සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් ශ්‍රී ලංකාවේ පූජනීය වු ස්ථාන දහසයක්, සොළොස්මස්ථාන ලෙස නම් කොට තිබේ.එවා 'මහියංගනං නාගදීපං' ගාථාවෙන් දැක්වේ.

සොළොස්මස්ථාන

  • මුල් පිටුව
  • සොළොස්මස්ථාන

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් ශ්‍රී ලංකාවේ පූජනීය වු ස්ථාන දහසයක්, සොළොස්මස්ථාන ලෙස නම් කොට තිබේ.එවා 'මහියංගනං නාගදීපං' ගාථාවෙන් දැක්වේ.

පටුන

මහියංගනය

ප්‍රධාන ලිපිය: මහියංගනය රජ මහා විහාරය

ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය, බුදුන් වහන්සේගේ ජීව සර්වඥ කේශධාතූන් නිදන් කළ හා පිරිනිවනින් පසුව උන්වහන්සේගේ ශ්‍රීවාස්තී ධාතුවද නිධන් කර තනනු ලැබූ ශ්‍රී ලංකාවෙහි පළමු දාගැබ සේ සැළකේ. මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.

නාගදීපය

ප්‍රධාන ලිපිය: නාගදීප පුරාණ විහාරය

තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි, චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.මූලාශ්‍ර වලට අනුව නාගයන් විසූ දිවයින(නාගයන් අධිගෘහිත දිවයින) මෙසේ නාගදීපය නම් වේ.

කැළණිය

ප්‍රධාන ලිපිය: කැලණිය රජමහා විහාරය
 

බුදුරජාණන් වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ. වර්තමාන කැළණිය රජමහා විහාරය ලෝක ප්‍රසිද්ධ කලාත්මක චිත්‍ර‍යන්ගෙන් විසිතුරුය. ඉදිරිපසින් ගලා බස්නා කැළණි ගඟ විහාරස්ථානයෙහි ශෝභමානත්වය තවත් වැඩි කරයි.

ශ්‍රී පාදය

ප්‍රධාන ලිපිය: ශ්‍රී පාදස්ථානය

බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව දෙවියන්ගේ පාදය යැයි සලකා ශිවනඩිපාදම් යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකා පීකෝ ඇඩෑම් යයිද , ඉංග්‍රීසීහු ඇඩම් ස්පීක් යයිද හදුන්වනු ලබයි. කෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ‍සේක

දිවා ගුහාව

ප්‍රධාන ලිපිය: දිවා ගුහාව

සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටවනු සඳහා එහි වැඩම කළ අවස්ථාවේ දිවා කල ගත කළ ගුහාව දිවා ගුහාව නම් වේ. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

දීඝවාපී චෛත්‍යය

ප්‍රධාන ලිපිය: දීඝවාපී රජ මහා විහාරය

දීඝවාපිය හෙවත් දිගාවැව ගමෙහි කරවන ලද බැවින් දීඝවාපිය යැයි කියනු ලැබේ. බු: ව: 407 හෙවත් ක්‍රි:පූ: 137 රජ පැමිණි සද්ධාතිස්ස රජතුමන් විසින් සර්වඥධාතූන් නිධන් කොට මෙම චෛත්‍යය කරවන ලදි. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහිදී බුදුරජාණන්වහන්සේ මෙම ස්ථානයට වැ‍ඩම කළ මොහොතක් සමවත් සුවයෙන් ගතකල බව කියැවේ.

මුතියංගනය

ප්‍රධාන ලිපිය: මුතියංගන රජ මහා විහාරය

මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.

තිස්ස මහා විහාරය

ප්‍රධාන ලිපිය: තිස්සමහාරාම රජ මහා විහාරය
ප්‍රධාන ලිපිය: සේරුවාවිල මංගල රජ මහා විහාරය
 
 
ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේල නිධාන සේරුවාවිල මංගල මහා සෑය

බු: ව: 315 හෙවත් ක්‍රි: පු: 228 වැන්නෙහිදී පමණ මාගම්පුර රජ පැමිණි කාවන්තිස්ස රජු විසින් ඉදිකල හෙයින් තිස්සමහාරාමය යයි නම් විය.මෙය දකුණු පලාතේ වර්තමානයේ තිස්සමහාරාමය ලෙස හදුන්වන විහාරය වන බව සමහරු පිලිගන්නා අතර විද්වතුන්ගේ මතය නම් සොලොස්මස්ථාන වලින් 8 වන ස්ථානය වන්නේ ලලාඨ ධාතූන් වහන්සේ නිධාපිත සේරුවාවිල මංගල මහා සෑය වන බවයි.එය සේරුවාවිල මංගල රජ මහා විහාරයේ ඇති සෙල්ලිපයකින් ද ධාතු වංශයේ සේරුවාවිල විහාරය තිස්ස මහා විහාරය හෙවත් තිස්මහවෙහෙර ලෙස හදුන්වා තිබීමෙන් ද තහවුරු වේ.කෙසේ නමුත් දකුණු පළාතේ තිස්සමහාරාමය සහ සේරුවාවිල විහාරය යන උභය විහාරයන් සම්බුදු පා පහරින් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිම් ද්විත්වයම වන බවට විවාද නොමැත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ප්‍රධාන ලිපිය: ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර
 

දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මා‍ශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවානන්පිය තිස්ස රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.

මිරිසවැටි විහාරය

ප්‍රධාන ලිපිය: මිරිසවැටිය

බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි දුටුගැමුණු රජතුමාගේ කුන්තා‍යුධය නිධන් කර ඇත.'

රුවන්වැලි මහා සෑය

ප්‍රධාන ලිපිය: රුවන්වැලිසෑය
 

බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ.140 දී කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. එකල රියන් 120ක් ද, වර්තමානයේ දී අඩි 338 ක් ද, උසින් යුක්ත වන මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමාණය අඩි 942 ක් වේ. (මෙය පළමු පේසාවේ වටප්‍රමාණයයි.) කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් රත්නමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.

ථුපාරාමය

ප්‍රධාන ලිපිය: ථූපාරාමය

මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. බුදුන් වහන්සේගේ දකුණු අකු දාතුව නිධන් කර ඇත. අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත.

අභයගිරි චෛත්‍යය

ප්‍රධාන ලිපිය: අභයගිරිය

වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ.

ජේතවනාරාම චෛත්‍යය

ප්‍රධාන ලිපිය: ජේතවනාරාමය

බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සි‍ට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.

සේල චෛත්‍යය/ශෛල චෛත්‍යය

සිව් බුදුරජාණන් වහන්සේලාගෙන් කකුසඳ,කෝණාගමන,කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන තුල ලක්දිවට පළමුවෙන්ම වැඩි ස්ථානයෙහි මේ සෑය සාදා ඇත.මිහින්තලය මැද මලුවෙහි පිහිටා ඇති උසින් වැඩි ප්‍රමාණයකින් යුතු නොවන මේ සෑය සේල චෛත්‍යය ලෙස හදුන්වයි,මේ ස්ථානයට ගෞතම බුදුරජුන් තෙවනවර ලක්දිවට වැඩි මොහොතේ දී වැඩම කල බවට මූලාශ්‍ර සාක්ෂි දරයි.එසේම සේල සෑයට පසෙකින් පිහිටා ඇති චන්ද්‍කාන්ති පාෂාණය සහිත භූමිය මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලක්දිවට පළමුවෙන් පැමිණි ස්ථානය වන බවට ද මූලාශ්‍ර සාක්ෂි දරයි, එසේම:ක්‍රි.ව.8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත මිහින්තලා පව්වෙහි ගල මස්තකයේ සාදා ඇති සෑය;මිහින්තලා මහා සෑය ලෙස හදුන්වයි.

කතරගම කිරිවෙහෙර

ප්‍රධාන ලිපිය: කිරි වෙහෙර, කතරගම
 

මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ.කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.

ආශ්‍රිත

  • අටමස්ථාන
  • චේතිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක

  • අප්‍රේල් 04, 2026

    විලියම් ගොපල්ලව

  • මාර්තු 23, 2026

    නවකතාව

  • අප්‍රේල් 04, 2026

    ග්‍රීක දර්ශනවාදීන්

  • මාර්තු 31, 2026

    සිංහල මිණුම් ඒකක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට