| බාජිරාඕ මස්තානි | |
|---|---|
![]() නාට්‍යමය නිකුතු පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | සංජේ ලීලා භන්සාලි |
| රචනය | ප්‍රකාශ් ආර්. කපාඩියා (දෙබස්) |
| තිර රචනය | ප්‍රකාශ් ආර්. කපාඩියා අතිරේක තිර රචනය:- සංජේ ලීලා භන්සාලි |
| නිශ්පාදනය |
|
| රංගන ශිල්පීන් |
|
| කථනය | ඉර්ෆාන් ඛාන් |
| සිනෙමාරූපණය | සුදීප් චැටර්ජී |
| සංස්කරණය | රාජේශ් ජී. පාණ්ඩේ |
| සංගීතය |
|
නිෂ්පාදන සමාගම | භන්සාලි ප්‍රොඩක්ෂන්ස් |
| බෙදාහැරීම | ඊරෝස් ඉන්ටර්නැෂනල් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 158 |
| රට | ඉන්දියාව |
| භාෂා | හින්දි, මරාඨි |
| පිරිවැය | |
| ආදායම | ඇස්ත. |
බාජිරාඕ මස්තානි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී තිරගත වූ ඉන්දියානු වීර කථා ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙහි අධ්‍යක්ෂකවරයා වන සංජේ ලීලා භන්සාලි විසින්ම, චිත්‍රපටයේ ගීත නිර්මාණය ද සිදුකරන ලදී. මෙය භන්සාලි සහ ඊරෝස් ඉන්ටර්නැෂනල් සමාගම්වල හවුල් නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටයේ රන්වීර් සිං විසින් Iවන බාජිරාඕගේ චරිතයත්, දීපිකා පදුකෝන් විසින් මස්තානිගේ චරිතයත්, ප්‍රියංකා චොප්රා විසින් බාජිරාඕගේ පළමු බිරිය වන කාෂිබායිගේ චරිතයත් නිරූපණය කරයි. මෙහි සහාය චරිත නිරූපණය කරන්නේ තාන්වි අස්මි, වෛභාව් තත්වාව්දි සහ මිලින්ද් සෝමන් විසිනි. නාග්නාත් එස්. ඉනාම්දාර්ගේ මරාඨි නවකථාවක් වන රාවු පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මගින් මරාඨ පේෂ්වා බාජිරාඕ (ක්‍රි.ව. 1700-1740) සහ ඔහුගේ දෙවන බිසව වූ මස්තානිගේ කථා පුවත නිරූපණය වේ.
හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයෙන් පසුව භන්සාලිහට මෙම චිත්‍රපට නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත්, එය ගොඩනගා ගැනීමට වර්ෂ 15ක් ගත විය. කෙසේනමුත්, කිහිප වරක්ම, මෙහි නිෂ්පාදන කටයුතු ප්‍රමාද කෙරුණේ මෙහි නළුවරණ කටයුතු වෙනස් කිරීමට සිදුවූ නිසායි. ප්‍රධාන චරිතවල නිරූපණය සමාලෝචනය කර අවසන් වීමෙන් පසු 2014 මැද ප්‍රධාන ඡායාරූපකරණ කටයුතු ඇරඹිණි. 2015 දෙසැම්බර් 18 දින චිත්‍රපටය මුදාහැරිණි. මෙය විචාරකයන් වෙතින් ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, අධ්‍යක්ෂණය, සිනෙමාරූපණය, නිෂ්පාදන සැලසුම, වස්ත්‍ර, සංගීතය මෙන්ම චොප්රා සහ සිංගේ රංගන ප්‍රතිභාව ද විචාරකයින්ගේ පැසසුමට ලක් විය.
මෙම චිත්‍රපටය ප්‍රවේශපත් කාර්යාලවල ඉන්දියානු රුපියල් කෝටි 350ක ආදායමක් හිමි කරගැනීමට සමත් වූයේඉහළම ආදායම් ලබන ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් ලෙස ආර්ථික සාර්ථකත්වයක් ලබාගනිමිනි. ඉන්දියාව පුරා විවිධ සම්මාන උළෙලවල්හි දී මෙම චිත්‍රපටය සම්මාන ගණනාවක් හිමිකරගත්තේ ය. 63වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී, බාජිරාඕ මස්තානි සම්මාන හතක් හිමි කරගත් අතර, මේ අතරට හොඳම අධ්‍යක්ෂණය සහ අස්මි හට හිමි වූ හොඳම සහාය නිළියට හිමි සම්මාන ද වේ. ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙල තුළ 2016 ඉන්දියානු පරිදර්ශන අංශයෙන් මෙම චිත්‍රපටය ඉදිරිපත් කෙරිණි.61වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන දාහතරක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය, සම්මාන නවයක් හිමිකරගත්තේ ය. මේ අතරට හොඳම චිත්‍රපටය, භන්සාලිට හිමිවූ හොඳම අධ්‍යක්ෂක සම්මානය, සිං හට හිමි වූ හොඳම නළුවා සම්මානය සහ චොප්රා විසින් හිමි කරගත් හොඳම සහාය නිළි සම්මානය ද ඇතුළත් වේ.
කථාපුවත
මුල්කාලීන 18වන සියවසේ, මරාඨ රාජ මාලිගයේ මරාඨ ඡත්‍රපති ෂාහු (මහේෂ් මන්ජ්රේකර්) හට නව පේෂ්වාවරයකු පත් කරගැනීමට අවශ්‍ය වේ. මෙම ධුරය වර්තමාන අගමැති පදවියකට සමාන ය. මේ සඳහා ශ්රීපාද් රාඕ (ආදිත්‍ය පන්චෝලි) විසින් පන්ත් ප්‍රතිනිධි යෝජනා කළ ද, අම්බාජි පන්ත් (මිලින්ද් සෝමන්) විසින් තෝරාගනු ලබන්නේ තරුණ බාජිරාඕ (රන්වීර් සිං) ව ය. ඔහුගේ අධ්‍යාත්මික ඥානය සහ අවි ආයුධ භාවිතයේ සමත්කම් විමසා බැලීම සඳහා ශ්රීපාද් බාජිරාඕහට මොනර පිහාටුවක් හීයෙන් විද දෙපළු කරන ලෙස පවසයි. ඉන් සමත් වන බාජිරාඕහට ශ්රීමන්ත් පේෂ්වා ධුරය පිරිනැමේ. වසර දහයකට පසුව, ඔහුගේ භාර්යාව වන කාෂිබායි (ප්‍රියංකා චොප්රා) හට ඇගේ වැන්දඹු මිතුරියක වන භානු (ස්නේහලතා ගිරිෂ් වසයිකාර්) මුණගැසේ. භානුගේ සැමියා චර පුරුෂ සේවයේ යෙදී හසුවීම හේතුවෙන් බාජිරාඕ විසින් මරණදඬුවම පනවා තිබිණි. මේ අයුරින් තමන් ද සිය සැමියා වෙනුවෙන් බලා සිටි බව ඇය කාෂි හට පවසන්නේ ශෝකයෙන් යුතුව ය.
සිරොන්ජා වෙත ගමන් කරන අතරතුර බුන්දෙල්ඛාන්ද්හි දූතයකු බාජිරාඕගේ කූඩාරම තුළට පැමිණ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වීමට සහාය ඉල්ලා සිටියි. අනාවරණය වන්නේ එම දූතයා අන් කවරකුත් නොව හින්දු රාජ්පුත් රජ ඡත්රසාල්ගේත් (බෙන්ජමින් ගිලානි) සහ ඔහුගේ මුස්ලිම් ඉන්දියානු බිසව වූ රුහානි බායිගේත් දියණිය වන මස්තානි (දීපිකා පදුකෝන්) බවයි. ඇගේ රණකාමී දක්ෂතා දැක විමතියට පත්වන බාජිරාඕ ඇයට සහාය වී ආක්‍රමණිකයන් පරාජය කරයි. මින් ප්‍රීතියට පත්වන ඡත්රසාල් බාජිරාඕහට තමන් සමග හෝලි උත්සවය ගතකරන මෙන් ආරාධනා කරයි. බාජිරාඕ සහ මස්තානි ප්‍රේමයෙන් බැඳෙන අතර, ඔහු සිය කිණිස්ස ඇයට ත්‍යාග කරන්නේ බුන්දෙල්ඛාන්ද් රාජ්පුත්වරුන්ගේ විවාහ චාරිත්‍රයක් ලෙසයි. ඔහු මඳ කලෙකින් පූනේ වෙත පිටත්ව යන අතර, එහි දී කාෂි ඔහුට සුබ පතමින් අලුතෙන් ඉදිකළ ෂානිවාර් වාදා මාලිගය පෙන්වයි. එසේම ඇගේ කුටියේ සිටම ඔහුව නැරඹිය හැකි ආයිනා මහල් (කැඩපත් මැඳුර) ද ඔහුට පෙන්වයි.
සිය ප්‍රේමය ජය ගැනීම පිණිස මස්තානි පූනේ වෙත යයි. එහි දී බාජිරාඕගේ මෑණියන් වන රාධාබායි (තාන්වි අස්මි) ඇයට රළු අයුරින් සලකන අතර, ඇයට නවාතැන් ගැනීමට අවසර දෙන්නේ නගර ශෝභිනියන්ගේමාලිගයක ය. මෙම අපවාදය ඉවසා සිටිමින් ඇය පාරවා උළෙලේ දී බාජිරාඕ ඉදිරියේ නර්තනයක් ඉදිරිපත් කරයි. ඇයට නිග්‍රහ කරමින් රාධාබායි මස්තානිට රාජකීය නාට්‍යාංගනා පදවියක් පිරිනමයි. නමුත් ඇයව සිය ලේලිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. මස්තානි රජු වෙත ගමන් කරන අතර, බාජිරාඕ සමග සිටීමට තමන්ට ඇති ආශාව පවසයි. කුණාටුවක් මධ්‍යයේ ගංගාව තරණය කරන බාජිරාඕ ඇයගේ පැමිණීම පිළිබඳ දෝෂාරෝපණය කරයි. තමන් මේ වනවිටත් විවාහක බැවින්, ඇය තමන් සමග පැමිණියහොත් ඔහුගේ මාලිගය ඇයට කිසිදින ගරු නොකරනු ඇති බව ඔහු පවසයි. ඔහුගේ අනතුරු ඇඟවීම මධ්‍යයේ ඇය එකඟ වන අතර, ඔහු ඇය සිය දෙවන භාර්යාව ලෙස නිවේදනය කරයි.
බාජිරාඕ ඩෙකෑනයේ නිසාම් (රාසා මුරාද්) සමග සටන් වැදීමට පිටව යන අතර, එහිදී ජයගෙන යළි පැමිණීමට සමත් වේ. ආයිනා මහල්හි බාජිරාඕ වෙනුවෙන් බලාසිටින ගර්භනී කාෂිබායි බාජිරාඕ විසින් මස්තානිවල සිපගනු දකියි. ඇගේ සිය මවගේ නිවස වෙත යයි. මාස කිහිපයකට පසු, සිය අලුත උපන් පුත්‍රයා සමග ඇය යළි පැමිණෙන අතර, උත්සවාකාරයෙන් ඔහුට රඝුනාත් යන නාමය තැබේ. මස්තානි ද පුත්‍රයකු බිහි කරන අතර බාජිරාඕ සහ මස්තානි එක්ව ඔහුට ක්‍රිෂ්ණා රාඕ යන නාමය ලබා දෙයි. නමුත් ප්‍රධාන බ්‍රාහ්මණ පූජක ක්රිෂ්ණාජි භාට් එම දරුවාගේ නාමකරණය (හින්දු නම් තැබීමේ උළෙල) ප්‍රතික්ෂේප කරන්නේ එම දරුවා නීත්‍යානුකූල නොවන බව පවසමිනි. මේ නිසා බාජිරාඕ ඔහුව ෂාම්ෂෙර් බහදූර් ලෙස නම්කරයි. වසර කිහිපයකට පසු, කාෂි සහ බාජිරාඕගේ වැඩිමහල් පුත්‍රයා වන බාලාජි බාජි රාඕ (හෙවත් නානා සහේබ්; නිරූපණය ආයුෂ් ටන්ඩන් විසිනි) සතාරා සිට පැමිණෙයි. සිය මෑණියන්ගේ විවාහය කඩාකප්පල් කිරීම පිළිබඳ මස්තානි කෙරෙහි ඔහු තුළ ඇත්තේ වෛරයකි.
උත්සවයක දී මස්තානි සහ ඇගේ පුත්‍රයා මරාදැමීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ කාෂිබායිහට දැනගන්නට ලැබෙන්නේ ශිවා භාට් නැමැති බ්‍රාහ්මණ පූජකයාගෙනි. අකමැත්තෙන් වුවත්, කාෂිබායි මෙම පුවත බාජිරාඕහට පවසයි. බාජිරාඕ ඔවුන් දෙදෙනා මරණයෙන් බේරා ගනියි. ක්රිෂ්ණාජි භාට් විසින් ශිවා භාට්ව මරාදැමීම බාජිරාඕගේ කෝපයට හේතු වේ. මස්තානිගේ ආරක්ෂාවට ඇයට රාජකීය වාසස්ථානයක් සැපයීමේ අරමුණින් බාජිරාඕ මස්තානි මහල් නම් මන්දරිය ඉදිකරයි. කෙසේනමුත්, රාධාබායි සහ චිමාජි අප්පාගේ ද්රෝහීභාවය හේතුවෙන් බාජිරාඕ කලකිරීමට පත්ව සිටියි. නිසාම්ගේ එදිරිවාදී පුත්‍රයා වන නසීර් පරාජය කළ යුතු බවට පන්ත්ගෙන් බාජිරාඕට සෙංදේශයක් ලැබේ. තමන් මස්තානිට පෙම්කළ ද, සිය දිවිය සහ රාජපක්ෂිකභාවය වෙනුවෙන් සටනට යාමට බාජිරාඕ තීරණය කරයි. යුධබිමට පිත්ව යාමට පෙර සැමියාට බිරිඳ විසින් සමුදීමේ සම්ප්රදාය අනුව බාජිරාඕ කාෂි මුණගැසෙයි. ඔහු තමන්ගේ හද තුවාල කළ බව පවසන කාෂි සිය ප්‍රේමය ක්‍රිෂ්ණා සහ රුක්මිණීගේ ප්රේමකථාවට සමාන බව පවසයි. ශෝකයෙන් යුතුව ඇය, කිසිදින සිය කුටියට ඇතුළු නොවන ලෙස ඔහුට නියෝග කරයි. කඳුළු පිරි දෑසින් යුතුව එය පිළිගන්නා බාජිරාඕ පිටව යයි.
බාජිරාඕ සටනට පිටත්ව ගිය පසු, රාධාබායි සහ නානා සහේබ් එක්වී මස්තානි සහ ඇගේ පුත් ෂාම්ෂෙර් බහදූර්ව සිරගත කරති.
බාජිරාඕ තනිව නසීර් පරාජය කිරීමෙන් පසුව, මෙම කුමන්ත්‍රණය පිළිබඳ ඔහුට අසන්නට ලැබෙයි. තුවාල වී සිටින ඔහු සිහිවිසඥව ඇද වැටෙයි. මරණමංචකයේ සිටින ඔහුව දැක, කාෂි රාධාබායිගෙන් අයැද සිටින්නේ මස්තානිව මුදාහරින ලෙසයි. එවිට බාජිරාඕ සුවවනු ඇතැයි ඇය විශ්වාස කළා ය. නමුත් ඇගේ වෑයම අසාර්ථක වන්නේ එම ලිපිය පුළුස්සා දමන බාලාජි බාජි රාඕ විසින් මස්තානිව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසායි. රෝගීභාවය හේතවෙන් උමතු තත්ත්වයට පත්ව සිටින බාජිරාඕ භ්‍රාන්තිමය ක්ෂතිය හේතුවෙන් මරණයට පත්වේ. එවිටම සිරභාරයේ පසුවන මස්තානි ද මිය යයි. මෙලෙසින් දෛවෝපගත පෙම්වතුන් යුවළ මරණයේ දී එක්වනු නිරූපිත ය.
චරිත නිරූපණය
- රන්වීර් සිං, Iවන බාජිරාඕ ලෙස
- දීපිකා පදුකෝන්, මස්තානි ලෙස
- ප්‍රියංකා චොප්රා, කාෂිබායි ලෙස
- තාන්වි අස්මි, රාධාබායි ලෙස
- මිලින්ද් සෝමන්, අම්බාජි පන්ත් ලෙස
- වෛභාව් තත්වාද්වි, චිමාජි අප්පා ලෙස
- ආයුෂ් ටන්ඩන්, බාලාජි බාජි රාඕ ලෙස (හෙවත් නානා සහේබ්)
- මහේෂ් මන්ජ්රේකර්, ඡත්‍රපති ෂාහු ලෙස
- ආදිත්‍ය පන්චෝලි, ශ්රීපාද් රාඕ / පන්ත් ප්‍රතිනිධි ලෙස
- රාසා මුරාද්, චින් ක්විලිච් ඛාන්, ඩෙකෑනයේ නිසාම් ලෙස
- ඉර්ෆාන් ඛාන්, කථිකයා ලෙස
- සුඛාදා ඛන්ද්කේකාර්, අනුබායි ලෙස
- බෙන්ජමින් ගිලානි, ඡත්රසාල් රජු ලෙස
- අනුජා ගෝඛලේ, භියුබායි ලෙස
- යතින් කර්යේකාර්, ක්රිෂ්ණාජි භාට් ලෙස
නිෂ්පාදනය
වර්ධනය
මෙම ව්‍යාපෘතිය ගොඩනගාගැනීම වර්ෂ 12ක් ගත විය. සංජේ ලීලා භන්සාලි හට බාජිරාඕ මස්තානි චිත්‍රපටය තැනීමට අවශ්‍යව තිබුණේ දේව්දාස් (2002) චිත්‍රපටයේ මුදාහැරීමෙන් පසුවයි.
නළුවරණය
භන්සාලිට මුලින් අවශ්‍ය වූයේ ඔහුගේ හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයේ ප්‍රධාන යුවළ වූ සල්මන් ඛාන් සහ ඓශ්වර්යා රායි මෙහි ප්‍රධාන චරිත සඳහා යොදාගැනීමටයි. නමුත් ඔවුන්ගේ විසිරී යාමට ප්‍රචාරයක් හිමිවීම හේතුවෙන් එය අත්හැරීමට සිදු විය. 2003 වර්ෂයේ මැද, භන්සාලි විසින් මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට ඛාන් සමග කරීනා කපූර් තෝරාගත් අතර, බාජිරාඕගේ පළමු බිසව වූ කාෂිබායිගේ චරිතය වෙනුවෙන් රාණි මුඛර්ජි තෝරාගැනිණි. කෙසේනමුත්, ඛාන් සහ කපූර් වෙනත් චිත්‍රපට සඳහා එක්ව නිරූපණයට අත්සන් කොට තිබීම නිසා මෙම අදහස ද අත්හැරීමට සිදු විය. ඔවුන්ගේ යුගනය නිරූපණය කිරීමට අවශ්‍ය වූ ප්‍රථම අධ්‍යක්ෂක වීමට භන්සාලිට අවශ්‍ය විය. මේ නිසා මෙම චිත්‍රපටය කල්දැමූ භන්සාලි Black (2005), සාවරියා (2007), ගුසාරිෂ් (2010) සහ ගොලියොන් කී රාස්ලීලා...රාම්ලීලා (2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා දායක විය.
පසුගිය වසර දහය පුරාම, බාජිරාඕ මස්තානි නිර්මාණය සහ චරිත නිරූපණය පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර පල විය. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන බවට නළු නිළියන් ගණනාවකගේ නම් කටකථා ලෙස පැතිරගියේ ය. මේ අතරට ෂාරුක් ඛාන්,අජේ දේව්ගන්,රිතික් රෝෂන්,රන්වීර් සිං,දීපිකා පදුකෝන්, සහ කැට්රිනා කෙයිෆ්ගේ නම් ඇතුළත් විය.
2014 ජූනි මස භන්සාලි විසින් මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් ප්‍රධාන චරිත සඳහා රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් (භන්සාලිගේ ගොලියොන් කි රාස්ලීලා රාම්-ලීලාහි ප්‍රධාන චරිත නිරූපණය කළ) යන අයත්, බාජිරාඕගේ පළමු බිසව වන කාෂිබායිගේ චරිතය සඳහා ප්‍රියංකා චොප්රාවත් තෝරාගැනුණු බව සනාථ විය. සිං සහ පදුකෝන් යන දෙදෙනාටම ඔවුන්ගේ චරිත වෙනුවෙන් දැඩි සූදානමක නිරත වන්නට සිදු විය. භන්සාලි විසින් මෙම දෙදෙනාට පුරාතන ඉන්දියානු සටන් කලාවක් වන කාලරිපායාට්ටු ඉගැන්වීමට දක්ෂා ශේත් දායක කරගත් බැව් වාර්තා වේ. ශේත් විසින් පදුකෝන්හට කථක් නර්තන ශෛලිය ද උගන්වන ලදී. සම්භාව්‍ය කථක් නර්තන ශිල්පියකු වන පණ්ඩිත් බිර්ජු මහාරාජ් විසින් පදුකෝන් වෙනුවෙන් කථක් ගීතයක් නිර්මාණය කොට තිබේ. සිං හට ඔහුගේ චරිතය වෙනුවෙන් මරාඨි ඉගෙනීමටත්, අසුන් පැදවීම පුහුණුවීමටත් සහ සිය හිස මුඩු කිරීමටත් සිදු විය. මීට අමතරව බාජිරාඕගේ චරිතය නිරූපණයට සිං හට සිය දේහ බර වැඩිකරගැනීමට සිදු විය. කාෂිබායිගේ චරිතය වෙනුවෙන් චොප්රා දින 15ක පුහුණු පාඨමාලාවකට දායක වූ අතර, ඇයට පේෂ්වාවරුන් විසූ අවධියේ භාවිත වූ මරාඨි උපභාෂාව ඉගෙනීමට ද සිදු විය.ඉර්ෆාන් ඛාන් විසින් මෙම චිත්‍රපටයේ කථිකයා ලෙස කටයුතු කරන ලදී.
2014 සැප්තැම්බර් මස, සනාථ වූයේ බාජිරාඕගේ මවගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ තාන්වි අස්මි විසින් බවයි. මෙම චරිතයට යොදා ගැනීමට මුලින් යෝජනා වූ නිළියන් අතර ෂබානා අස්මි, ඩිම්පල් කපාඩියා, සහ සුප්‍රියා පථක් ද විය. මෙම චරිතය සඳහා තාන්වි හට ඇගේ හිස සම්පූර්ණයෙන් මුඩු කිරීමට සිදු විය. 2014 නොවැම්බර් මස, බාජිරාඕගේ සොහොයුරියන්ගේ චරිත සඳහා නිළියන් තෝරාගැනුණු අතර, එහිදී සුඛාදා ඛාන්ද්කේකර් නිළිය අනූබායි ලෙසත්, අනූජා ගෝඛලේ නැමැති නිළිය භියූබායි චරිතයටත් යොදාගැනිණි.මහේෂ් මන්ජ්රේකාර් නැමැති නළුවා මෙහි එන ඡත්‍රපති ෂාහු නැමැති මරාඨ අධිරාජයාගේ චරිතයට තෝරාගැනිණි. චිත්‍රපටයේ වස්ත්‍ර නිර්මාණය කරන ලද්දේ අංජු මෝදි විසිනි. 2015 ජනවාරි මස නිවේදනය කෙරුණේ බාජිරාඕගේ බාල සොහොයුරා වන චිමාජි අප්පාගේ චරිතය නිරූපණය කරන්නේ වෛභාව් තත්වාවාදි විසින් බවයි.
රූගත කිරීම්

මෙහි ප්‍රධාන ඡායාරූපකරණය සිං සහ චොප්රාගේ සහභාගීත්වයෙන් 2014 සැප්තැම්බර් 23 දින ඇරඹිණි. 2014 දෙසැම්බර් මස පදුකෝන් හට අත්‍යාවශ්‍ය දර්ශනයක් වෙනුවෙන් දින දෙකක රූගත කිරීම්වලට සහභාගී වීමට සිදු විය. සිය සෙසු ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු 2015 මාර්තු මස පදුකෝන් මෙම චිත්‍රපටයට දායක වූවා ය. පදුකෝන්ට රූගත කිරීම්වල දී කිලෝග්‍රෑම් 20ක සන්නාහයක් සහිතව කඩු හරඹව යෙදීමට පවා සිදු විය. චිත්‍රපටයේ දර්ශන බොහෝමයක් රූගත කරන ලද්දේ මුම්බායිහි ෆිල්ම් සිටි චිත්‍රාගාරයේ ය. එළිමහන් දර්ශන සඳහා, භන්සාලි විසින් මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, ගුජරාතය, මහාරාෂ්ට්‍රයේ වායි ප්‍රදේශ යොදා ගැනීමට තීරණය කරන ලදී. මෙහි නිෂ්පාදන සැලසුම්කරුවන් වන සුජීක් සාවන්ත්, ශ්‍රීරාම් ඉයෙන්ගාර්, සලෝනි යන අය ආයිනා මහල් සහ ෂානිවාර් වාදා ඇතුළත් දර්ශන තල 21කට වඩා නිර්මාණය කරන ලදී. දැවැන්ත දර්ශන තල ඉදිකිරීමේ දී ඉමහත් පර්යේෂණ සහ සැලසුම් කටයුතු සිදුකෙරිණි. මෑතක දී දියත් කෙරුණු ප්‍රවර්ධන වැඩසටහනක දී පේෂ්වා යුගයේ ශ්‍රී විභූතිය ගොඩනැගීමට මෙම සැලසුම්කරුවන් සමත් වූ අයුරු නිරූපණය කෙරිණි. මෙහි "දීවානි මස්තානි" සඳහා යොදාගැනුණු ප්‍රධාන පසුතලය කෞතුකාගාරයක් බවට පත්කෙරිණි.
අලෙවිකරණය
2015 අගෝස්තු මස, Blazing Bajirao විශේෂ චිත්‍රක වෙබ් කතාමාලාවක් දියත් කෙරිණි. මෙහි පේෂ්වා බාජිරාඕ, මස්තානි සහ කාෂිබායි සජීවීකරණ ස්වරූපයෙන් නිරූපණය කෙරිණි. මීට අමතරව නිෂ්පාදකයින් විසින් Blazing Bajirao - The Game නැමැති වීඩියෝ ක්‍රීඩාවක් ද සැලසුම් කොට ඇති අතර, මෙහි දී ක්‍රීඩකයන්ට පේෂ්වා බාජිරාඕ ලෙස සතුරන් පරාජය කළ හැක.
පූර්ව-නිකුතු ආදායම
මෙම චිත්‍රපටය නිර්මාණය කෙරුණේ ඉන්දියානු රුපියල් කෝටි 120ක (ඇ.ඩො. මිලියන 18) ක අයවැයකිනි. චිතපටයේ චන්ද්‍රිකා සහ සංගීත අයිතීන් පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 50කට (ඇ.ඩො. මිලියන 7.4) සහ ඉන්දීය රුපියල් කෝටි 70කට (ඇ.ඩො. මිලියන 10) අලෙවි කෙරිණි.
මුදාහැරීම
බාජිරාඕ මස්තානි චිත්‍රපටය ඉන්දියාව තුළ මුදාහැරුණේ 2015 දෙසැම්බර් 18 දින ය. මෙම චිත්‍රපටය දේශීය සිනමාහල් 5000කට අධික සංඛ්‍යාවක තිරගත වූයේ දිල්වාලේ සමග 40:60 අනුපාතයෙනි. අනර්තර්ජාතික වෙළඳපොල තුළ, බාජිරාඕ මස්තානි සිනමාහල් 850කට අධික සංඛ්‍යාවක තිරගත වූ අතරථ ඉන් විශාලතම මුදාහැරීම චීනයේ සිදු විය. පසුව චීනයේ තිර 6000කට අධික සංඛ්‍යාවක මෙය තිරගත කෙරිණි. පූනේහි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට විරුද්ධව පේෂ්වාවරුන්ගෙන් සහ ඡත්රසාල් රාජවංශයෙන් පැවතෙන්නන් විරෝධය පෑහ.
මෙම චිත්‍රපටය සඳහා රාවු නැමැති මරාඨි නවකථාව ද පාදක කරගෙන තිබේ. එය Iවන බාජිරාඕ සහ ඔහුගේ දෙවන බිසව වූ මස්තානි අතර සම්බන්ධය ආශ්‍රය කොටගෙන ලියූ ප්‍රබන්ධ කථාපුවතකි. Iවන බාජිරාඕ සහ මස්තානිගේ පෙළපතෙන් පැවතෙන්නන් මෙම චිත්‍රපටය කෙරෙහි සිය අප්‍රසාදය පලකළහ. ඔවුන් පැවසූයේ අධ්‍යක්ෂක සංජේ ලීලා භාන්සාලි ඔහුගේ නිර්මාණ නිදහස සීමාව ඉක්මවා භාවිතා කරමින්, සිය මුතුන් මිත්තන් පිළිබඳ සාවද්‍ය නිරූපණයක් සිදුකොට ඇති බවයි. බොම්බේ මහාධිකරණයේ චිත්‍රපටයට එරෙහි පෙත්සමක් ගොනුකෙරුණු නමුත්, මහාධිකරණය චිත්‍රපටය මුදාහැරීම වැළැක්වීමට මැදිහත් වීම ප්‍රතික්ෂේප කරන ලදී.
මෙහි එන "පිංගා" ගීතයේ කාෂිබායි සහ මස්තානිගේ නර්තන දර්ශනය සහ වස්ත්‍ර විලාසය, කාෂිබායිගෙන් මෙන්ම මස්තානිගෙන් පැවතෙන්නන්ගේ විවේචනයට ලක්වූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ එයට පුළුල් ප්‍රචාරයක් හිමි විය. ඇතැම් ඉතිහාසඥයන් අදහස් දැක්වූයේ එවැනි පෞරුෂයක් ඇති කාන්තාවක් ප්‍රසිද්ධියේ නර්තනයේ යෙදීම අයෝග්‍ය බවයි. මීට අමතරව, කාෂිබායි ආත්රයිටිස් තත්ත්වයෙන් ද පෙළී ඇති බැවින්, එවැනි නර්තනයක් භෞතිකව ද අභව්‍ය බැව් පෙනේ.
විචාරක පිළිගැනීම
සුභාෂ් කේ. ජා විසින් මෙම චිත්‍රපටයට තරු පහෙන් පහම ලබා දී පැවසූයේ "අග්‍රකෘතියක්" ලෙසයි. එමෙන්ම එය මූඝල්-ඉ-අසාම් සමග සසඳා ඇත.හින්දුස්ථාන් ටයිම්ස්හි අනූපමා චොප්රා මෙය තරු පහෙන් හතරක් ලබාදී පැවසූයේ "ඉහළට ගමන් කරන, සිත දැඩි කරවන සහ දෘශ්‍යමය අතින් දර්ශනීය" බවයි. එසේම "බාජිරාඕ මස්තානි රඟදැක්වෙන්නේ ගීත නාට්‍යමය, සිහි මුර්ඡා කරවන, උණ ගන්වන සුලු ප්‍රේම කාව්‍යයක් අයුරින්" බව ඇය රචනා කොට තිබිණි. එසේම ඇය විසින් ප්‍රධාන නළුවන්ගේ රංගන ප්‍රතිභාව අගයමින් මෙසේ ලියා ඇත: "රන්වීර් සිං ක්ෂණිකව නොවූවත්, සෙමෙන් සෙමෙන් ඔබ තුළ විශ්වාසය ඇති කරවයි. ශක්තියෙන් පිරිපුන් නමුත් අනාරක්ෂිතතාවෙන් සහ අසරණභාවයෙන් රිදුම් දෙන මෙම චරිතය සංකීර්ණ එකකි. ප්‍රියංකා චොප්රා පෙනීසිටින්නේ දර්ශන ස්වල්පයක පමණක් වුව ද, ඇය එම දර්ශනවල උපරිම බලපෑමක් ඇතිකරවන්නී ය. දීපිකා පදුකෝන් නෙත් වසඟ කරවනසුලු ය." මෙම චිත්‍රපටයට තරු පහෙන් හතරක් ලබාදෙන ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත එහි "විශිෂ්ට" සිනමා ශිල්පය අගය කරමින් ලියා ඇත්තේ "සෑම දසුනක්ම මහා සිතුවමක් බඳු ය. සෙවණැලි සහ පොකුරු පහන් සහිත මාලිග, මාලිගවාසීන්, කැඩපත්ලින් දිදුලන කුටි සහ ශෝකයෙන් දැවෙන අහස එය විසිතුරු කරයි." යුනවෙනි.බොලිවුඩ් හුංගාමාහි තරන් ආදාර්ශ් ද මෙයට තරු පහෙන් හතරක් දෙමින් පවසන්නේ එය "සිනමාවේ මැණිකක්" බවයි. එසේම "[චිත්‍රපටයේ] රසවත් චරිත සහ ප්රබෝධනීය අනු කථා පුවත් කථාව උච්චස්ථානයක් කරා ගෙන යයි." මෙහි රංගන ප්‍රතිභාව අගය කළ ඔහු මෙසේ ලියා ඇත: "රන්වීර් සිං අතිශයින් විස්මයජනක අතර පැහැදිළිවම ඉහළ ස්වරූපයක් ගනියි. නිරුත්සාහයෙන්ම චරිතය තුළට පිවිසීමට ඔහුට ඇති හැකියාව අගය කළ යුතු ය. මස්තානි මෙන්ම දීපිකා ද සිත් වසඟ කරවනසුලු අතර, ඇතැම් කථාංගවල නළුවකු ලෙසම ඇය සිය ශන්තිය ප්‍රදර්ශනය කරයි. ප්‍රියංකා චොප්රාගේ කාෂිබායි නිරූපණයට ද විශේෂ ලකුණු ලබා දිය යුතු ය."
සී නිව්ස් ද මෙම චිත්‍රපටයට තරු පහෙන් හතරක් ලබාදෙමින් පවසන්නේ "සම්පූර්ණයෙන්ම අතිශයින් දිදුළන නිකැළැල් කලා නිර්මාණයකි. එසේම මනා සංයමයකින් යුත් රංගනයෙන් සහ විශ්වසනීයත්වයෙන් මෙය තෙමී ඇත. මෙම ප්‍රේම ජනප්‍රවාදය නාට්‍යමය පෙම්වතුන් යළි ඔවුන්ගේ ‘බලාපොරොත්තුවේ’ රාමුව තුළ ස්ථාපනය කරාවි."මිඩ් ඩේහි සුභා ෂෙට්ටි-සාහා තරු පහෙන් තුන හමාරක් ලබාදෙමින් ලියා ඇත්තේ "සංජේ ලීලා භන්සාලි ඔහුගේ සුවිශේෂී ශෛලිය මගින් ඔහුගේ කථා ප්‍රභේදය ඉදිරිපත් කරන්නේ මූඝල්-ඉ-අස්මීය පරිමාණයේ දැවැන්තභාවයකින්, පරිපූර්ණත්වයකින් ය. එය ත්‍රාසය දනවන ආකාරයේ අලංකෘත පසුතල, විසිතුරු සහ මනාව සැලසුම් කළ වස්ත්‍ර අංග සහ ස්වප්න සිනමා ශිල්පයකින් හැඩගැන්වී ඇත." එමගින් නරඹන්නන් "සුවිශේෂී සහ අත්‍යාලංකෘත ලොවක් කරා කැඳවාගෙන යයි."ඉන්ඩියා ටුඩේ පුවත්පතේ අනන්‍යා භට්ටාචාර්ය ද මෙම චිත්‍රපටයට තරු පහෙන් තුන හමාරක ඇගයුමක් ලබාදෙමින් පවසන්නේ එය "අත්දැකීමක්" බවත්, භන්සාලි යනු "විශිෂ්ට ප්‍රේම-කථා කියන්නකු" බවත් ය. ඇය විසින් රංගන ප්‍රතිභාව අගය කරමින් "රන්වීර්, දීපිකා, ප්‍රියංකා බබලන බවත් [...] තාන්වි අස්මි භයානක මාතෘ මූලිකාවියකගේ චරිතය ක්‍රියාකාරීව නිරූපණය කරයි." කෙසේනමුත්, ඇය සිතන්නේ මෙහි සංස්කරණය "තවත් මඳක් නිරවුල් වූයේ නම් යහපත් බවයි."කොයිමොයි ද මෙම චිත්‍රපටයට තරු පහෙන් තුන හමාරක් ප්රදානය කරමින් භන්සාලිගේ අධ්‍යක්ෂණය සහ සංගීත නිර්මාණය අගය කොට ඇත. එහි රචනා කොට ඇත්තේ "එය අධ්යක්ෂණයට පිවිසෙන විට, බාජිරාඕ මස්තානි යනු හුදු සිනමා ප්‍රභාවකි. වීරකථා ප්‍රේම වෘත්තාන්තය ගොජනැගීමට භන්සාලි තුළ වූ පැහැදිළි දැක්ම වසර ගණනාවක නැවතීමෙන් පසු දිවා ආලෝකයක් ගෙන එයි. වස්ත්‍ර, පසුතල සහ සුදීප් චැටර්ජීගේ සිනෙමාරූපණය සියල්ල හේතුවෙන් මනස්කාන්ත ප්රදර්ශනාංගයක් නිමැවී ඇත." ඇය තවදුරටත් රංගනය පිළිබඳ ප්‍රශංසා කරන්නේ ප්‍රධාන නළුනිළියන් තිදෙනාගේ රසායන විද්‍යාව සහ සිනොමරූපණය "ත්‍රාසය දනවනසුලු" බවයි.NDTV වෙනුවෙන් සයිබාල් චැටර්ජී චිත්‍රපටයට තරු පහෙන් තුන හමාරක් ලබාදෙමින් ලියා ඇත්තේ, "මෙම වර්ණවක් සහ නාට්‍යමය චිත්‍රපටයේ කිසිදු අපැහැදිළි දර්ශනයක් අන්තර්ගත නොවේ."
මෙම චිත්‍රපටයට තරු පහෙන් තුනක් ලබාදෙන රජීව් මසන්ද් විස්තර කරන්නේ මෙම චිත්‍රපටය "කලාත්මක නමුත් වෙහෙසකර" බවයි. ඒසේම ඔහු චිත්‍රපටයේ දිග ප්‍රමාණය ද විවේචනයට ලක්කළේ ය. කෙසේනමුත්, ඔහු විසින් මෙහි සිනෙමාරූපණය, නිෂ්පාදන සැලසුම සහ රංගන ප්‍රතිභාව (විශේෂයෙන් චොප්රාගේ) අගය කොට තිබේ. ඔහු මෙසේ රචනා කරයි: "මෙම චිත්‍රපටය ප්‍රියංකා චොප්රාගේ කාෂිබායිගේ ප්‍රහසන සහ ක්‍රීඩාකාමී හැකියාව මගින් අලංකාර වී ඇත. චොප්රා ඇගේ චරිතයට ගෞරවයක් රැගෙන එයි. ප්‍රායෝගිකව ඇය චිත්‍රපටය සොරකම් කරයි". අනෙක් අතින්, ද හින්දු පුවත්පතේ නම්රාතා ජෝෂි මෙම චිත්‍රපටය “ඓතිහාසික පිම්මක්” බවත් "සංජේ ලීලා භන්සාලි තවත් දෘශ්‍ය දර්පණයක් සමග යළි පැමිණ හිතාමතාම ඉන් නිරූපණය වන ඉතිහාසය නිදහස්ව භාවිතා කොට තිබේ. එය විඩාපත් වුවත්, සිත් ඇදගැනීමට සමත් ය." මීට විරුද්ධ අයුරින් Rediffහි රාජා සේන් මෙම චිත්‍රපටය මගින් විස්මයට පත්ව නැත. ඔහු මෙයට තරු පහෙන් දෙකක් පමණක් ලබා දී ඇත. කෙසේනමුත්, චොප්රා සහ සිංගේ රංගන ප්‍රතිභාව අගය කරන ඔහු එය "දැවැන්ත" බව පවසයි. පදුකෝන්ගේ රංගනය විවේචනය කරන ඔහු පවසන්නේ "පදුකෝන් නොසැලකිල්ලෙන් ප්‍රවේශ වූ බවක් පෙනේ. ඇය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල අයුරින් පෙනී සිටින අවස්ථා ද වේ. ඇයගේ චරිතය මුළුමණින්ම ප්‍රියංකා විසින් ගිලගෙන තිබීම හේතුවෙන් ඇයට මෙහි නාමය වන බාජිරාඕ මස්තානි හිමිනොවේ යැයි සිතේ."ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්හි ශුභ්රා ගුප්තා ද මෙම චිත්‍රපටය නිසා කලකිරුණු බව පවසයි. ඇය ලියන්නේ "බාජිරාඕ මස්තානි හට චැවැන්ත ඓතිහාසික කතාමාලාවක් වීමේ හැකියාව තිබිණි. ඔබට කෝප වන්නට අවශ්‍ය වේවි. එය අවසන් වන්නේ වෙස් නාට්‍යයක් ලෙස ය: වස්ත්‍ර රැසක්, හිස් නාට්‍යයක් සහ සුළු කථා පුවතක් මෙහි ඇතුළත් ය."
සංගීතය
චිත්‍රපටයේ මුල් ස්වර මාලාව රචනා කරන ලද්දේ සංචිත් බල්හාරා විසිනි. නමුත් මුල් ගීත රචනා කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසින් ශ්‍රේයාස් පුරාණික් සහ දේව්රාත් නදාර්ගේ සහාය ඇතිව ය. හින්දි පද රචනය සිද්ධාර්ත්-ගරිමා, ඒ. එම්. ටුරාස් සහ ප්‍රශාන්ත් ඉන්ගොලේ විසින් සිදුකරන ලදී. නාදපථ ඇල්බමය මුදාහරින ලද්දේ ඊරෝස් මියුසික් ආයතනය මගින් 2015 නොවැම්බර් 24 දින ය. නාදපථයේ සැබෑ හින්දි ප්‍රභේදය ගීත දහයකින් සමන්විත වේ. මෙහි නාදපථ ඇල්බමය දෙමළ සහ තෙලිඟු ප්‍රභේදවලින් ද මුදාහාරුණු අතර, ඒවායේ පද රචනය සිදුකරන ලද්දේ පිළිවෙලින් මධන් කාර්කි සහ රාමජෝගයියා සාස්ත්‍රි විසිනි. එම ප්‍රභේද දෙකෙහිම ගීත අට බැගින් ඇතුළත් විය.
බොක්ස් ඔෆිස්
මෙම චිත්‍රපටය එහි ආරම්භක දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 12.80 (ඇ.ඩො. මිලියන 1.9) ක ශුද්ධ ආදායමක් හිමිකරගැනීමට සමත් විය. මෙය වසරේ දසවැනියට ඉහළම වාර්තාගත ආදායම විය. දෙවන දිනය වනවිට, චිත්‍රපටයේ ආදායම වර්ධනය වූ අතර එය ඉන්දියානු රුපියල් කෝටි 15.52ක (ඇ.ඩො. මිලියන 2.3) ක ශුද්ධ ආදායමක් හිමිකරගත්තේ ය. තෙවන දිනයේ තවත් ඉහළ ආදායමක් හිමිකරගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 18.45 (ඇ.ඩො. මිලියන 2.7) ක ශුද්ධ ආදාමක් ලබමිනි. චිත්‍රපටය එහි පළමු සති අන්තයේ දිනවල ඉන්දියානු රුපියල් කෝටි 46.77ක (ඇ.ඩො. මිලියන 7.0) ආදායමක් හිමිකරගත්තේ ය. ඒ අනුව චිත්‍රපටය එහි පළමු සතියේ දිනවල ඉන්දියානු රුපියල් කෝටි 39.88ක (ඇ.ඩො. මිලියන 5.9)ක ආදායමක් හිමිකරගත්තේ ය. මෙලෙසින් පළමු සතිය තුළ චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 86.15 (ඇ.ඩො. මිලියන 13) ක සම්පූර්ණ ශුද්ධ ආදායමක් හිමිකරගත්තේ ය. මෙය වසරේ සිව්වන ඉහළම සතියේ ආදායම විය.
මෙහි චෙවන සිකුරාදා දිනය වනවිට, ආදායම තවත් 20%කින් වර්ධනය වූ අතර, එදින එය ඉන්දියානු රුපියල් කෝටි 12.50ක (ඇ.ඩො. මිලියන 1.9) ශුද්ධ ආදායමක් ලෙස වාර්තා විය. ඒ වනවිට චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 98.40 (ඇ.ඩො. මිලියන 15) ක ශුද්ධ ආදායමක් ලබා වසරේ හයවන ඉහළම ආදායම හිමිකරගත්තේ ය. දින එකොළහක් ඇතුළත චිත්‍රපටයේ දේශීය ශුද්ධ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 123 (ඇ.ඩො. මිලියන 18) පමණ විය.
පළමු සතිය තුළ විදෙස් තිරගත වීම් මගින් චිත්‍රපටයට ඇ.ඩො. මිලියන 6.5ක (ඉන්දියානු රුපියල් කෝටි 43ක) ආදායමක් හිම විය.
තිරගත වීම් අවසානයේ බාජිරාඕ මස්තානි චිත්‍රපටය ලෝකය පුරා ඉන්දියානු රුපියල් කෝටි 357ක (ඇ.ඩො. මිලියන 53) ආදායමක් හිමිකරගැනීමට සමත් විය.
සම්මාන
- 2015 වසර තුළ චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- 2010 දශකය තුළ හින්දි-භාෂා චිත්‍රපට
- 2010 දශකයේ චරිතාපදාන චිත්‍රපට
- 2010 දශකයේ නාට්‍ය චිත්‍රපට
- 2010 දශකයේ ඓතිහාසික චිත්‍රපට
- ඉන්දියානු චරිතාපදාන චිත්‍රපට
- ඉන්දියානු නාට්‍ය චිත්‍රපට
- ඉන්දියානු වීර කථා චිත්‍රපට
- ඉන්දියානු ඓතිහාසික චිත්‍රපට
- රාජකීයයන් පිළිබඳ චිත්‍රපට
- ඉන්දියානු නවකථා පාදක කරගත් චිත්‍රපට
- සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- 18වන සියවස පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- රාජස්ථානයේ රූගත කෙරුණු චිත්‍රපට
- චිත්‍රපට තුළ ඉන්දියාවේ ඉතිහාසය
- ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපට
- ඓතිහාසික වීර කථා චිත්‍රපට
- ප්‍රේම වෘත්තාන්ත වීර කථා චිත්‍රපට
- දෙමළ බසින් හඬකැවුණු හින්දි-භාෂා චිත්‍රපට
- තෙලිඟු බසින් හඬකැවුණු හින්දි-භාෂා චිත්‍රපට
- අධ්‍යක්ෂක විසින් හොඳම අධ්‍යක්ෂක ජාතික සම්මානය දිනාගත් චිත්‍රපට