සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

‍දේශමාන්‍ය ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න (1924 ජුනි 14 – 2007 ජනවාරි 7) ශ්‍රී ලාංකික සිවිල් සේවකයකු, තානාපතිවරයෙකු හා දේශපාලඥයකු විය. හෙතෙම 1975 – 1985 කාලය

නිශ්ශංක විජයරත්න

  • මුල් පිටුව
  • නිශ්ශංක විජයරත්න

‍දේශමාන්‍ය ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න (1924 ජුනි 14 – 2007 ජනවාරි 7) ශ්‍රී ලාංකික සිවිල් සේවකයකු, තානාපතිවරයෙකු හා දේශපාලඥයකු විය. හෙතෙම 1975 – 1985 කාලය තුළ ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද දැරී ය.

නිශ්ශංක විජයරත්න
නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේ ලෙසින්
උපත14 ජුනි 1924
කොළඹ ශ්‍රී ලංකාව
මරණය7 ජනවාරි 2007
මහනුවර ශ්‍රී ලංකා
වෘත්තියsලංකා සිවිල් සේවය, දියවඩන නිලමේ දේශපාලනය හා තානාපති
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
Spouseනිටා විජයරත්න
දරුවන්නෙරංජන්, මනෝ, අනුරාධ, ලංකේෂ් හා නිශාංගනි

පටුන

පූර්ව අවධිය හා අධ්‍යාපනය

නිශ්ශංක විජයරත්න වර්ෂ 1924 ජූනි 14 දා සබරගමු පළාතේ ප්‍රභූ පවුලක දෙවන දරුවා වශයෙන් උපත ලැබී ය. ඔහු ගේ පියා වූයේ මහමාන්‍ය ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ හා ග්‍රාම සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරන්ධර කෑගල්ලේ බුද්දෙනිපොල වලව්වේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න ය. මව ලීලා විජයරත්න වූවා ය.

කොළඹ රාජකීය විද්‍යාලයේ තම මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ නිශ්ශංක විජයරත්න ඉන්පසු එකල ලංකා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වුණු කොළඹ විශ්ව විද්‍යාලය ට ඇතුළත් විය. එහිදී ශ්‍රී ලාංකික සමාජ විද්‍යාව සහ ආගමික දර්ශනය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය උනන්දුවක් දැක් වූ ඔහු ඉතිහාසය විෂයයෙන් බී.ඒ. ගෞරව උපාධිය දිනා ගැනීම ට සමත් විය.

වෘත්තීය දිවිය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයරත්න ලංකා සිවිල් සේවය ට බැඳුණේ ය. එහි සේවය කළ කාල පරිච්ඡේදය තුළ ඔහු විවිධ නිලතල ඉසිළීය. ඒවා අතර ගාල්ලේ උප දිසාපති, අනුරාධපුර, මන්නාරම හා යාපනය දිසාපති මෙන් ම සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශවල ස්ථිර ලේකම් යන තනතුරු වෙයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඔහු වර්ෂ 1987 සිට 1989 තෙක් යුනෙස්කෝ (UNESCO) විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. අනුරාධපුර ශුද්ධ නගරය ඇතිකිරීමේ වැඩ කඩිනමින් කළේ විජයරත්න අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කළ කාලයෙහිය.

අනුරාධපුර පූජා නගරය හා අනුරාධපුර නව නගරය

නිශ්ශංක විජයරත්න 1958 සිට 1962 දක්වා සේවය කළේ අනුරාධපුරය දිසාපතිවරයා ලෙසය. ඒ අනුරාධපුර නව නගරය ඉදි වෙමින් තිබූ කලබලකාරී අවධියයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වූ විජයරත්න මහතා පූජා නගරය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළේය. පූජා නගරය තුළ ඉදි කර තිබූ අන්‍යාගමික ගොඩනැගිලි සාකච්ඡා මාර්ගයෙන් ඉන් ඉවතට ගෙන ගොස් ඉදි කිරීමට පියවර ගත්තේය. නටබුන් සහිත පූජා භූමියේ පදිංචිකරුවන් නව නගරයේ පදිංචි කරවා පූජා භූමිය තුළ නිදහසේ වන්දනා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේය. එනිසා අදටත් අනුරාධපුරය අටමස්ථානය වන්දනා කරනන්ට යන බැතිමතුන්ට අවහිරයකින් තොරව වතාවත් කිරීමට අවකාශ ලැබී ඇත්තේ ඒ හේතුවෙනි.

එපමණක් නොව 25000ක් පමණ දෙනාට සැලසුම කර තිබූ නව නගර සැලැස්ම ලක්ෂයක් ජනතාව වෙනුවෙන් පුළුල් කිරීමට ද ඔහු කටයුතු කළේය. අනුරාධපුරයට ඇතුළුවීම සඳහා පාලම් දෙකක් ඉදි කළේය. ඇතැම් විරෝධතා නොතකා අනුරාධපුර ගුවන් තොටුපළ ඉදි කිරීමේ වගකීම ද ඉටු කළේය.

 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය
 
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් ගේය. ශ්‍රී ලංකා ජාතික කොඩිය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. මුලු හතරේ බංකු කකුල් වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ විජයරත්න විසින් වන අතර මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා ඵයින් නිරූපනය කරයි.

දේශපාලන දිවිය

නිශ්ශංක විජයරත්න දිගු කලක සිට ම එක්සත් ජාතික පක්ෂය ට හිතැත්තෙක් විය. 1973 දී ඔහු රජයේ පරිපාලන සේවයෙන් විශ්‍රාම ලැබූ පසු එම පක්ෂයේ දැදිගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුර ලැබී ය. වර්ෂ 1977 පැවති මහමැතිවරණයේදී එම අසුන දිනා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසුණු හෙතෙම ජේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරය ට ත් පත් විය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ඔහු 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළේය. ඒ අනුව, එතෙක් ශ්‍රී ලංකාවේ පැවති එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලය එකිනෙකෙන් ස්වායත්ත වූ විශ්ව විද්‍යාල හයක ට විසංයුක්ත කරන ලදි. එතෙක් ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙන් පැවති කොළඹ, පේරාදෙණිය, විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), කටුබැද්ද (මොරටුව) සහ යාපනය යන අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල බව ට පත් විය. තවද, රුහුණ විශ්වවිද්‍යාලයය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔහු ගේ අදහසක් අනුව පිහිටුවන ලදි.

මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව ගොඩ නඟන ලද කොළඹ අළුත්කඩේ නව ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදි කරන ලද්දේ නිශ්ශංක විජයරත්න අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයෙහි ය. යුනෙස්කෝ (UNESCO) ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් රැකීම සඳහා ඔහු‍ ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල පිහිටුවන ලදි. එමෙන්ම, සමාජයේ අඩු වරප්‍රසාදලාභීන් ට අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතුවලට පිහිට වීම සඳහා ජනාධිපති අරමුදල පිහිටුවන ලද්දේ ද ඔහුගේ යෝජනාවකිනි.

 
ශ්‍රී දළඳා කරඩුව වඩම්මන දියවඩන නිලමේ නිශ්ශංක විජයරත්න

දේශපාලන විශ්‍රාම ගත් පසු නිශ්ශංක විජයරත්න සෝවියට් දේශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් විය.

දියවඩන නිළමේ තනතුර

නිශ්ශංක විජයරත්න 1975 සිට 1985 තෙක් දස වසරක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර දැරී ය. පහත රට ගොවි වංශිකයෙකු වශයෙන් උඩරට රදළ වංශිකයන් සමඟ මෙම තනතුර සඳහා අභියෝග කළ ප්‍රථමයා ඔහු විය. ඔහු ගේ නිල කාලය තුළ මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ පරිපාලන කටයුතු විධිමත් කෙරුණු අතර මහනුවර ඇසළ පෙරහැර අරමුදල ද පිහිටුවන ලදි. ඔහුගෙන් පසු එම තනතුර ට පත් වූයේ ඔහුගේ පුත් නේරන්ජන් විජයරත්න යි.

ඉංග්‍රීසි කවීත්වය

දශක දෙකක පමණ කාලයක් තිස්සේ නිශ්ශංක විජයරත්න විසින් ඉංග්‍රීසියෙන් රචිත කවි එකතුවක් 2001 වසරේ දී අපේ අප්පච්චි යන නමින් පොතක් වශයෙන් එළි දක්වන ලදි (අපේ අප්පච්චි, විජිත යාපා ප්‍රකාශන - ISBN 9789558095065). ඔහුගේ සමහර කවි ඉඳුරාම දේශපාලනික මුහුණුවරක් ගන්නා අතර මහජන කටයුතුවල යෙදුණු පුමුඛ පෙළේ පුද්ගලයෙකු වශයෙන් ඔහු දුටු විවිධ චරිත, සිද්ධීන් හා මතභේද එම කවි මඟින් ඔහු ග්‍රහණය කර ගනි යි.

පුද්ගලික දිවිය

 
මංගල ඡායාරූපය
1954 දෙසැම්බර් 10 දින
රඹුක්කන, මිදුම වලව්වේ දිය
 
ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ නිටා දූල්ලෑව විජයරත්න යුවල ගේ දූදරුවන් නෙරංජන්, මනෝ, අනුරාධ, ලංකේෂ් හා එකම දියණිය නිශාංගනි ද වේ

නිශ්ශංක විජයරත්න විවාහ වූයේ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව මෙනවිය සමඟ ය. එම දෙපළ ට දූදරුවන් පස් දෙනෙකි. ජ්‍යේෂ්ඪ පුත් නෙරංජන් විජයරත්න 1985 සිට 2005 තෙක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර දැරූ අතරමහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.

දෙවැනි පුතු මනෝ විජයරත්න කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර දැරූ අතර 2007 සිට 2010 තෙක් මහින්ද රාජපක්ෂ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වශයෙන් ඔහු කටයුතු කර ඇත. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා මාර්ග අනතුරු වළක්‌වා ගැනීමේ අධිකාරියේ සභාපතිවරයා ලෙස හා දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තනතුර ද ඔහු දැරී ය. ඩිංගිරි බණ්ඩා විජේතුංග රජයේ යටතේ මනෝ විජයරත්න 1993 සිට 1994 තෙක් වැවිලි සේවා අමාත්‍ය තනතුර දැරී ය.

තුන්වෙනි පුතු අනුරාධ දූල්ලෑව විජයරත්න එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකි. ඔහු සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් පුතු හා එකම දියණිය නිශාංගනි ද වේ.නිශ්ශංක විජයරත්න ගේ වැඩිමහළු සොහොයුරා වූ තිස්ස විජයරත්න වෘත්තියෙන් අධි නීතිඥවරයෙක් වූ අතර ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කර ඇත. බාල සොහොයුරු කුඩා විජයරත්න වෛද්‍යවරයෙකි.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
  • ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  • රුහුණ විශ්වවිද්‍යාලයය

ආශ්‍රිත

  1. උපන් දේශයට නොමැකෙන සේවයක්‌ කළ ආචාර්ය නිශ්ශංක විඡේරත්න. Divaina, සම්ප්‍රවේශය on 16th June 2014.
  2. වීජේවීර සරමකුත් ඇඳගෙන මහ රෑ කැළෙන් මතුවුණා. රාවය, සම්ප්‍රවේශය on 9th December 2012.
  3. පරිපාලන සේවයෙන් මැති සභයට. Divaina, සම්ප්‍රවේශය on 4th January 2016.
  4. ඇන්. ඇම්. කැපූ අනුරාධපුරයේ පාර. Divaina, සම්ප්‍රවේශය on 30th June 2014.
  5. ෙශෝක පකාශය : ආචාර්ය නිශශංක විජයරත්න මහතා - ශී ලංකා පාර්ලිෙම්න්තුව 10 ජුනි 2011
  6. වැඩ ගොඩක් හැඩ කළ නිශ්ශංක ලකුණ සංරක්ෂණය කළ පිටපත 2022-08-12 at the Wayback Machine. Dinamina, සම්ප්‍රවේශය on 20 අගෝස්තු 2021.
  7. අපේ ජාතික කොඩියේ ඉන්නේ කිනිස්‌සක්‌ ගත්තු විකෘති සිංහයෙක්‌!. Divaina, සම්ප්‍රවේශය on 01th July 2018.
  8. කැපූ තම පුතාට දඬුවම් කළ ගුරුවරයාට උසස්වීම් දුන් අධ්‍යාපන ඇමති. Lankadeepa, සම්ප්‍රවේශය on 23rd June 2013.
  9. උතුම් දළදාවේ සැබෑ භාරකරු. මව්බිම, සම්ප්‍රවේශය on 23rd April 2013.
  10. අපේ අප්පච්චි: Anthology of Our Fathers Poems සංරක්ෂණය කළ පිටපත 2023-03-06 at the Wayback Machine. Vijitha Yapa.Com
  11. එදා වලපනේ මහ අධිකාරම්ගේ රත්තරන් ඇඳුමේ අයිතිකාරයා. Lankadeepa, සම්ප්‍රවේශය on 28th March 2017.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    රත්නපුර දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 03, 2026

    උපතිස්ස රජ

  • මාර්තු 12, 2026

    දකුණු ආසියාව

  • මාර්තු 16, 2026

    පළමුවන කාශ්‍යප රජ

  • අප්‍රේල් 04, 2026

    සෝවියට් සංගමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට