අතීතයේ නකදිව නමින් හැඳින්වානු යාපනය අර්ධද්වීපය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අර්ධද්වීපයකි.


එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, යාපනය මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්‍රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. එහි භූගත ජලය භාවිතා වන්නේ පානීය, කෘෂිකාර්මීය සහ කර්මාන්තමය අවශ්‍යතාවයන් සඳහාය. වී ගොවිතැන සඳහා අහස් ජලය භාවිතා කෙරෙන අතර එසේ කෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැසි පවතින කාලයෙහි තෙමසක කාල පරිච්ඡේදයක් තුල පමණි. අභ්‍යන්තර ජල ප්‍රදේශ හා සමග මුළු භූමි ප්‍රමාණය 1,030 කිමී² වෙයි. භූමි භාගය බොහෝ ලෙසින් පැතලි සහ අඩු උස් බවකින් යුතු වන අතර තෙලිප්පලයි අවට වන බටහිර පෙදෙසෙහි මධ්‍යම ප්‍රදේශය පමණක් මුහුදු මට්ටමෙහි සිට මීටර 10.5 පමණ ඉහළ නැග සිටියි. . භූමිය එහි සිට දකුණු සහ ගිණිකොණ දෙසට සෙමෙන් බෑවුම් වන අතර උතුරු දිසාවට එක්වරම උස අඩුවීමක් පෙන්නුම් කරයි.
ඉතිහස
නාගදීපය
මහාවංශයට අනුවැ බුදුරදුනගේ දෙ වන ලංකාගමනය සිදුවූයේ නාගදීපයටයි. මෙහි නාගදීපය යනු වත්මන් නාගදීපය (නයිනතිවු) නම් දූපත පමණක් නොව සමස්ථ යාපන අර්ධද්වීපයම යැ යි සැලැකේ. සඟමිත් රහත් තෙරුණි වහන්සේ සිරි මා බෝ සමිඳුන්ගේ ශාඛාවක් රැගෙනැ ලක්දිවට වැඩම කෙරේ ද වත්මන් යාපන අර්ධද්වීපයේ පිහිටි දඹකොළ පටුනෙනි. දෙවනපෑ තිස් රජු (කිතු වසට පෙර 250-210) නාගදීපයේ ජම්බුකෝළ විහාරය, තිස්ස මහා විහාරය සහ පාචිනාරාමය නම් වෙහෙර තුන කැරැවූ බව ද මහාවංශයෙහි සැඳැහේ. සීහල අටුවා යුගයේ දී නාගදීපය සිංහල රජු යටතේ සිටි දීපරාජ නම් පාලකයෙකු යටතේ වියැ.
වල්ලිපුරම් තඹ සන්නසෙහි මහරජ වසභගේ (කිතු වසින් 67-111) රාජ්‍ය සෙමෙහි ඉසිගිරිය නම් ඇමැති නකදිව පාලනය කරන කල්හි පියගුකතිස නමැත්තේ බදකර-අතන නම් තන්හි වෙහෙරක් කැරැවූ හ යි සැඳැහේ. පැරණි සිංහලෙන් නකදිව යනු පාලි නාගදීපයට සමාන වන්නේ යැ යි ද නකදිව යනු නාගදීපය යන්නෙහි කොටසක් දෙමළකරණයට ලක්වීමක් යැ යි ද දෙ මතයෙකි.
පැරැණි දකුණු ඉන්දීය සිලප්පතිකාරම් සහ මනිමේකලෙයි යන දෙ විරු කවෙහි වත්මන් යාපන අර්ධද්වීපය “නාගයන්ගේ රට” යන අරුතැති නක නාඩු නමින් හැඳින්වී ඇත.කිතු වසින් 139ට අයත් ගරසි ලේඛක ක්ලවුදියස් ටොලමිගේ තැප්‍රොබානා සිතියමේ නාගදීපය සටහන් වැ ඇත්තේ "Nagadiba" ලෙසයි.
කාලිංගදේශ
මුදලියාර් රාසනායගම් (1926) හා සී. නාගලිංගම් (1974) හා ඔවුනගේ පත්‍රිකා පෙළෙහි යාපන අර්ධද්වීපය හා යාපන නගරය සඳහා පැරණි නම පිළිවෙලින් කාලිංගදේශ හෝ කාලිංගරට හා සිංගෙයිනගර් හෝ සිංහපුර ලෙස දක්වා ඇති. එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන්ට (1932: 214) අනුවැ ආර්ය-චක්‍රවර්තීන් සපුමල් කුමරු ( බුවනෙකබාහු VI) පැරැදැවීමෙන් මතු 15 වැනි සියවසේ මැද හරිය වතදු යාපනය හැඳින්වුණෙ සිංගෙයිනගර් ලෙසිනි. එය සිංහලෙන් සිංහපුර වේ.
යාපනය රාජධානිය
මෙය ද බලන්නැ: යාපනය රාජධානිය
කිතු වසින් 1215 දී, කාලිංග මාඝ රජරට ඇක්මීමෙන් පසු හේ තම අගනුවර යාපනයට ගෙනැ ගියේ යි. එය 1255 දී පමණ තම්බ්‍රලිංගයටත් 1277 දී පාණ්ඩයනටත් නතු වියැ. පාණ්ඩයෝ එහි පාලකයා ලෙස කුලසේකර සිංකෙයිආරියන් නම් තම ඇමැතිවරයා පත් කළ හ. හේ ආර්යචක්‍රවර්ති වංශයේ පළමුවා වී. නැවැත 1450 - 1467 දී කෝට්ටේ පාලනයට නතු වූ යාපන රාජධානිය පෘතුගීසීන් 1619 දී දෙවන සංකිලි ඝාතනය කිරීමත් සමග අවසන් වියැ.
2004 ඉන්දු සයුරු සුනාමිය
වෙසෙසින් මැ 2004 ඉන්දු සයුරු බිම් සැලුමෙන් වූ සුනාමිය අඩදිවෙහි උතුරු හා නැඟෙනහිරි හා වෙරළ තීරයනට දැඩි සේ බලපෑ. තොණ්ඩෙයිමනාරුවේ සිටැ තුම්පලේ දක්වා උතුරු වෙරළ තීරයේ හා වල්ලිපුරමේ සිටැ කුඩ්ඩරප්පුව දක්වා නැඟෙනහිරි වෙරළ තීරයේ හා ගම් මේට ඇතුළති. නැඟෙනහිරි වෙරළ තීරයේ හානිය උතුරු වෙරළ තීරයට වඩා වැඩි වියැ. අඩදිවෙහි ධීවර කමට දැඩි බලපෑමක් එල්ල වී. නන් අංශවලට වූ හානි අනුමැනීම නිමා නැති.
සටහන
- a.^ 'දීපරාජ' යන්නෙහි ‘දූපත් රජු’ මෙන් ම ‘ප්‍රදේශ රජු’ යන අරුත ද ගැබ් වෙයි. එ සේ මැ මිනින්තලෙන් හා දිඹුලාගලින් හා ලැබුණු සෙල්ලිපි දෙකක ද 'දීපරාජ' යන තනතුරු නාමය යෙදී තිබේ.