සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

භාෂා පවුලක් යනු කිසියම් පොදු පූර්වජ භාෂාවකින් පැවත ඒම හේතුවෙන් ඥාතීත්වයක් දරන, භාෂා කාණ්ඩයකි. මෙම පොදු භාෂාව, මූල භාෂාව ලෙසින් හඳුන්වයි. මෙම මූල භාෂාවෙන් පැවත එ

භාෂා පවුල

  • මුල් පිටුව
  • භාෂා පවුල

භාෂා පවුලක් යනු කිසියම් පොදු පූර්වජ භාෂාවකින් පැවත ඒම හේතුවෙන් ඥාතීත්වයක් දරන, භාෂා කාණ්ඩයකි. මෙම පොදු භාෂාව, මූල භාෂාව ලෙසින් හඳුන්වයි. මෙම මූල භාෂාවෙන් පැවත එන භාෂාවන් දුහිතෲ භාෂා ලෙසින් හඳුන්වයි. මෙම දුහිතෲ භාෂා සෑම විටම සමාන නොවේ.

Ethnologue වෙබ් අඩවියට අනුව, ලෝකයේ සජීවී මානව භාෂා 7,168 පමණ ඇති අතර, ඒවා විවිධ භාෂා පවුල් 142 කට වර්ග කර ඇත. සජීවි භාෂා ලෙස හඳුන්වන්නේ එක් පුද්ගලයෙකුගේ හෝ මාතෘ හෝ පීතෘ භාෂාව ලෙස පවතින භාෂාවන් ය. ලෝකයේ ජනගහනයෙන් වැඩි දෙනෙකු කතා කරනු ලබන භාෂා අයත් භාෂා පවුල වන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුල වේ. එය සමස්ත ජනගහනයෙන් 40% වැඩි දෙනෙකුගේ භාෂා නියෝජනය කරන අතර මෙම භාෂා පවුලට අයත් භාෂා යුරෝපයේ සිට දකුණු ආසියාව දක්වා වපසරියක ව්‍යාප්තව පවතියි.

ලයිල් කෑම්ප්බෙල් (2019) නැමැති භාෂා විශාරධයාට අනුව හුදෙකලා භාෂා ද ඇතුළු ව ස්වාධීන භාෂා පවුල් 406 ක් දක්නට ලැබේ.

පටුන

භාෂා පවුලක ව්‍යුහය

 
වාග් විද්‍යාවේ වර්ධනයත් සමඟ භාෂා පවුලක භාෂා අතර පවතින සම්බන්ධය වඩාත් නිර්වද්‍ය ආකරයෙන් හඳුනා ගැනීමට හැකි වී ඇති අතර, මෙය දැක්වීම සඳහා රුක් සටහන් හෝ ගැලීම් සටහන් යොදා ගනු ලැබේ. ඉහත දැක්වෙන්නේ ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ සම්බන්ධතාවය පෙන්වීම සඳහා රුක් සටහනක් යොදා ගෙන ඇති ආකාරයයි.
 
අරාබි භාෂා සන්තතිය. මෙහි දී ආසන්නව පවතින උපභාෂා අතර අන්‍යෝන්‍ය අවබෝධතාවය උපරිම වන අතර, දුරස්ථ උපභාෂා අතර අන්‍යෝන්‍ය අවබෝධතාවය ඉතා අවම මට්ටමක පවතී.

භාෂා පවුලක් යනු ඒකවංශික ඒකකයකි (monophyletic unit). එනම් භාෂා පවුලේ සෑම සාමාජිකයෙක් ම පොදු පූර්වජයෙකුගෙන් පැවත එන බවත්, සාමාජිකයන් අතර අන්‍යොන්‍ය වශයෙන් සමීප හෝ දුරස්ථ ඥාතීත්වයක් දරන බවත් ය. මෙම ඥාතීත්වය රුක් සටහනක් හෝ ගැලීම් සටහනක් ඔස්සේ දැක්විය හැකි ය.

භාෂා පවුලක් ඒකක ගණනාවකින් සමන්විත විය හැකි ය. භාෂා පවුලක ජානමය ඥාතීත්වය තුලනාත්මක වාග්විද්‍යාව ඇසුරින් අනාවරණය කර ගත හැකි ය.

භාෂා පවුල් අධ්‍යනය ආශ්‍රයෙන් හඳුනා ගත හැකි සුවිශේෂි ලක්ෂණ

උපභාෂා සන්තති

ප්‍රධාන ලිපිය: උපභාෂා සන්තතිය

ඉතා සමීප ඥාතීත්වයක් දරන භාෂා පවුල් හා භාෂා පවුල්වල උපශාඛා උපභාෂා සන්තතියක (Dialect Continuum) හෙවත් භාෂා දාමයක ස්වරූපයක් ගනු නිරීක්ෂණය කළ හැකි ය. උපභාෂා සන්තතියක් දක්නට ඇති භාෂා පවුල් කිසියම් අඛණ්ඩ භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්තව පවතී. උපභාෂා ස්වාධීන භාෂා ලෙස නැගී ඒම සඳහා අත්‍යවශ්‍ය භෞමික හෝ සමාජීය ඛණ්ඩතාවය නොමැති වීම මෙවැන්නක පැවැත්මට හේතු වේ. මෙහි දී භූගෝලීය වශයෙන් ආසන්නව පවතින උපභාෂා අන්‍යෝන්‍ය වශයෙන් වටහා ගැනීමට හැකි අතර දුරස්ථ පවතින උපභාෂා අතර අන්‍යෝන්‍ය අවබෝධතාවය අවම මට්ටමක පවතී.

මෙවැනි ව්‍යාප්තියක් පවතින උපභාෂා වාග්විද්‍යාත්මකව නිවැරදිව වර්ගීකරණය කිරීමට අපහසු වන්නේ එක් උපභාෂාවක් අනෙක් උපභාෂාවෙන් වෙන් කරන නිර්වද්‍ය භූගෝලීය සීමාව තීරණය කිරීම දුෂ්කර බැවිනි. වර්ගීකරණය කරනු ලබන පුද්ගලයා සලකා බලන සාධක, එම පුද්ගලයාගේ දේශපාලනික, සමාජීය, හා ආගමික නැඹුරුතාවය මත මෙම සීමා වෙනස් විය හැකි ය.

මෙම උපභාෂා සන්තති සඳහා නිදසුන් ලෙස අරාබි භාෂාව හා දකුණු ස්ලැවික් උපභාෂා සන්තතිය දැක්විය හැකි ය.

හුදෙකලා භාෂා

ප්‍රධාන ලිපිය: හුදෙකලා භාෂාව

ලෝකයේ වහරනු ලබන බොහෝමයක් භාෂා අනෙක් භාෂා සමඟ සමීප හෝ දුරස්ථ ඥාතීත්වයක් දරනු ලබන බව නිරීක්ෂණය කළ හැකි ය. එහෙත් ඇතැම් භාෂා වර්තමානයේ පවතින කිසිදු භාෂා පවුලක් සමඟ කිසිදු ආකාරයක් ඥාතීත්වයක් නොදරන බවක් පෙනේ. මෙවැනි භාෂා හුදෙකලා භාෂා ලෙස හඳුන්වයි. බොහෝ වාග්විද්‍යාඥයින්ගේ මතය වන්නේ ඉතිහාසයේ කිසියම් කාල වකවානුවක මෙවැනි හුදෙකලා භාෂා අනෙක් භාෂා සමඟ ඥාතීත්වයක් තිබෙන්නට ඇති බවත්, එම කාලසීමාව වර්තමාන කාලයට වඩා බොහෝ දුරස්ථ බැවින් භාෂා පරිණාමය පෙන්වීමට පවතින දුෂ්කරතාවය මත මෙම ඥාතීත්වය හඳුනා ගැනීමට නොහැකි බවත් ය. බස්ක් භාෂාව මෙවැනි භාෂාවකට නිදසුනකි.

භාෂා පවුලක ස්වාධීන උපශාඛාවක් ලෙස හඳුනා ගත හැකි භාෂා ද හුදෙකලා භාෂා ලෙස හඳුන්වයි. ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් ආමේනියානු භාෂාව, ග්‍රීක භාෂාව, හා ඇල්බේනියානු භාෂාව මෙවැනි හුදෙකලා භාෂා සඳහා නිදසුන් වේ.

භාෂා සන්ධියනය

ප්‍රධාන ලිපිය: භාෂා සන්ධියනය

භාෂා සන්ධියනයක් (Sprachbund හෝ Language federation) යනු පොදු භාෂා ව්‍යුහයන් දක්නට ලැබෙන එකිනෙකට වෙනස් භාෂා ගණනාවකින් සමන්විත භූගෝලීය ප්‍රදේශයකි. මෙවැනි ප්‍රදේශයක වහරනු ලබන භාෂා විවිධ භාෂා පවුල්වලට අයත් භාෂා වීම හෝ විවිධ උපශාඛාවලට අයත් වීම හෝ යන ලක්ෂණ දක්නට ලැබේ. එනම් මෙම භාෂා සමූහය පොදු පූර්වජයෙකුගෙන් පැවත එන්නේ නැත. මෙම භාෂා සඳහා පොදු භාෂා ව්‍යුහයක් ඇති වීම සිදු වන්නේ කාලයත් සමඟ මෙම භාෂා වහරනු ලබන සමාජයන් අතර ඇති වන සමාජීය, ආර්ථික, දේශපාලනික, හා සංස්කෘතික හුවමාරු වීම හා සම්මිශ්‍ර වීම් වේ. භාෂා සන්ධියනකට නිදසුනක් ලෙස ඉන්දු උපමහාද්වීපය හඳුනාගත හැකි ය.

සම්බන්ධිත භාෂා

ප්‍රධාන ලිපියන්: මිශ්‍ර භාෂා, ක්‍රියෝල භාෂා, සහ පිජින් භාෂා

සාම්ප්‍රදායික වාග්විද්‍යාවන්ට අනුව භාෂාවක බිහි වීම සිදු වන්නේ මූල භාෂාවකින් පැන නැගුණ උපභාෂාවක් ස්වාධීන භාෂාවක් ලෙස වර්ධනය වීම මඟිනි. එහෙත් මෙම සාම්ප්‍රදායික ක්‍රමයෙන් පරිභාහිරව වුව ද භාෂා පැන නැගිය හැකි ය. මෙවැනි භාෂා සම්බන්ධිත භාෂා ලෙස හඳුන්වයි.

  • මිශ්‍ර භාෂා - කිසියම් සමාජයක් එකිනෙකට වෙනස් භාෂා 2 ක් හෝ වැඩි ගණනක් සමඟ සමාන ආකාරයක ඉහළ නිපුණත්වයක් දරයි නම් එවැනි සමාජයක මිශ්‍ර භාෂා පැන නැගීමට පුළුවනි. මෙහි දී තම මව්බසට නිපුණත්වය දරන අනෙක් භාෂාවෙන් භාෂා ව්‍යුහයන් ලබා ගන්නා අතර තම භාෂාවට අදාළ භාෂා ව්‍යුහයන් තම භාෂාවට අදාළ භාෂා රීතිවලට අනුරූපීව ද, අනෙක් භාෂාවෙන් ලබා ගත් භාෂා ව්‍යුහයන් අදාළ භාෂාවේ භාෂා රීතිවලට අනුරූපීව ද හසුරුවනු ලැබේ.
  • පිජින් භාෂා - කිසියම් වෙනස් භාෂා 2 ක් වහරනු ලබන සමාජයන් දෙකක් අතර අන්‍යෝන්‍ය සන්නිවේදනය සඳහා පොදු නව භාෂාවක් නිර්මාණය කර ගැනීම ඇතැම් කාලවකවානුවල ජීවත් වූ සමාජයන් විසින් කටයුතු කර ඇත. මෙවැනි භාෂා පිජින් භාෂා ලෙස හඳුන්වයි. පූර්වජ භාෂා ද්විත්වයට ම වඩා සරල වීම, උච්ඡාරණ රීති පහසු වීම, හා විභක්ති වැනි සංකීර්ණ ව්‍යාකරණ රීති දක්නට නොලැබීම මෙවැනි භාෂාවල සුවිශේෂී ලක්ෂණ වේ. මෙහි දී පිජින් භාෂාව හේතුකොටගෙන ඒ ජනගහනයන්ගේ මාතෘභාෂාව ප්‍රතිස්ථාපනය නොවන අතර, අදාල සංස්කෘතික හෝ වෙළඳ ගනුදෙනු සඳහා පමණක් වහරනු ලැබේ.
  • ක්‍රියෝල භාෂා - ක්‍රියෝල භාෂා යනු පිජින් භාෂාව වහරනු ලබන ජනතාවගේ මව්බස ප්‍රතිස්ථාපනය කිරීමට සමත් වන පිජින් භාෂා ය. එනම් කිසියම් පිජින් බස වහරන සමාජයක ජනතාව තම අනාගත ප්‍රජාවට තම මව්බස හැර එම පිජින් භාෂාව ඉගැන්වීමට ලක් කිරීම හරහා පරම්පරා ගණනාවකට පසුව එම පිජින් බස ජනගහනයේ මව් බස බවට පරිවර්තනය වීම යි. යුරෝපීය යටත්විජිතකරණය හේතුකොට ගෙන බොහෝමයක් ජර්මානුක හා රෝමානුක භාෂා ලෝකය පුරා ව්‍යාප්ත වුණ අතර, මෙම භාෂා වෙනත් භාෂා සමඟ සම්බන්ධ වීම හමුවේ ලෝකයේ දක්නට ලැබෙන බොහෝමයක් ක්‍රියෝල භාෂා පැන නැගුණි.
  • කේත මාරුකිරීම - කේත මාරුකිරීම යනුවෙන් හඳුන්වන්නේ කිසියම් සමාජයක් දෙවන බසක් කෙරෙහි නිපුණත්වයක් ඇති විට, ව්‍යවහාරයේ දී අවස්ථෝචිතව තම මව්බස වෙනුවට දෙවන බස භාවිතා කිරීමයි. ඉංග්‍රීසි බස දෙවන බස ලෙස භාවිත කරන බොහෝමයක් සමාජවල මෙය සුලබව දක්නට ලැබේ. වත්මන් පරම්පරාවට අයත් පුද්ගලයන් අතර මෙය බෙහෙවින් ජනප්‍රිය බව නිරීක්ෂණය කළ හැකි ය.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 19, 2026

    දකුණු අප්‍රිකාව

  • අප්‍රේල් 04, 2026

    ඉන්දීය සයුර

  • අප්‍රේල් 04, 2026

    ථේරවාද බුද්ධාගම

  • අප්‍රේල් 05, 2026

    වෙසක් මාසය

  • මාර්තු 14, 2026

    හෙන්රි ස්ටීල් ඕල්කට්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට