස නවකතාව දැකීමට පෙළඹවූයේ ද මෙකී සාහිත්‍යමය ලක්ෂණය ම ය.

 
Laurence Sterne, Tristram Shandy, vol.6, p.70-71 (1769)

දාර්ශනික නවකතාව

ප්‍රධාන ලිපිය: Philosophical fiction

18වැනි සියවසේ ඇති වූ නවකතාව සම්බන්ධ විවාදය දාර්ශනික සහ පර්යේෂණාත්මක නවකතාවන් බිහි වීම කෙරේ බලපා ඇත.

දාර්ශනික නවකතා 18වැනි සියවසේදී අමුතුවෙන් නිපදවනු ලැබූ දෙයක් නොවී ය. දාර්ශනික රචනා වශයෙන් සැලකිය හැකි ප්ලේටෝගේ සංවාදයන්ද ප්‍රබන්ධ ආකෘතියක් යොදාගනිමින් ඉදිරිපත් කරන ලද්දේ විය. තෝමස් මුවර්ගේ Utopia (1516) සිට ටොමාසෝ කැම්පනෙල්ලාගේ City of the Sun (1602) දක්වා වූ කෘති විසින් මේ ස්වභාවයේ කෘති අතරට මනෝරාජ්‍ය ආකෘතියද එක්කරන ලදී. මේ ස්වභාවයේ කෘති සලකන ලද්දේ ප්‍රබන්ධ නවකතා වශයෙන් නොව දාර්ශනික රචනා වශයෙනි. 1740ගණන්වල Utopia: or the happy republic; a philosophical romance (1743) නමින් පළ වූ මුවර්ගේ කෘතියේ නව සංස්කරණ විසින් සම්ප්‍රදායේ අනාගත නාමය වහරට එක්කරන ලදී. [තහවුරු කර නොමැත]

සිය දාර්ශනික අදහස් ඉදිරිපත් කිරීමට වෝල්ටෙයාර් විසින්ද අරුමැසි කථාව යොදාගන්නා ලදී. ඒ ඔහුගේ Micromegas: a comic romance. Being a severe satire upon the philosophy, ignorance, and self-conceit of mankind (1752, English 1753) හි ය. ඔහුගේ Zadig (1747) සහ Candide (1759) ප්‍රංශ විප්ලවයට මෙන් ම නූතන සාහිත්‍යයට ද මගපෙන්වූ රචනා බවට පත් විය. ජීන් ජැක්විස් රූසෝ ප්‍රබන්ධාත්මක බව තරමක් දුරට බැහැර කරමින් රචනා කළ සිය Emile: or, On Education (1762) තුළ ශානරයන් ද්වයෙහි සන්ධානයක් ගොඩනැගීමට සමත් විය. [තහවුරු කර නොමැත]

ලෝරන්ස් ස්ටර්න්ගේ The Life and Opinions of Tristram Shandy, Gentleman (1759–1767) රේඛීය ආඛ්‍යානය ප්‍රතික්ෂේප කරමින් ලියූ පර්යේෂණාත්මක නවකතාවකි. මෙම කෘතියේ කතුවරයා විසින් කථාපුවත තුළ වරින්වර පාඨකයා ව අමතන අවස්ථාවන් මෙන් ම ශෝකය ප්‍රකාශ කිරීම පිණිස කලුපැහැ පිටුවක් සහ කථා පුවත පිණිස ලේඛකයාගේ කටුසටහන දැක්වීමට අත්අකුරින් ලියූ පිටුවක් වැනි වැනි දෘෂ්‍ය උපක්‍රමද ප්‍රබන්ධමය නවතාවයන් ලෙස යොදාගෙන තිබේ. ජොනතන් ස්විෆ්ට්ගේ A Tale of a Tub (1704) මෙකී දහරාවේ මුල්කාලීන පූර්වාදර්ශයක් විය.[තහවුරු කර නොමැත]

18වැනි සියවසේ අරුමැසි කථාව

 
Samuel Richardson's Pamela (1741)

අරුමැසි කතාව යටපත් කරමින් නවකතාව නැගී ආ සමයේ අරුමැසි කතාව ප්‍රමුඛ ව දැකිය හැකි වූයේ ස්පාඥ්ඥ සහ ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ය. 17වැනි සියවසේ දෙවන අර්ධය තුළ බටහිර යුරෝපය පුරා ම පාහේ කෙටිනවකතාවන් නව සාහිත්‍යාංගයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණද ඉංග්‍රීසි සහ ස්පාඥ්ඥ සාහිත්‍යයන් විසින් එය එක එල්ලේ ම බැහැර කර තිබුණි. [තහවුරු කර නොමැත]

කෙසේනමුත් නවකතාව පිළිගැනීමට ලක් ව තිබුණද තවමත් මුල් අරුමැසිය කෙරෙහි වූ ඇල්ම ඒ තුළ ද විද්‍යාමාන විය. නිදසුනක් ලෙස Fénelon ගේ Telemachus (1699/1700) තුළ වීරාභිවාදනය සහ උදාර පුරුෂත්වය අභිනන්දනය විය. ජේන් බාකර් 1715 දී ලියැවුණු සිය Exilius තෙලමැකුස් අනුගමනය කරමින් ලියැවුණු නූතන අරුමැසියක් ලෙසින් ප්‍රචාරකවාදී ව ප්‍රකාශ කරන්නටද යෙදුණි. 1720දී පළ වූ රොබින්සන් කෲසෝ කෘතියේ තෙවැනි වෙලුමට ලියූ පෙරවදනේ දි කථාපුවත මුලුමනින් ම ගොතන ලද්දක් යැයි ද එවැනි පුද්ගලයකු කිසිදා නොසිටියේ යැයිද පවසමින් එය මුලුමනින් ම අරුමැසි කතාවක් යැයි කී සැමට දැඩි ව පහර දුන්නේ වී නමුත් සිය කෘතිය ඩිෆෝ විසින් මුල දි හදුන්වන ලද්දේ අරුමැසියක් ලෙසිනි.

18වැනි සියවසේ රොමෑන්ටික් ව්‍යාපාරය අරුමැසිය යන යෙදුම කෙරෙහි සුබවාදී වීම තුළ අරුමැසිය කෙරෙහි වූ විරෝධයන් ජයගැනීමට හැකි විය. ගොතික් අරුමැසි නවකතාව වැනි ප්‍රවණතාවන් ඇතිවීම වෙසෙසින් නිදසුන් කළ හැකි ය. මීට අමතර ව වෝලටර් ස්කොට්ගේ ඓතිහාසික නවකතාවන් තුළ ද අරුමැසිමය සංරචක ප්‍රබල ලෙස යෙදී තිබෙනු දක්නා ලදී.[තහවුරු කර නොමැත] මේ යුගය වනවිට රොබින්සන් කෲසෝ නවකතාවක් ලෙස හදුනාගෙන තිබුණු අතර 18වන සියවසේ සාහිත්‍ය විසින් බිහිකළ නව යථාර්ථවාදී ප්‍රබන්ධය විසින් ඊට පසුබිම සකස් කරන ලදී. [තහවුරු කර නොමැත]

19වන සියවසට අයත් කාලසීමාව තුළ ද එමලි බ්‍රොන්ටේ වැනි බ්‍රිතාන්‍ය ලේඛකයන් විසින් මෙන් ම නැතෑනියෙල් හෝතෝන් සහ හර්මන් මෙල්විල් වැනි අදුරු අරුමැසි නවකතාකරුවන් ලෙස හදුන්වනු ලබන ලේඛකයන් විසිනුත් අරුමැසි කතාව සුරක්ෂිත කෙරෙන ලදී.

භාවමය නවකතාව (Sentimental Novel)

ප්‍රධාන ලිපිය: Sentimental novel

භාවමය නවකතාවන් සිය චරිතවල මෙන් ම පාඨක සිත් තුළ ද ඇතිවන හැගීම් කෙරෙහි අවධානය යොමු කළහ. රළු මෙන් ම මොළොක් අවස්ථාවන්හිදී පුද්ගල මනස ක්‍රියාකරන ආකාරය පිළිබිඹු වන අවස්ථා බොහෝකොට ම ඇතුළත් වුණු අතර සිද්ධි දාමය ද ඒ පිණිස ම යොමු ව තිබුණි. අරමුණ වූයේ ආදර්ශවත් චරිත සහ හැසිරීම් හරහා සංවේදී අවස්ථාවන්හි දී පැවතිය යුතු වඩාත් සුදුසු මනෝභාවයන් පෙන්වාදීම යි. සුදුසු පරිදි මනෝභාවයන් හැසිරවීමේ හැකියාව යහපත් ජීවිතයකට සහ මනුෂ්‍ය සබදතාවලට මගපෙන්වන බව කතුවරුන්ගේ විශ්වාසය විය.

තරුණ තරුණියන් අතර ගුණධර්ම සහ ආගමික භක්තිය වගාකිරීමට ලියූ බව සදහන් කළ සැමුවෙල් රිචඩ්සන්ගේ පැමෙලා නිදසුනක් ලෙස දැක්විය හැකි ය. සල්ලාල පුද්ගලයකුගේ මෙහෙකාරියක් ලෙස කටයුතු කරන ඇයට සිය සමාජ තත්වය තුළ සිය ආදරය පතන ගෙහිමියාගේ ගොදුරක් වීමට නියමිත වුවත් අධිෂ්ඨානපූර්වක ව ඉන් මිදෙමින් ඔහු ව ද යහමගට ගන්නා අයුරු මෙහි දැක්විණි. [තහවුරු කර නොමැත]

1760 ගණන් වනවිට පුරුෂ චරිතයන්ද වීරවරයන් වශයෙන් යොදාගැනෙන අන්දම දැකගත හැකි විය. ලෝරන්ස් ස්ටර්න්ගේ Sentimental Journey (1768) හි ප්‍රධාන චරිතය වූ යොරික් නමැති දැඩි හාස්‍යජනක චරිතය නිදසුනක් වේ. ඔලිවර් ගෝල්ඩ්ස්මිත්ගේ Vicar of Wakefield (1766) සහ හෙන්රි මැකෙන්සිගේ Man of Feeling (1771) වඩා විශිෂ්ට ආදර්ශ චරිතයන් බිහිකරන ලදී. [තහවුරු කර නොමැත]

යහගුණ කථාවන්හි සාහිත්‍ය ලක්ෂණයන්හි ආභාෂය ලබමින් කාමකතාවන්හි උපසංස්කෘතියක් නැතොත් ප්‍රතිසංස්කෘතියක්ද බිහි විය. ග්‍රීක සහ ලතින් කෘතිවල පරිවර්තනයන් විසින් මීට පෙර සියවස තුළ belles lettres නම් ප්‍රවණතාවට අයත් කෘති කෙරෙහි කරන ලද දැඩි විපර්යාසාත්මක බලපෑමද මේ කෙරෙහි ඉවහල් විය. රිචඩ් හෙඩ්ගේ English Rogue (1665) වැනි උපහාසාත්මක නවකතාවක් සිය වීරවරුන් ව නාගරික ගණිකා නිවාසයන් කරා තල්ලුකර යැවූ අතර ඇෆ්රා බෙන් වැන්නියක් සිය වීරවරියන් ව උසස් මට්ටමේ ගණිකාවක් වැනි නව වෘත්තීන්හි නියැලෙන්නියන් බවට පත්කරන ලදී.

belles lettres කෘති සිය ප්‍රකාශනය පිණිස වෙනත් මාධ්‍යයන් හමු වන තුරු ම දැඩි ව ගැටෙමින් වුව ද මෙම සම්ප්‍රදාය යටතේ ම ලියැවුණි. යහගුණ කථාව පිළිගත් ගුණධර්මයන්ට සහමුලින් ම ප්‍රතිපක්ෂ වෙමින් ලියැවුණු ජෝන් ක්ලෙලන්ඩ්ගේ Fanny Hill (1748) කෘතියත් සමග මෙම නව සම්ප්‍රදාය ඇරඹිණි. අශ්ලීල කෘතියක් ලෙස විරුදාවලියක් ලැබීමට සමත් වූ ෆැනී හිල් කෘතිය ගණිකාවකගේ දෘෂ්ටිකෝණයෙන් එකී ජීවිතයේ සෞන්දර්ය සහ විශිෂ්ටත්වය මතුකර පෙන්වමින් ලියැවූනක් විණි.

නව සමාජ ක්‍රමයට අනුගත වීමට අසමත් වන ඉහළ තනතුරක් දරන්නකු දැක්වෙන ජොහෑන් වුල්ෆ්ගැන්ග් වොන් ගතේ ගේ The Sorrows of Young Werther (1774) පළවීමත් සමග නොවැළැක්විය හැකි පරිදි දෘෂ්‍යමාන ගැටලු ඉස්මතු විය. Pierre Choderlos de Laclosගේ Les Liaisons dangereuses (1782) මෙහි අනෙක් නිදසුන වූ අතර කලාකාමී වංශවතුන් පිරිසකගේ සදාචාර විරෝධී තෘප්තිය එහි නිරූපිත විය. [තහවුරු කර නොමැත]

18වන සියවසේ් දී නවකතාව පිළිබද වූ සමාජ මතය

සංස්කෘතික වටිනාකම් වෙනස්වීම

1700 පමණ වන විට ප්‍රබන්ධ යනු වංශවතුන්ට පමණක් සීමා වූ රසවින්දනයක් නො වීය. මුද්‍රිත ග්‍රන්ථ ඉතා කෙටිකලකින් ම සෑම තරාතිරමක ම පාඨකයන්ට ළගා වීමට හැකියාව ලබාගන්නා ලදී. ස්පාඤ්ඤය නව රැළි ඇතිකිරීමේ පුරෝගාමියා වුවත් පසු ව ප්‍රංශ ලේඛකයන් සර්වැන්තේස්, de Quevedo සහ Alemán වැනි ලේඛකයන් අභිබැවීමට සමත් විය. 1670 දී Huet පෙන්වාදෙන පරිදි එය සමාජ චාරිත්‍රයන් නිරූපණයේ කළ වෙනසක් විය. විනෝදකාමී විවෘත ස්ත්‍රී පුරුෂ සමාගමයන් ප්‍රංශ සභාවන්හි මුණගැසෙන ජීවිතය වශයෙන් වන බවට දැක්මක් නව ප්‍රංශ කෘති විසින් හදුන්වාදෙන ලදී.

1660ගණන්වල සිට 1690ගණන් දක්වා කාලය තුළ ඕලන්ද ජාතිකයන් විසින් ප්‍රංශ කෘති හොර රහසේ පළකිරීම ඇරඹීමත් සමග තවත් හැරවුමක් ඇතිවිය. ඕලන්ද ප්‍රකාශන සමාගම් ප්‍රංශයේ විලාසිතාමය කෘති චෞර ලෙස පිටපත් කරමින් දේශපාලනික සහ අපවාද පුවත් ප්‍රබන්ධගත කිරීමේ (scandalous fiction) නව වෙළදපොළක් ඇතිකරගත්හ. This led to a market of European rather than French fashions in the early 18th century. 18 වැනි සියවස මුල දී ප්‍රංශ විලාසිතාවන්ට එරෙහි ව යුරෝපීය වූ වෙළදපොළක් ඇතිකිරීමට මෙය තුඩු දුන්නේ ය.

 
Intimate short stories: The Court and City Vagaries (1711).

1680 ගණන්වන විට යුරෝපියානු විලාසිතාමය දේශපාලනික නවකතාවන්හි ආභාෂය ලබමින් පෞද්ගලික අපවාද පුවත් රචනයේ දෙවන රැල්ලක් බිහි විය. සිය දේශපාලනික ජීවිත සහ පුද්ගලික ප්‍රේම කතා ගැන ලියූ කාන්තාවන්ගේ සාහිත්‍යයක් බිහි වූ හෙග් සහ ලන්ඩන් නගර ඇසුරු කරමින් බිහි වූ අතර සිය ශෘංගාර ජීවිත ගැන උදම් ඇනීම පිණිස ජර්මන් සිසුන් ද මේ ප්‍රවණතාව අනුකරණය කරන ලදී. ලන්ඩනය, නෙදර්ලන්තයේ අඥාත ප්‍රකාශකයන්ගේ ජාත්‍යයන්තර වෙළදපොළ සහ හැම්බර්ග් හා ලිප්සීග් නගර මෙයට දායකත්වය සපයන ලදී. සරසවි සිසුන් සහ ලන්ඩනයේ ඉහළ පැළැන්තියේ පවුල්වල දියණියන් වැනි අය සමාජය කම්පනයට පත්කරන විෂයයන් ගැන ලියන්නට ගැනීමත් සමග සාර්ධර්ම වෙනසක් අවශ්‍ය බවට සමාජය හඩනගන්නට පටන් ගත්හ.

18 වැනි සියවසේ නවකතාකරුවන්ගේ දෙවන පරපුරේ මූලික ඉළක්කය මේ ප්‍රතිසංවිධානය විය. 1850 පමණ වනවිට The Spectator වැනි සගරා පණගැන්වූ සමාජ පසුබිම් වෙනස අගය කළෝ ද ඔවුහු ය. The Spectator සගරාවේ 10 වැනි අංකය දැන් කළ යුතු ව තිබෙන්නේ සදාචාරය ඔප්නැංවීමට සබුද්ධිකත්වය යොදාගැනීමත්, සබුද්ධිකත්වය ශක්තිමත් කිරීම සදහා සදාචාරය යොදාගැනීමත් යැයි සදහන් කළේ ය. එනම් දර්ශනය අදුරු ගුහාවලින් සහ පුස්තකාලවලිනුත් විදුහල් සහ සරසවිවලිනුත් එළියට ගෙන සමාජ සංගම් සමිති තේ-කෝපි මේස වෙත ගෙන යාම යි. එය කීය. නවකතාව අරභයා විවේචනාත්මක විචාරයන් එතෙක් සිදු වී නොතිබිණ. නවකතාවේ ඉතිහාසය පිළිබද ප්‍රථම නිබන්ධය Marie de La Fayette ගේ Zayde (1670) නවකතාවේ සංඥාපනය විය.

සියවස මුල දී ඇරඹුනු The Spectator සහ The Tatler වැනි නව සගරාවන් තුළ නවකතා ගැන විචාර පළවිය. Gotthold Ephraim Lessing ගේ Briefe, die neuste Literatur betreffend (1758) වැනි කලා හා ප්‍රබන්ධ විචාර ඇතුළත් සාහිත්‍ය ජර්නලයන් සියවසේ මැදභාගයේ දී බිහි විය. 1780 ගණන් වන විට විචාර විසින් අලුතින් පළවන ප්‍රබන්ධ පොදුජනතාවට හදුන්වා දීමේ වැදගත් කාරියක් කරමින් පැවතිණ. පසුකාලීනව පාසල් විෂයමාලාවන් තුළටත් ඉන් පසු සරසවි විෂය නිර්දේශයන්ටත් නවකතා ඇතුළත් කෙරිණ.

නවකතාව සාහිත්‍යාංගයක් ලෙස පිළිගැනීමට ලක්වීම

ප්‍රංශ දේවධාර්මාචාර්යවරයෙක් මෙන් ම විද්වතෙක් ද වූ පියෙර් ඩැනයෙල් හුඑට් ගේ Traitté de l'origine des romans (1670) නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය 18වැනි සියවසේ දී නවකතාව සාහිත්‍යයමය වශයෙන් පිළිගැනීම උදෙසා පසුබිම සකසන ලදී. ඔහු ප්‍රබන්ධ කතා පැසසීමට නිර්භය වූවා පමණක් නොව දේවධාර්මික ග්‍රන්ථ විදාරයේ සිද්ධාන්ත නවකතා අර්ථ විග්‍රහ කිරීම පිණිස යොදාගත හැකි බව ද පෙන්වා දෙන ලදී. මෙය නවමු අදහසක් විය. කෙනකුට නවකතා හෝ අරුමැසි කතා කියවීමෙන් විනෝදාර්ස්වාදයක් ම පමණක් නොව දුරස්ථ විදේශික සංස්කෘතීන් කෙරෙහි මෙන් ම ස්වකීය සංස්කෘතික පරිසරය කෙරෙහි ද විමසුම් ඇසක් ලෙස ද යොදාගත හැකි බව පෙන්වා දෙන ලදී. ක්‍රිස්තුන්වහන්සේ පවා යම් යම් දේ පැහැදිලි කර දීම සදහා උපමා කතා භාවිත කළ බව හෙතෙම පැවසුවේ ය.

1700 ආසන්න දශක පෙට්රෝනියස්, ලූෂන් සහ එමේසා හි හෙලිඩෝරස් වැනි අයගේ කෘති නැවත මුද්‍රණය කෙරුණු යුගයක් විය. ප්‍රකාශකයෝ ඒවා හුඑට්ගේ නිබන්ධනය උපුටා දක්වන පෙරවදන්වලින්සැරසූහ. ඉස්ලාමීය මනස පුබුදු කළ විචිත්‍ර කතාන්දර ද ඒ සමග පළවන්නට විය. නිදසුන් ලෙස එක්දහස් එක් රැය කෘතිය 1704 සිට 1715 අතර කාලය තුළ ප්‍රංශ බසින් පළවිය. එය යුරෝපයේ පළ වූ මුල් ම අවස්ථව එය විය. ඒ සමග ම එය ඉංග්‍රීසි හා ජර්මන් භාෂාවලට ද පරිවර්තනය කෙරුණු අතර හුඑට්ගේ අරුමැසියේ ඉතිහාසයට දායකත්වයක් ද විය.

නව සම්භාව්‍ය කෘතිවල වෙළදපළ ඇතිවීම ද මේ සමග සිදුවිය. Select Collection of Novels in six volumes (1720–22) කෘතිය මේ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් විය. එහි හුඑට්ගේ නිබන්ධනයත් සමග එකල යුරෝපීය නව සාහිත්‍යයේ කැපීපෙනුණ කෘති ද ඇතුළත් විය. මැකියාවෙලිගේ කෙටිනවකාතවක සිට Marie de La Fayette ගේ අගුකෘති දක්වා ම ඊට ඇතුළත් විය. ඇෆ්රා බෙන්ගේ ප්‍රබන්ධ කතා 1680 ගණන් වන විට නව “කතා” ලෙස පළ වී තිබුණු අතර පෙර කී පරිදි සංග්‍රහයන් තුළ පළවීමත් සමග ඒවා සම්භාව්‍යත්වයෙන් සැලකෙන්න ගැනිණ. Fénelon ගේ Telemachus (1699/1700) වසර 3ක් වැනි කාලයක් ඇතුළත සම්භාව්‍ය කෘතියක් බවට පත්විය. මේ වන විට කර්මාන්තයට එක්වෙමින් සිටි නවක ලේඛකයන් ප්‍රබන්ධ කතුවරුන් ලෙස සිය සැබෑ නම් නො පැකිළ ව භාවිත කිරීමට ද පෙළඹුණි. එලීසා හේවුඩ් ඇෆ්රා බෙන්ගේ අඩිපාරේ යමින් 1719 දී සිය නාමය පෙර නොවූ විරූ අභිමානයකින් භාවිතා කළා ය.

  •  
    Total numbers of English titles, 1600–1799 according to ESTC data. Years of political turmoil produced higher numbers of controversial short tracts.
  •  
    London's book market 1700, distribution of titles according to Term Catalogue data. The poetical and fictional production does not have a unified place yet
  •  
    The yearly output of fiction in English 1600–1799.
  •  
    The short "novel" supplanted the longer "romance" in the 1680s. It found a second peak on title pages in the 1720s when it received its body of classics. The labeling of fictions became only more interesting at the end of the century

ආශ්‍රිත නාමාවලිය

  1. Margaret Anne Doody, The True Story of the Novel. New Brunswick, NJ: Rutgers University Press, 1996, rept. 1997, p. 1. Retrieved 25 April 2014.
  2. Merriam-Webster's Encyclopedia of Literature. Kathleen Kuiper, ed. 1995. Merriam-Webster, Springfield, Mass.
  3. "Essay on Romance", Prose Works volume vi, p.129, quoted in "Introduction" to Walter Scott's Quentin Durward, ed. Susan Maning. Oxford: Oxford University Press, 1992, p.xxv. Romance should not be confused with. harlequin romance.
  4. "Introduction" to Walter Scott's Quentin Durward, ed. Susan Maning, pp.xxv-xxvii.
  5. Moers, Ellen. Literary Women: The Great Writers[1976] (London: The Women’s Press, 1978)
  6. [2] Robert McCrum, "The Hundred best novels: Moby Dick", The Observer, Sunday 12 January 2014.
  7. Doody (1996), p. 15.
  8. Doody (1996), pp. 18-3, 187.
  9. Doody (1996), p. 187.
  10. György Lukács The Theory of the Novel. A historico-philosophical essay on the forms of great epic literature [first German edition 1920], transl. by Anna Bostock (Cambridge, Massachusetts: The MIT Press, 1971).
  11. Merriam-Webster's Encyclopedia of Literature. Kathleen Kuiper, ed. 1995. Merriam-Webster, Springfield, Mass.
  12. The Tale of Genji. Encyclopædia Britannica. Encyclopædia Britannica Online Academic Edition. Encyclopædia Britannica Inc., 2014. Web. 06 Apr. 2014. <http://www.britannica.com/EBchecked/topic/581365/The-Tale-of-Genji>
  13. The Japanese. Reischauer, Edwin O. Belknap Press. Cambridge, MA 1980. p.49. ISBN 0-674-47178-4.
  14. Identity in Asian Literature edited by Lisbeth Littrup. Richmond, Surrey: Curzon Press, 1996, p. 3.
  15. Jon Mcginnis, Classical Arabic Philosophy: An Anthology of Sources, p. 284, Hackett Publishing Company, ISBN .
  16. Samar Attar, The Vital Roots of European Enlightenment: Ibn Tufayl's Influence on Modern Western Thought, Lexington Books, ISBN .
  17. Muhsin Mahdi (1974), "The Theologus Autodidactus of Ibn at-Nafis by Max Meyerhof, Joseph Schacht", Journal of the American Oriental Society 94 (2), pp. 232–234.
  18. The Improvement of Human Reason, exhibited in the life of Hai Ebn Yokdhan: written in Arabic above 500 Years ago, by Abu Jaafar Ebn Tophail [...] newly translated from the original Arabick, by Simon Ockley (London: W. Bray, 1711).
  19. The ESTC notes 29 editions published between 1496 and 1785 ESTC search result සංරක්ෂණය කළ පිටපත 2016-01-28 at the Wayback Machine
  20. "Chapbooks: Definition and Origins". Massachusetts Institute of Technology. සම්ප්‍රවේශය 19 April 2015.
  21. From chapmen, chap, a variety of peddler, which folks circulated such literature as part of their stock.
  22. Spufford, Margaret (1984). The Great Reclothing of Rural England. London: Hambledon Press. ISBN 0-907628-47-8.
  23. Leitch, R. (1990). "'Here Chapman Billies Take Their Stand': A Pilot Study of Scottish Chapmen, Packmen and Pedlars". Proceedings of the Scottish Society of Antiquarians 120. pp. 173–188.
  24. See Rainer Schöwerling, Chapbooks. Zur Literaturgeschichte des einfachen Lesers. Englische Konsumliteratur 1680–1840 (Frankfurt, 1980), Magaret Spufford, Small Books and Pleasant Histories. Pleasant Fiction and its Readership in Seventeenth-Century England (London, 1981) and Tessa Watt, Cheap Print and Popular Piety 1550–1640 (Cambridge, 1990).
  25. See Johann Friedrich Riederer German satire on the widespread reading of novels and romances: "Satyra von den Liebes-Romanen", in: Die abentheuerliche Welt in einer Pickelheerings-Kappe, vol. 2 (Nürnberg, 1718). online edition
  26. Compare also: Günter Berger, Der komisch-satirische Roman und seine Leser. Poetik, Funktion und Rezeption einer niederen Gattung im Frankreich des 17. Jahrhunderts (Heidelberg: Carl Winter Universitätsverlag, 1984), Ellen Turner Gutiérrez The reception of the picaresque in the French, English, and German traditions (P. Lang, 1995), and Frank Palmeri, Satire, History, Novel: Narrative Forms, 1665–1815 (University of Delaware Press, 2003).
  27. See his Dom Carlos, nouvelle histoire (Amsterdam, 1672) and the recent dissertation by Chantal Carasco, Saint-Réal, romancier de l'histoire: une cohérence esthéthique et morale (Nantes, 2005).
  28. Jean Lombard, Courtilz de Sandras et la crise du roman à la fin du Grand Siècle (Paris: PUF, 1980).
  29. Daniel Defoe, Robinson Crusoe (London: W. Taylor, 1719)
  30. See [Du Sieur,] "Sentimens sur l'histoire" in: Sentimens sur les lettres et sur l'histoire, avec des scruples sur le stile (Paris: C. Blageart, 1680) online edition and Camille Esmein's Poétiques du roman. Scudéry, Huet, Du Plaisir et autres textes théoriques et critiques du XVIIe siècle sur le genre romanesque (Paris, 2004).
  31. See the preface to The Secret History of Queen Zarah (Albigion, 1705)– the English version of Abbe Bellegarde, "Lettre à une Dame de la Cour, qui lui avoit demandé quelques Reflexions sur l'Histoire" in: Lettres curieuses de littérature et de morale (La Haye: Adrian Moetjens, 1702) online edition
  32. DeJean, Joan. The Essence of Style: How the French Invented Fashion, Fine Food, Chic Cafés, Style, Sophistication, and Glamour (New York: Free Press, 2005).
  33. Warner, William B. Preface From a Literary to a Cultural History of the Early Novel In: Licensing Entertainment - The Elevation of Novel Reading in Britain, 1684–1750 University of California Press, Berkeley · Los Angeles · Oxford: 1998.
  34. Cevasco, George A. Pearl Buck and the Chinese Novel, p. 442. Asian Studies - Journal of Critical Perspectives on Asia, 1967, 5:3, pp.437-451.
  35. The Rise of the Novel, chapter 2.
  36. Doody (1996), pp.2-3.
  37. Doody (1996), p. 1-2.
  38. Albert J. Guerard The Triumph of the Novel (Chicago: University of Chicago Press, 1976), p.12.
  39. The Rise of the Novel (Harmondsworth: Penguin Books, 1963, p.10.
  40. See the preface to her Exilius (London: E. Curll, 1715)
  41. A Handbook of Literary Terms, 7th edition, ed. Harmon and Holman (1995), p.450.
  42. Richard Maxwell and Katie Trumpener, eds., The Cambridge Companion to Fiction in the Romantic Period (2008).
  43. The elegant and clearly fashionable edition of The Works of Lucian (London: S. Briscoe/ J. Woodward/ J. Morphew, 1711), would thus include the story of "Lucian's Ass", vol.1 p.114-43.
  44. See Robert Darnton, The Forbidden Best-Sellers of Pre-Revolutionary France (New York: Norton, 1995), Lynn Hunt, The Invention of Pornography: Obscenity and the Origins of Modernity, 1500–1800 (New York: Zone, 1996), Inger Leemans, Het woord is aan de onderkant: radicale ideeën in Nederlandse pornografische romans 1670–1700 (Nijmegen: Vantilt, 2002), and Lisa Z. Sigel, Governing Pleasures: Pornography and Social Change in England, 1815–1914 (January: Scholarly Book Services Inc, 2002).
  45. See for the following: Christiane Berkvens-Stevelinck, H. Bots, P. G. Hoftijzer (eds.), Le Magasin de L'univers: The Dutch Republic as the Centre of the European Book Trade: Papers Presented at the International Colloquium, Held at Wassenaar, 5–7 July 1990 (Leiden/ Boston, MA: Brill, 1992).
  46. See also the article on Pierre Marteau for a profile of the European production of (not only) political scandal.
  47. See George Ernst Reinwalds Academien- und Studenten-Spiegel (Berlin: J. A. Rüdiger, 1720), p.424–427 and the novels written by such "authors" as Celander, Sarcander, and Adamantes at the beginning of the 18th century.
  48. See the extended excerpt of Stephen Lewis 1715 edition at Traitté de l'origine des romans (1670) for the collection of these statements and further literature.

අඩවියෙන් බැහැර පිටු

  • The novel 1780-1832 සංරක්ෂණය කළ පිටපත 2021-11-11 at the Wayback Machine at the British Library
  • The novel 1832-1880 සංරක්ෂණය කළ පිටපත 2021-06-25 at the Wayback Machine at the British Library
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    ප්‍රස්ථා පිරුළු (සිංහල භාෂාව)

  • අප්‍රේල් 01, 2026

    ලිංගික අප්‍රාණිකත්වය

  • මාර්තු 17, 2026

    මිහින්තලය

  • මාර්තු 23, 2026

    භූගෝල විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    මෛත්‍රීපාල සිරිසේන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට