සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන, හා/හෝ වෙනත් උප පරමාණුක අංශු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත්

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව

පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන, හා/හෝ වෙනත් උප පරමාණුක අංශු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් බිහි කිරීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නම් වේ. මෙහිදී ප්‍රතික්‍රියාවට සහභාගි වන පරමාණුක (උත්ප්‍රේරක නොවන) න්‍යෂ්ටි වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමකට ලක් වේ. මෙම ක්‍රියාවලිය පරමාණුවල ඉලේක්ට්‍රෝන වින්‍යාසය පමණක් වෙනසට ලක් කැරෙන රසායනික ප්‍රතික්‍රියා වලින් වෙනස් ය.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී අංශු මැවීම හෝ විනාශ වීම (හෝ දෙක ම) සිදු විය හැකි ය. ඒ අනුව ප්‍රතික්‍රියක සහ ඵල අතර ස්කන්ධ වෙනසක් ඇති වේ. එම ස්කන්ධ වෙනස අනුව න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් ශක්තිය මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය. ප්‍රතික්‍රියක වල ස්කන්ධය වඩා වැඩි නම් ශක්තිය මුක්ත වීම ද, නැත හොත් ශක්තිය අවශෝෂණය වීම ද සිදු විය හැකි ය. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්ති ප්‍රමාණ රසායනික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්තියට වඩා බෙහෙවින් විශාල වේ.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකකට ගොනු කළ හැකි ය:

  1. න්‍යෂ්ටික විඛණ්ඩනය
  2. න්‍යෂ්ටික විලයනය

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවනට උදාහරණ

  • තාරකා මධ්‍යයේ සිදුවන විලයන ප්‍රතික්‍රියා: මෙහිදී ප්‍රධාන වශයෙන් අධික චාලක ශක්තීන් සහිත කුඩා න්‍යෂ්ටි දෙකක් (උදා: හයිඩ්‍රජන්) හෝ කීපයක් එකතු වී වඩා බර න්‍යෂ්ටි සාදයි.
  • විඛණ්ඩන බෝම්බ/න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරක: මේවායේදී අධික චාලක ශක්ති සහිත නියුට්‍රෝනවලින්, යුරේනියම්/ප්ලූටෝනියම් වැනි න්‍යෂ්ටි වලට පහර දී එම න්‍යෂ්ටි බිඳ හෙලනු ලැබෙයි.
  • අන්තරීක්ෂ කිරණ නිසා වායුගෝලයේ සිදුවන ප්‍රතික්‍රියා: අන්තරීක්ෂ කිරණ යනු අධික චාලක ශක්තියක් සහිතව අභ්‍යාවකාශයේ සිට වා‍යුගෝලයට ඇතුලු වන උප-පරමාණුක අංශූන් ය. මේවා වායුගෝලීය ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් (කාබන් ඩයොක්සයිඩ් වැනි වායු ලෙස පවතී) වැනි මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කොට සමීප පරමාණුක ක්‍රමාංක සහිත වෙනත් මූලද්‍රව්‍ය සාදයි.
ඉහළට