සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව වෙන්කෙරෙන පටු සමුද්‍ර තීරය නැතහොත් පෝක් සමුද්‍ර සන්ධිය හා මන්නාරම් බොක්ක අතර නොගැඹුරු මුහුදු තීරය ගැඹුරුකර නැව් ගමනාගමනය සඳහා නවතම මුහුද

සේතු සමුද්‍රම්

  • මුල් පිටුව
  • සේතු සමුද්‍රම්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව වෙන්කෙරෙන පටු සමුද්‍ර තීරය නැතහොත් පෝක් සමුද්‍ර සන්ධිය හා මන්නාරම් බොක්ක අතර නොගැඹුරු මුහුදු තීරය ගැඹුරුකර නැව් ගමනාගමනය සඳහා නවතම මුහුදු ඇල මාර්ග ව්‍යාපෘතියක් ඉන්දීය රජය විසින් හදුන්වා දී ඇත. එය නමින් සේතු සමුද්‍රම් නම් වේ.සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය 2005-ජුනි 02 දින ඉන්දියා අගමැති මන්මෝහන් සිං මහතා විසින් ආරම්භ කරන ලදි. මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය අතර නොගැඹුරු මුහුද ගැඹුරු කර මුහුදු ඇල මාර්ගයක් තැනීමට ප්‍රථමයෙන්ම 1860 දී බ්‍රිතාන්‍යය නාවික නිලධාරියකු වු ඒ.ඩී. ටේලර් විසින් යෝජනා කිරීමට ඉදිරිපත් කරන ලදි. නමුත් එය සනාථ කර ගැනීම සඳහා පරිසරවේදීන් සහ ඇතැම් විද්‍යාඥයන් ඉඩ ලබා නොදෙන ලදි. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුවිය. ඒ අනුව බලන කල තහවුරු වන්නක් නම් මෙය මෑත කාලයේ ඇතිවු සංකල්පයක් නොවන බවයි.

අගමැති මන්මෝහන් සිං මහතා ව්‍යාපෘතිය අරඹමින්

පටුන

ව්‍යාපෘති විස්තරය

විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමුවූයේ කරුණු කීපයක්ම මූලික වූ බැවිනි.එනම්,ඉන්දියාව හා වෙනත් රටවල නැව්වලට ඉන්දියාවේබටහිර දිගවරායවල සිට නැගෙනහිර වරායවලටත්,නැගෙනහිර සිට බටහිර දිග වරායවලට යාත්‍රා කිරීමට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාව වටාය.ඒ නිසා වැඩි දුරක්,කාලයක් සහ මුදලක් වැයවේ.නමුත් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නිසා එම දුර,කාලය හා මුදල් විශාල වශයෙන් ඉතිරි කර ගත හැකි බව ඉන්දීය රජය තරයේ විශ්වාස කරයි.සේතු සමුද්‍රම් මුහුදු මාර්ගයේ දුරකිලෝමීටර් 167 ක් සහ පළලමීටර් 30 ක් වන අතර එහි ගැඹුර මීටර් 12 කි.මෙහිදී කිලෝමීටර් 780 ක් වන මුළු දුර ප්‍රමාණයේම මුහුද ගැඹුරු නොකරන අතර ගැඹුරු කරනුයේ කොටස් 2 කි.එනම් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන්වන ආදම්ගේ පාලම නමින් හැදින්වෙන වාරකන් කාලයට ජලයෙන් යටවන ගල් හා වැලි කඳු සහිත ප්‍රදේශය හරහා එක් ඇලක් ද,පෝක් සමුද්‍ර සන්ධියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශය හරහා තවත් ඇලක් ද තැනීමට කටයුතු යොදා ඇත.මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනුයේ ඉන්දියාවට අයත් මුහුදු ප්‍රදේශය තුළ වන අතර,ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය ලබා දෙනුයේ විදේශ රටවල් නොව ඉන්දීය රජයේ ආයතන පමණක් වීම විශේෂත්‍වයකි.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සේතු සමුද්‍රම් සංස්ථාව නමින් ආයතනයක් ද පිහිටුවා ගෙන ඇත.එය තූත්තුකුඩි වරාය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වේ.මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියා රුපියල් කෝටි 2427 ක් පමණ වැයවන බව ඉන්දීයා රජය ප්‍රකාශ කර සිටී.සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන 2008 වර්ෂය තුළම මෙම ඇල මාර්ගය හරහා නැව් 3050 ක් පමණ යාත්‍රා කරනු ඇතැයි ඉන්දීය රජයේ අපේක්‍ෂාව වී ඇත.

ව්‍යාපෘතියේ වාසි

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ ඇල මාර්ගයට යාබද ප්‍රදේශයන්හි නැව් ගමනාගමනයට හා ජලජ සම්පත් වලට අදාලව වෙරළබඩ යාත්‍රා කටයුතු, ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත වෙනත් සුළු හා මධ්‍යම ප්‍රමාණ යනාදී සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වීමත්, ඒ හරහා නව රැකියා උත්පාදනය වීමත් නවවෙළඳපොල බිහිවීමත් අනිවාර්යයෙන්ම සිදුවන බව ඉන්දීය රජයේ මතයයි.ඉන්දියාවට පමණක් නොව මෙම ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවට ද වාසි රැසක් අත්වේ.එනම්,කොළඹ වරායේ සිට ශ්‍රී ලංකාවට ඊසාන දිශාවට වන්නට පිහිටා ඇති ඉන්දියාව,බංග්ලාදේශය,බුරුමය යනාදී රටවල වරායවලට යාත්‍රා කිරීමට ගතවන දුර ප්‍රමාණය අඩු කර ගත හැකිය.ඒ තුලින් ඉන්ධන මිල,විදේශ විනිමය,කාලය ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.අද වන විට කොළඹින් නැගෙනහිරට වන්නට ඇති විශාලතම ප්‍රති අපනයන නැව්තොට සිංගප්පුරුවයි.නව මුහුදු ඇල මාර්ගය ක්‍රියාත්මක වීමත් සමග කොළඹ වරායට ප්‍රති අපනයන නැව්තොටක් ලෙස සිංගප්පූරුවට හොඳ තරඟයක් ලබා දීමට හැකියාව උදා වේ.කොළඹ වරායේ සිට ඉන්දියාවේ නැගෙනහිර දිග පිහිටි චෙන්නයි විශාකා පට්ටනම් කල්කටා වැනි නැව් තොටවලට කෙටි කලකින් කෙටි දුරකින් අඩු වියදමකින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ලැබීම දැනට හොඳ දියුණුවක් ලබමින් ඇති ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාප වැඩිපිළිවෙල තවත් වර්ධනය කිරීමට හේතු වේ.මේ අනුව බලන කල සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාවට ද වාසිදායී ව්‍යාපෘතියක් වන බව ඇතැම් ඉන්දියා වාණිජ විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති.

ව්‍යාපෘතියේ අවාසි

 

ඇතැම් විද්‍යාඥයන් මෙම ව්‍යාපෘතිය දෙරටටම වාසිදායක වන බව පුන පුනා ප්‍රකාශ කළ ද,බොහෝ අයගේ දැඩි විරෝධය මෙම ව්‍යාපෘතිය කෙරෙහි එල්ල විය.විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතියට දැඩි විරුද්ධත්‍වයක් ප්‍රකාශ කර සිටිනුයේ පරිසරවේදීන් යැයි කීම නිවැරදිය.මන්දයත්,මෙම ව්‍යාපෘතිය නිසා තාවකාලික වාසි අත් වුවද දිගුකාලීනව පාරිසරික වශයෙන් හානි සිදුවන හෙයිනි.මෙම ව්‍යාපෘතිය නිසා සිදුවන හානිය කෙතරම්ද?යත් අනාගතයේ දී එහි අනිසි ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ජනතාවටම මුහුණ දීමට සිදුවන බව ඇතැම් විද්‍යාඥයන් සහ පරිසරවේදීන් ප්‍රකාශ කර සිටී.පරිසරවේදීන් ප්‍රකාශ කර සිටිනුයේ මෙම ව්‍යාපෘතිය නිසා සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වන බවයි.එනම්, හක් බෙල්ලන්, මුතු බෙල්ලන්, කැකිරි ඉස්සන්, පොකිරිස්සන් ආදී සත්‍ව කොටස් වඳ වී යාමේ තර්ජනයකට ලක්විය හැකි බවයි. එපමණක් නොව සේතු සමුද්‍රම් ඇල මාර්ගය තැනෙන මුහුදු ප්‍රදේශයේ වසන මත්ස්‍ය වර්ග ඇතුළු විවිධ සමුද්‍ර ජීවීන්ගේ බෝවීම, කොරල්පරවල පැවැත්ම සහ කඩොලාන පද්ධතියේ වැඩීම ‍කෙරෙහි මුහුද ගැඹුරු කිරීම සහ ඇල මාර්ගය ඔස්සේ නැව් යාත්‍රා කිරීම නිසා අහිතකර බලපෑම් ඇතිවන බවට ද විද්‍යාඥයෝ තර්ක කරති.


එපමණක් නොව මෙම පටු මුහුදු තීරය හරහා නැව් ගමන් කිරීමට සකස් කිරීම සදහා වැලි ඝන මීටර මිලියන 82 ක් පමණ ඉවත් කල යුතුය.එමෙන්ම විශාල මුදලක් වැය කර තනන මෙම ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවට මුහුදු සුළං බලපෑම, මුහුදු ඛාදන ලවණතාවය වැඩිවීම, පරිසර දූෂණය යනා දී විවිධාකාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ.ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ සිටින ලක්‍ෂ 6 ක් පමණ ධීවරයෝ මේ සදහා සිය විරෝ ධය ප්‍රකාශ කර සිටිති.මන්දයත්, ජෛව විවිධත්‍වය අනුව පෝක් සමුද්‍ර සන්ධිය ඉතාමත් වැදගත් වන අතර මුහුදු තීරයේ ආරක්‍ෂාවට වැලි තීරය ඉතාමත් වැදගත්ය.එමෙන්ම එය ගැඹුරු කරමින් තෙල් නැව් ගමන් කිරීම නිසා ජෛවී විවිධත්‍වයට හානි සිදුවේ.ඒ නිසා එය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවර කර්මාන්තයට විශාල වහයෙන් බලපෑම් ඇතිකල හැකිය.


අනෙක් අතට බලන කල නැවත සුනාමිැමිණියහොත් ඒ සමග එන අවසාධිත ද්‍රව්‍ය වෙරළෙහි තැන්පත් වේ.එය ‍බොහෝවිට යාපනය සිට කොළඹ දක්වාම පැතිරයාමෙන් නොයෙකුත් බාධාවන්ට මුහුණ දීමට සිදුවේ.එමෙන්ම අවු:3-4 කට වරක් පැමිණෙන මුහුදු කුණාටු නිසා ඒවායේ අදාලත්‍වයක් නොමැතිවම ගොඩබිමට පැමිණීම නිසා අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවේ.


ශ්‍රී ලංකාව මේ සදහා විරුද්ධ වීමට තවත් කාරණා ගෙනහැරපායි.එනම්, යාපන අර්ධද්වීපය ද ඒ අවට ඇති කයිට්ස්, ඩෙල්ෆ්ට්නාගදීප, පුන්කුඩුතිව් වැනි දූපත් සෑදී ඇත්තේ දැනට වසර විසිපන්ලක්‍ෂයකට පමණ ඉහත දී පැවති මයෝසීන යුගයේ පැවති හුණුගල් වලින් නිසා භු විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටිනුයේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නිසා (ඇල මාර්ග තැනීමේ දී හා ඇල මාර්ගයේ නැව් යාත්‍රා කරවීමේදී නැගෙන රළ පහර ) එම දූපත්වල පස්තට්ටු ඛාදනය වීම සිදුවිය හැකි බවයි.මෙලෙස දෙරටෙහිම විරෝධතා මධ්‍යයේ ඇතැම් අයගේ කැමැත්ත පරිදි ඉන්දීය රජය සිය ව්‍යාපෘතිය අඛණඩව කරගෙනයයි.නමුත් ඇල මාර්ගයට එරෙහිව උද්ඝෝෂණ දෙරටෙහි තවමත් සිදුවේ.

 
ව්‍යාපෘතියට ඉන්දීය ජනතාව විරෝධය පාමින්

ඇතැම් විද්‍යාඥයන් හා පරිසරවේදීන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය යනු අධ්‍යයනයෙන් තොර වූ භයානක ව්‍යාපෘතියක් ලෙස හදුන්වා දෙත් දී ඉන්දීය රජය ප්‍රකාශ කරනුයේ වෙනස්ම කතාවකි. එනම්, ඇලමාර්ගයේ කැණීම් කටයුතු කිරීමට ප්‍රථම ඉන්දියාවේ ජාතික පාරිසරික ඉංජිනේරු පර්යේෂණ ආයතනය අවශ්‍ය පාරිසරික අධ්‍යයන කටයුතු සිදුකල බවයි.ඉන්දීය රජය ඇල මාර්ග තැනීම හා පවත්වාගෙන යාර සිදුකරනුයේ එම අධ්‍යයන නිර්දේශ වලට අනුව බව ප්‍රකාශ කර සිටී.එපමණක් නොව ඇල මාර්ගය සමුද්‍ර ජීවීන් බෝවීමේ ප්‍රදේශයෙන් කිලෝමීටර් 20 ක් ඈතින් පිහිටා තිබීම නිසා මත්ස්‍ය සම්පතට, කොරල්පර හා කඩොලාන පද්ධතියට හානි සිදුනොවන බව ඉන්දීය රජය ප්‍රකාශ කර සිටී.


සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට අදාල තාක්‍ෂණික සහ අනෙකුත් සියලු තොරතුරු ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග නිරතුරුවම හුවමාරු කර ගනී. ඒ සදහා නිදසුන් වශයෙන් 2004 සහ 2005 වර්ෂ වලදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිතුමිය වන චන්‍ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය ඉන්දීය සංචාරයේ යෙදුන අවස්ථාවේදී ද මෙම ව්‍යාපෘතියට අදාලව ක්‍රියාත්මක වන තොරතුරු දෙරට තාක්‍ෂණ විද්‍යාඥයන් අතර හුවමාරු කර ගැනීමට එකග වී ඇත.ඉන්දියා විදේශ ඇමති නත්චර් සිං ශ්‍රී ලංකා සංචාරයේදී ත් ශ්‍රී ලංකා හිටපු විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

නොගැඹුරු මුහුදු හෝ පටු බිම් තීරු හාරා ඉදිකර ඇති තවත් මුහුදු ඇල මාර්ග කීපයක්ම ලෝකයේ පවතී.ඒ අතර මධ්‍යධරණී මුහුදත්,රතු මුහුදත් යා කෙරෙන සූවස් ඇල මාර්ගය ඒ අතර ප්‍රධාන වේ. සූවස් ඇල තැනීමට ප්‍රථම යුරෝපයේ සිට පෙරදිගට හා ඕස්ට්‍රේලියාවට නැව් යාත්‍රා කලේ අප්‍රිකාව හරහාය. පැනමා පටු බිම් තීරුව හරහා පැනමා ඇල ද, උතුරු මුහුදත් බෝල්ටික් මුහුද එක්කර උතුරු ජර්මනියේ කීල් ඇල ද තනා ඇත.


සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය සදහා විරුද්ධ වීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ට නොහැකි වී ඇත. මන්දයත් මේ ගැන ඔප්පු කරගත හැකි සාධක නොමැති බැවිනි. එහෙයින් සේතු සමුද්‍රම් යනු ඉහත සඳහන් කර ඇති පරිදි ලොව ඉදිකර ඇති අනෙකුත් මුහුදු ඇලවල් අතර තවෙකක් ද? නැතහොත් පරිසරවේදීන් ප්‍රකාශ කරන පරිදි අධ්‍යයනයෙන් තොර වු භයානක ව්‍යාපෘතියක් ද?යන්න කාලයා විසින් තීරණය කරනු ඇත.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

උපුටා ගැනීම

  • නවයුගය, 2005ඔක්තෝම්බර් 2 වන කලාපය, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම,ඩී ආර් විජේවර්ධන මාවත, කොළඹ.
  • විදුසෙවණ අතිරේකය, ලංකාදීප ,2005 ජූලි 14, ලේක්හවුස් ,කොළඹ 10.

මේ අඩවිත් බලන්න

  • කොරල් පර
  • ජෛව විවිධත්වය

අඩවියෙන් පි‍ටත පිටු

  • ලංකා ඉරිදා සංග්‍රහය(2008/03/23)[permanent dead link]
  • ලංකා ඉරිදා සංග්‍රහය(2008/03/23) සංරක්ෂණය කළ පිටපත 2008-05-03 at the Wayback Machine
  • ඉන්දියාව කළඹන හනුමාගේ පාළම[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    Terminalia arjuna

  • අප්‍රේල් 03, 2026

    Terminologia Anatomica

  • අප්‍රේල් 09, 2026

    දැයට කිරුළ

  • අප්‍රේල් 05, 2026

    Time zone

  • අප්‍රේල් 05, 2026

    සිදත් සඟරාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට