| ගි අධිරාජිනිය | |
|---|---|
| යුවාන් රාජවංශයේ අධිරාජිනිය වැන්දඹු අධිරාජිනිය | |
| රාජ්‍ය සමය | 1340–1369/70 (වසර 29–30) |
| උපත | 1315 |
| මරණය | 1369/70 (වයස 54–55) |
| වල්ලභයා | තොඝොන් තෙමූර් |
| දරුවන් | බිලිග්තූ ඛාන් ආයුෂිරිදර |
| පියා | ගි ජා-ඕ |
ගි අධිරාජිනිය (හෙවත් කි අධිරාජිනිය; හංගුල්:기황후; 1315–1369/70), හෙවත් චීන බසින් ක්වි අධිරාජිනිය (හෙවත් චි අධිරාජිනිය; 奇皇后) සහ මොංගෝලියානු බසින් ඕලෙජි ඛුටුක් (Өлзий хутуг) යනු යුවාන් රාජවංශයේ තොඝොන් තෙමූර් අධිරාජයාගේ ප්‍රධාන අධිරාජිනියන් අතරින් අයෙකි. ඇය බිලිග්තූ ඛාන් ආයුෂිරිදරගේ මෑණියන් වූවා ය. ඇය කොරියානු වංශවත් පවුලක උපත ලැබුවා ය.
චරිතාපදානය
මොංගෝලියානු බසින් ඕලෙජි ඛුටුක් නමින් ප්‍රකට වූ ඇය, ගි ජාඕට (හන්ජා:奇子敖) දාව ගෝර්යෝවේ හෙංජු (හන්ජා:幸州, නූතන ගෝයැං) ප්‍රදේශයේ උපත ලැබී ය. ඇයට ගි චොල් (හන්ජා:奇轍, මොංගෝලියානු: බායින් බුඛා) නමින් වැඩිමහල් සොහොයුරකු සිට ඇත. ඇය තොඝෝන් තෙමූර්ගේ උපබිසවක් බවට පත් වූ අතර, ඇය ආයුෂිරිදරගේ මව ද වූවා ය. ගි බිසව (කි බිසව ලෙස ද හඳුන්වයි) උපත ලැබූයේ පහත් නිලයක් දැරූ වංශවත් පවුලක ය. 19වන සියවස අගභාගය වන තෙක්ම කොරියානු සමාජය කුලයයන් 14කට බෙදා තිබූ අතර, එහි මුදුනේම රාජකීයයයන් ද, පත්ළේ වහලුන් ද වූහ. මොංගෝලියානු යුවාන් රාජවංශයට තුටු පඬුරු ලෙස කොරියානු පණ්ඩක දරුවන්, උපබිසෝවරුන් වීම සඳහා දැරියන්, උකුස්සන්, ජින්සෙං, ධාන්‍ය, සළුපිලි, රිදී සහ රත්රන් විශාල සංඛ්‍යාවක් ලබාදීමට සිදු විය. උදාහරණ ලෙස කොරියානු පණ්ඩක (eunuch) බක් බුල්හ්වා සහ කොරියානු ගි අධිරාජිනිය දැක්විය හැක. බක් බුල්හ්වා පණ්ඩකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගෝර්යෝවට නොයෙකුත් අහිතකර බලපෑම් එල්ල විය. මෙම තුටුපඬුරු ගෙවීම් (කප්පම්) ක්‍රමය කොරියාවට බෙහෙවින් හානිදායක විය. නමුත් එකල කොරියානු කාන්තාවන් විවාහ කරගැනීම ගෞරවයක් ලෙස සැලකිණි. 1333දී, නව යොවුන් වියැති ගි ආර්යාව කොරියානු රජවරුන්ගෙන් "මිනිස් පඬුරක්" ලෙස චීනයට ලබා දෙන ලදී. එයට හේතුව එකල සෑම වසර තුනකට වරක්ම රූමත් තරුණියන් නිශ්චිත සංඛ්‍යාවක් මොංගෝලියානු අධිරජවරුන්ගේ උපබිසෝවරුන් ලෙස යැවීමට කොරියානු රජවරුනට අණකොට තිබිණි. කොරියාවේ සිය පවුල හැරයාමට ගි ආර්යාව අකමැති වූ අතර, “මිනිස් පඬුරක්” නොවීමට ඇයට තිබූ බලාපොරොත්තුවට පිටුපා ඇයව චීනය වෙත රැගෙන යන ලදී. මෙම උපබිසෝවරුන් අධිරාජයාගේ වහලියන් වූ අතර, ඔවුන්ව අන්තඃපුරයට ඇතුළත් කරන ලදී. චීනයට පැමිණි පසු, ගි රාජ්‍යයයේ හොඳම උපබිසව වීමට උත්සාහ ගත්තා ය. ඇගේ අතිශය රූමත් බවත්, නර්තනයට, කතාබහට, ගායනයට, කාව්‍ය ශාස්ත්‍රයට සහ අක්ෂර ලිවීමට ඇය සතු වූ දක්ෂතාව නිසා ඇය කෙටකලකින්ම තොඝොන් තෙමූර් අධිරාජයාගේ ප්‍රියතම උපබිසව බවට පත්වූ අතර, ඔහුගේ සෙසු උපබිසෝවරුනට ලබාදිය නොහැකි වූ, ලිංගික සන්තර්පණය අධිරජුට ලබාදීමට ඇය සමත් වූවා ය. අධිරාජයා ගි බිසව සමග ප්‍රේමයෙන් බැඳුණු අතර, ඔහු සිය ප්‍රථම අධිරාජිනිය වන ධනශ්‍රිට වඩා වැඩි කාලයක් ඇය සමග ගතකළේ ය.
සිය සොයුරා වූ තංකිස් (තංක්විෂි) විසින් කැරැල්ලක් මෙහෙයවීම හේතුවෙන් 1335 ජූලි 22වන දින, ධනශ්‍රි අධිරාජිනියව බලයෙන් පහකොට මරණ දඬුවම ලබාදෙන ලදී. අනතුරුව තොඝෝන් තෙමූර් සම්ප්‍රදායයක් වශයෙන් මොංගෝලියානු වංශිකයන් පමණක් පත්කෙරුණු ප්‍රධාන උපබිසව (උප අධිරාජිනිය) තනතුරට, ගි බිසව පත්කිරීමට තැත්කළ ද, කොරියානු ස්ත්‍රියකට එවැනි තැනක් දීම පිළිබඳ රාජසභාවේ විරෝධය පළ වීම නිසා ඔහුට එය සිදුකළ නොහැකි විය. තොඝෝන් තෙමූර් ඕලෙජි ඛුටුක් සිය අධිරාජිනිය ලෙස පත්කිරීමට තැත්කළේ ය. නමුත්, බලවත් මර්කිඩ්හි බයාන් එයට විරුද්ධ විය. 1339දී ගි බිසව පුත් කුමරකුට උපත ලබා දුන් අතර, තොඝෝන් තෙමූර් ඔහුව සිය අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට තීරණය කිරීම නිසා 1340දී අවසානයේ ගි බිසවට උප අධිරාජිනිය බවට පත්වීමට හැකි විය. අධිරාජයාගේ ප්‍රියතම භාර්යාව වූ බැවින්, ගි බිසව චීනයේ සිටි බලවත්ම කාන්තාවක් වූවා ය. බයාන් බලයෙන් බහකළ පසු, ඕලෙජි ඛුටුක් 1340දී එලෙස උප අධිරාජිනිය බවට පත්වූවා ය. (ප්‍රධාන අධිරාජිනිය වූයේ ඛොංගිරාඩ්හි බයාන් ඛුටුඝ් බිසවයි)
තොඝෝන් තෙමූර්ට රාජ්‍ය පාලනය කෙරෙහි ඇති ඇල්ම කාලයත් සමග අඩු වූ අතර, ඔහුගේ කාලයේ ගි බිසව විශාල බලයක් භුක්ති වින්දා ය. ගි බිසව භාරයේ බදු භාරව පැවති කාර්යාලය පැවිත අතර ඇය සිය පෞද්ගලික භාවිතය සඳහා එය යොදාගත්තා ය. ඇය මාලිගයේ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් නොයෙකුත් දූෂණ වංචා සිදුකරමින් චීනයේ ද්වේශයට ලක්වූවා ය. එසේම කොරියාව තුළ, ගි බිසවගේ පවුලේ සාමාජිකයන් ඇගේ බලයේ උපකාරයෙන් නොයෙකුත් දූෂණ වංචා සිදුකිරීම නිසා ජන අප්‍රසාදයට පාත්‍ර විය. අධිරාජයා විසින් ගි බිසවගේ දෙමාපියනට, "රජු" සහ "රැජින" වැනිනාමයන් ලබාදීම නිසා ගෝර්යෝවේ නිල රජුට ඔවුනට ගෞරව දැක්වීමට සිදු විය. එසේම ගි පවුල කොරියානු වංශවතුන්ගෙන් ධනය සහ වහලුන් පැහැර ගනිමින් කුප්‍රකට පවුලක් ලෙස ප්‍රකට විය. ගි බිසවගේ බලපෑම නිසා ඇගේ වැඩිමහල් සොයුරා වූ ගි චොල් නැගෙනහිර මොංගෝලියානු කාර්යාලයේ සෙන්පති බවට පත්කිරීම නිසා ඔහු කොරියාව පාලනය කරන්නට වූයේ ය. එසේම ඇය කොරියානු සබඳතා සමීපව මෙහෙයවූවා ය. 1353දී ඇගේ පුත්‍රයා වූ ආයුෂිරිදර කිරුළහිමි කුමරුන් ලෙස පත්කරන ලදී. ඇය සිය කොරියානු පණ්ඩකයා වූ බක් බුල්හ්වා (හන්ජා:朴不花; හංගුල්:박불화) සිය නියෝජිතයා ලෙස යොදා ගනිමින් අධිරජ කිරුළ සිය පුතුට ලබා දෙන මෙන් අධිරජුට බලකෙරෙන ව්‍යාපාරයක් ආරම්භ කළා ය. කෙසේනමුත් ඇගේ අභිලාෂයන් දැනගත් අධිරාජයා ඇය කෙරෙන් දුරස් වූයේ ය.
අධිරාජ්‍යයයේ අගනුවර ඕලෙජි ඛුටුක් බිසවගේ බලය ආධාරයෙන් ඇගේ සොයුරු ගි චොල්, මොංගෝලියානුවන්ගේ යටත් රාජ්‍යයක් වූ ගෝර්යෝවේ රජුගේ තනතුරට තර්ජන එල්ල කළේ ය. ගි අධිරාජිනියගේ පවුල ජනයා සූරාකන්නට වූහ. ගෝර්යෝහි ගොංමින් රජු 1356දී කුමන්ත්‍රණයක් දියත් කොට ගි පවුල වැනසී ය. එයට ප්‍රතිචාරයක් ලෙස ගි අධිරාජිනිය ගෝර්යෝවේ නව රජු ලෙස තාෂ් තෙමූර් පත්කොට සේනාව සමග ගෝර්යෝව වෙත පිටත් කර හැරියා ය. යාලු ගංගාව තරණයට උත්සාහ දරන විට ගොර්යෝ හමුදා විසින් මොංගෝලියානු හමුදා විනාශ කරන ලදී.
මේ අතර, මොංගෝලියානු අගනුවර තුළ කිරුළහිමි කුමරුන්ගේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර බල අරගල ඇති විය. විරුද්ධවාදී නායකයකු වූ බොලුද් තෙමූර් 1364දී අගනුවර අල්ලාගත්තේ ය. ආයුෂිරිදර සිය ආධාරකරුවකු වූ කෝකේ තෙමූර් වෙත පලාගිය ද, ඕලෙජි ඛුටුක් බිසව බොලුද් තෙමූර්ගේ සිරභාරයට පත් විය. ඊළඟ වර්ෂය තුළ, කෝකේ තෙමූර් විසින් බොලුද් තෙමූර්ව බලයෙන් පහකරන ලදී. නැවත වරක් ඇය සිය පුතු, ඛගාන් ලෙස පත්කිරීමට උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. බයාන් ඛුටුඝ්ගේ මරණින් පසු, ඕලේජි ඛුටුක් බිසව ප්‍රධාන අධිරාජිනිය බවට පත් විය.
1368දී චීනයේ මොංගෝලියානු පාලනය බිඳවැටීමත් සමග, ඇයට යිංචැං වෙත පලායාමට සිදු විය. 1370දී තොඝෝන් තෙමූර් මියගිය අතර, ආයුෂිරදර සිහසුනට පත් විය. ගි අධිරාජිනිය අනතුරුව ගි (වැන්දඹු) මව් අධිරාජිනිය බවට පත් විය. නමුත් කෙටිකලකින්ම එය අහිමි විය. නිල ගෝර්යෝවේ ඉතිහාසය මගින් ගි පවුල "දේශද්‍රෝහීන්" ලැයිස්තුවට ඇතුලළත් කළ අතර, ඔවුනගේ දූෂණ සහ අහංකාරය හේතුවෙන් ඔවුනට නොයෙකුත් චෝදනා සඳහන් කෙරිණි. මීට අමතරව, 1368දී මිං රාජවංශය බලයට පැමිණි පසු ලියැවුණු යුවාන් රාජවංශයේ නිල ඉතිහාසය තුළ යුවාන්හි බිඳවැටීමට හේතු වූ ප්‍රධාන හේතුව ලෙස ගි බිසවගේ ක්‍රියාකලාපය සඳහන් කොට ඇත. සිය ජීවිත කාලය තුළ දී කොරියාවේ මෙන්ම චීනයේ ද දෝෂදර්ශනයට ලක් වූ චරිතයක් ලෙස ගි බිසවගේ චරිතය හැඳින්විය හැක.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- කිම් හ්යේ-රි විසින් 2005 රූපවාහිනී කතාමාලාවක් වූ ෂින් දොන් තුළ ද,
- හා ජි-වොන් විසින් 2013 රූපවාහිනී කතාමාලාවක් වූ එම්ප්‍රස් කි තුළ ඇගේ චරිතය නිරූපණය කොට ඇත.
- 1315 උපත්
- 1370 මරණ
- මොංගෝලියානු අධිරාජ්‍යයේ ස්ත්‍රීන්
- යුවාන් රාජවංශයේ ජනයා
- අධිරාජිනියන්
- ගෝර්යෝ ජනතාව
- 14වන සියවසේ ස්ත්‍රීන්
- කොරියානු ස්ත්‍රීන්
- එම්ප්‍රස් කි (රූපවාහිනී කතාමාලාව)