සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජෝධා අක්බර් යනු ආශුතෝෂ් ගෝවාරිකර් විසින් සම-රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2008 ඉන්දියානු ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය

ජෝධා අක්බර්

විකිපීඩියා වෙතින්
ජෝධා අක්බර්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඅශුතෝෂ් ගෝවාරිකර්
රචනයකේ. පී. සක්සේනා (දෙබස්)
තිර රචනයහයිදර් අලි
අශුතෝෂ් ගෝවාරිකර්
කතාවස්තුවහයිදර් අලි
නිශ්පාදනයරොනී ස්කෲවාලා
අශුතෝෂ් ගෝවාරිකර්
රංගන ශිල්පීන්රිතික් රෝෂන්
ඓශ්වර්යා රායි
සෝනු සූද්
කුල්භූෂණ් ඛාර්බන්දා
ඉලා අරුන්
කථනයඅමිතාබ් බච්චන්
සිනෙමාරූපණයකිරන් දියෝහන්ස්
සංස්කරණයබල්ලු සාලු
සංගීතයඒ. ආර්. රහ්මාන්
නිෂ්පාදන
සමාගම
ඒ. ජී. පී. පී. එල්.
බෙදාහැරීමයූටීවී මෝෂන් පික්චර්ස්
නිකුත්වූ දිනය
  • 15 පෙබරවාරි 2008 (2008-02-15)
තිර කාලය
මිනිත්තු 214
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR40 කෝටි (US$6.2 මිලියන)
ආදායමINR115 කෝටි (US$18 මිලියන)

ජෝධා අක්බර් යනු ආශුතෝෂ් ගෝවාරිකර් විසින් සම-රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2008 ඉන්දියානු ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රිතික් රෝෂන්, ඓශ්වර්යා රායි සහ සෝනු සූද් විසිනි. චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹියේ කර්ජාට්හි වන අතර 2008 පෙබරවාරි 15 දින එය මුදාහැරිණි.

චිතපටය ගෙතී ඇත්තේ රිතික් රෝෂන් විසින් චරිත නිරූපණය කරන මූඝල් අධිරාජ අක්බර් සහ ඓශ්වර්යා රායි විසින් නිරූපණය කරන ඔහුගේ බිසවක බවට පත්වන මරියම්-උස්-සමානි කුමරිය අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවයයි. විචාරක පැසසුම් ලත් සංගීත නිර්මාණකරුවකු වන ඒ. ආර්. රහ්මාන් විසින් මෙහි සංගීත නිර්මාණය සිදුකරන ලදී. චිත්‍රපටයේ ධ්වනිපථය 2008 ජනවාරි 19 දින මුදාහැරිණි.

මෙම චිත්‍රපටය සාඕ පාඔලෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම විදේශ චිත්‍රපටය සඳහා වන ප්‍රේක්ෂක සම්මානය හිමි කරගත් අතර, ගෝල්ඩන් මින්බාර් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී සම්මාන දෙකක් ද,ස්ටාර් ස්ක්‍රීන් සම්මාන හතක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් ද හිමි කරගත්තේ ය. එසේම 3වන ආසියානු චිත්‍රපට උළෙලේ දී නිර්දේශ දෙකක් ද හිමි කරගත්තේ ය.

කථාපුවත

ජෝධා අක්බර් යනු දහසයවන සියවසේ මූඝල් අධිරාජ අක්බර් සහ රාජ්පුත් කුමරියක වන ජෝධා අතර ඇතිවූ දේශපාලන විවාහය පසුබිම් කරගත් ප්‍රේම වෘත්තාන්තයකි. අමේර්හි භාර්මාල් රජුගේ රූමත් සහ නිර්භීත දියණිය වන ජෝධා කුඩා කලම වෙනත් රාජ්පුත් රජකුට සරණ ගිවිසවා තිබිණි. ඇගේ දෑවැද්ද ලෙස ඇගේ පියාගේ කිරුළ නම්කළ අතර ඇගේ පියාගේ මරණින් පසුව එම රාජ්‍යයේ කිරුළ ඇගේ සැමියාට හිමි වේ. මෙම විවාහ ගිවිස ගැනීම හේතුවෙන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වන සුජාමල් හට සිහසුනට වූ අයිතිය අහිමි වූ නිසා සුජාමල් රාජධානිය අත්හැර කැරලිකරුවන් සමග එක්වේ. නමුත්, මූඝල් අධිරාජ්‍යය ආමේර්වලට පහර දීමට සූදානම් වන විට, භාර්මාල් රජු සිය දියණියව අධිරාජයාට විවාහ කරදෙන්නේ යුද්ධය වළක්වා ගැනීම සඳහායි. අක්බර් ද මෙයට එකඟ වන්නේ ඉන් අධිරාජ්‍යය සහ රාජ්පුත්වරුන් අතර දීර්ඝ කාලීන ශක්තිමත් සම්බන්ධතාවක් ඇතිවන නිසායි. නමුත් ජෝධා මෙම විවාහයට සම්පූර්ණයෙන් විරුද්ධ වන්නේ තමන්ය දේශපාලන ඉත්තකු වනු ඇතැයි සිතමිනි. ඇයට තමන් හා විවාහ ගිවිසගත් රාජ්පුත් රජු සමග විවාහ වීමට අවශ්‍ය වේ. ඇය සිය ඥාති සොහොයුරා (ඇගේම සොයුරා ලෙස පෙනෙන) වන සුජාමල්ට ලිපියක් ලියමින් තමන්ව මෙම විවාහයෙන් නිදහස් කරගන්නා මෙන් ඉල්ලා සිටියි. නමුත් ඇයට එම ලිපිය යැවීමට නොහැකි වේ. ජෝධා සිය දුක සිය මෑණියන් සමග බෙදාගනියි. ඇගේ මෑණියන් ඇය වෙනුවට සේවක තරුණියක්ව යවන ලෙස පැවසුවත්, ජෝධා එයට එකඟ නොවන්නේ එය රැවටීමක් වන නිසායි. අනතුරුව ඇගේ මව ඇයට වස බඳුනක් ලබාදෙන අතර, අවැසි වූ විට එය භාවිතා කරන ලෙස පවසයි.

විවාහයෙන් පසුව, ජෝධා අක්බර්ව නුරුස්නා අයුරින් හැසිරීම නිසා එම විවාහය සාර්ථක එකක් නොවේ. පසුව අක්බර් කැරැල්ල මර්දනය කොට සිය රාජධානිය තුළ සෑම ආගමකටම අයිතියක් ඇති බව පවසයි. ක්‍රමිකව, ඔහු නව ආගමක් ද පිහිටුවයි. දින්-ඉ-එල්ලාහි නම් වන එය හින්දු ආගමේත් ඉස්ලාමයේත් සංකලනයකි.

චරිත නිරූපණය

2

නිෂ්පාදනය

සම්භවය සහ තිර රචනය

ලගාන් (2001) ලද සාර්ථකත්වයෙන් පසු, එහි අධ්‍යක්ෂ ආශුතෝෂ් ගෝවාරිකර් වෙත නළුවකු සහ තිර රචකයකු වන හයිදර් අලි පැමිණියේ කේ. අසිෆ්ගේ ඓතිහාසික වීකරථා චිත්‍රපටයක් වූ මූඝල්-ඉ-අසාම් (1960) වැනි චිත්‍රපටයක් තැනීමේ අදහසිනි.මූඝල්-ඉ-අසාම් හි පූර්ව කථාවක් හෝ එයම ප්‍රතිනිර්මාණයට ගෝවාරිකර් කල්පනා කළ විට අලි යෝජනා කළේ තමන් එහි පූර්ව කථාවක් සකසන බවයි; ගෝවාරිකර් එයට එකඟ වූ අතර ඔහු තිරරචනයක් නිර්මාණය කළේ 13 සිට 28වන විය තෙක් අක්බර්ගේ දිවිය නිරූපණය වන පරිදි ය.Rediff.com හි සයිද් ෆිර්දවුස් අෂ්රෆ් සමග සම්මුඛ සාකච්ඡාවක දී ගෝවාරිකර් සමග වැඩ කිරීමට තමන් ගත් තීරණය අලි හෙළිකළේ ය.

අලි අදහස රැගෙන එන විට, ගෝවාරිකර් ඒ වනවිටත් ස්වදේස් (2004) සඳහා සිය තිර පිටපත නිර්මාණය කොට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙය සම්පූර්ණ කිරීමෙන් පසුව අලි සමග කටයුතු කිරීමට තීරණය කළේ ය. 2001 දෙසැම්බරයේ දී, අලි අමේර්හි රාජ්පුත් පාලක භර්මාල්ගේ දියණිය වූ ජෝධාබායි සහ මූඝල් අධිරාජ අක්බර් අතර ඇතිවූ ප්‍රේම වෘත්තාන්තය පිළිබඳ අධ්‍යයනය කළ අතර, මෙම යුවළ පිළිබද මූලික කථාපුවතක් නිර්මාණය කළේ ය. ස්වදේස් මුදාහැර මාසයකට පසුව, ගෝවාරිකර් මුණගැසුණු අලි ඔහුට කථාව භාර දුන්නේ ය. අනතුරුව සිය ඊළඟ ව්‍යාපෘතිය පිළිබඳ නිවේදනය කළ ගෝවාරිකර් එය "ප්‍රේම වෘත්තාන්ත සංගීතමය" චිත්‍රපටයක් බවත් පවසා එය ජෝධා අක්බර් ලෙස නම්කළේ ය.

2005 මාර්තුවේ දී, ගෝවාරිකර් අලි සමගින් තිරරචනය සිදුකරන්නට පටන්ගත් අතර, ෆීරෝස් ඒ. නාදියාඩ්වාලා සහ සුභාෂ් ‍ඝායි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන බවට වූ කටකථා ඔහු ප්‍රතික්ෂේප කළේ ය. පසුව 2006 අගෝස්තුවේ දී සනාථ වූයේ සිය AGPPL නිෂ්පාදන බැනරය යටතේ ගෝවාරිකර් යූටීවී මෝෂන් පික්චර්ස් හි රොනී ස්කෲවාලා සමගින් මෙහි සම-නිෂ්පාදකත්වය සිදුකරන බවයි. එසේම යූටීවී මෝෂන් පික්චර්ස් වෙතින් මෙය බෙදාහැරෙන බව ද අනාවරණය විය. 2005 නොවැම්බරයේ දී අලි සහ ගෝවාරිකර් තිර පිටපත නිමකළ අතර, ඔවුහු ජායපූර් මහාරාජා වූ භවානි සිං හා ඔහුගේ බිරිය වූ මහාරාණි පද්මිනී දේවීගේ "නිර්මාණාත්මක අදහස් ජෝධා අක්බර් හැකි තරම් යතාර්ථවාදීව ගෙනහැර දැක්වීමට" උපකාරී වෙතැයි අපේක්ෂා කළහ. චිත්‍රපටයේ දෙබස් රචනය සඳහා කේ. පී. සක්සේනාව බඳවා ගන්නා ලදී.

නළුවරණය සහ කාර්ය මණ්ඩලය

අක්බර් සහ ජෝධාබායිගේ චරිත සඳහා අලි මෙන්ම ගෝවාරිකර්ගේ ද පළමු තේරීම වූයේ රිතික් රෝෂන් සහ ඓශ්වර්යා රායි ය. ගෝවාරිකර් විශ්වාස කළේ රජකුගේ චරිතයට ගැළපෙන ‍රාජකීය තේජය සහ රූපකාය රෝෂන්ට ඇති බවයි. ගෝවාරිකර් අනුව, තමන් අක්බර් පිළිබඳ චිත්‍රපටයක් තනන්නේ යැයි පමණක් පැවසූ විගසින් රෝෂන් එයට එකඟ වී තිබේ. සිය රචිතයට සූදානම් වීම සඳහා රෝෂන් උර්දු භාෂාව උගත්තේ ය. රායි සඳහා ගෝවාරිකර් SMS පණිවිඩයක් යැවූයේ "ඔබ මගේ ජෝධා වනවා ද?" යනුවෙනි. එයට ඇය "ඔව්, මම වෙන්නම්" යුනවෙන් පිළිතුරක් එවා ඇත. ජෝධාබායිගේ සොහොයුරා වූ රාජ්කුමාර් සුජාමල්ගේ චරිතය සඳහා සෝනු සූද් තෝරාගැනිණි. සූද් සෙසු චිත්‍රපට භාරගැනීම ද ප්‍රතික්ෂේප කළේ මෙම චරිතයට සිය සම්පූර්ණ දායකත්වය ලබාදිය යුතු බැවිනි.

අක්බර්ගේ මව වූ හමීදා බානු බෙගම්ගේ චරිතය සඳහා මුලින් සයිරා බානු තෝරාගැනුණත්, ඇය එය ප්‍රතික්ෂේප කළේ සිය පවුලේ වැඩ කටයුතු ඇතැයි පවසමිනි. අනතුරුව එම චරිතයට පූනම් සිංහා තෝරාගැනුණු අතර, එය 1970 දශකයෙන් පසු ඇගේ නැව පැමිණීම සනිටුහන් කළේ ය. නිළි සහ ගායිකා ඉලා අරුන්ට ගෝවාරිකර් සමග කටයුතු කිරීමට අවශ්‍ය වූ අතර, ඇය එහි චරිතයක් ඉල්ලා සිටියා ය. ගෝවාරිකර් ඇයට අක්බර්ගේ කිරි මව වූ මහම් අංගාගේ චරිතය ප්‍රදානය කළේ ය.නික්තීන් ධීර් මෙහි අක්බර්ගේ කැරලිකාර මස්සිනා වන ෂරීෆුද්දීන් හුසේන්ගේ චරිතයට තෝරාගැනිණි.කුල්භූෂන් ඛාර්බන්දා මෙහි රාජා භර්මාල්ගේ චරිතයත්, සුහාසිනී මුලායි මෙහි ජෝධාබායිගේ මව වන රාණි පද්මාවතීගේ චරිතය සඳහාත් තෝරාගැනිණි. නිළි කුංකුම්ගේ ලේලිය වූ අබීර් ආබ්‍රර් මෙහි අක්බර්ගේ සොහොයුරිය සහ හුසේන්ගේ බිරිඳ වූ බක්ෂි බානු බෙගම්ගේ චරිතය නිරූපණය කරයි. ඉන්ද්‍රජීත් සර්කාර් මෙහි බිර්බාල්ගේ චරිතය සඳහා තෝරාගැනුණත්, ඔහුගේ දර්ශන චිත්‍රපටයේ ප්‍රභේදයෙන් අවසන් කපාහැරුණේ එහි කාලය සීමා කරගැනීමටයි.

ඒ. ආර්. රහ්මන්, ජාවේඩ අඛ්තර්, නිතින් චන්ද්‍රකාන්ත් දේසායි සහ බල්ලු සලූජා පිළිවෙලින් මෙහි සංගීත නිර්මාපක, පද රචක, කලා අධ්‍යක්ෂක සහ සංස්කාරක ලෙස තෝරාගැනිණි. ලගාන් සහ ස්වදේස් චිත්‍රපටවලින් පසු මෙය ගෝවාරිකර් සමග ඔවුන්ගේ තෙවන අත්දැකීම විය.ටාටා එල්ක්සිහි කොට්ඨාසයක් වූ විෂුවල් කම්පියුටිං ලැබ්ස් (VCL) ආයතනය මෙහි විශේෂ ප්‍රයෝග භාරව කටයුතු කළේ ය.කයාමත් සේ කයාමත් තක් (1988), අක්ස් (2001) සහ කභි ඛුෂි කභී ඝම්... (2001) චිත්‍රපට නිසා ප්‍රකට කිරන් දියෝහන්ස් මෙහි සිනොමරූපකයා ලෙස කටයුතු කළේ ය. ගෝවාරිකර් ජෝධා අක්බර් සඳහා සමායෝජක ලෙස රවී දේවන්ව තෝරාග්තතේ 1942: අ ලව් ස්ටෝරි (1994) වැනි ඓතිහාසික චිත්‍රපට සම්බන්ධයෙන් ඔහු ලබාතිබූ අත්දැකීම් නිසායි.චින්නි ප්‍රකාශ් සහ ඔහුගේ බිරිඳ වූ රේඛා, රාජු ඛාන් සහ ආශ් කුමාර් මෙහි නර්තන රචකයන් ලෙස කටයුතු කළහ.

වස්ත්‍ර නිර්මාණය

සංජේ ලීලා භන්සාලිගේ දේව්දාස් (2002) චිත්‍රපටයේ රායිගේ වස්ත්‍ර නිර්මාණය සිදුකළ නීතා ලල්ලා චිත්‍රපටයේ වස්ත්‍ර නිර්මාණය සඳහා තෝරාගැනිණි. ලල්ලා පවසා ඇත්තේ ජෝධා අක්බර් ඇගේ දිවියේ "වඩාත් අභියෝගාත්මක චිත්‍රපටවලින් එකක්" ලෙසයි. මෙයට හේතුව ඇයට ප්‍රධාන නිළිය සඳහා පමණක් නොව චිත්‍රපටයේ සෑම රංගන ශිල්පියකුටම වස්ත්‍ර නිර්මාණය කිරීමට සිදුවීමයි. මූඝල් අධිරාජ්‍ය යුගයේ වස්ත්‍ර පිළිබඳ ලල්ලා වසර එක හමාරක පමන කාලයක් පර්යේෂණවල යෙදුණා ය. එම යුගයේ පැවති රෙදි පිළි ප්‍රභේද පිළිබඳ තොරතුරු ලබාගැනීමට ඇය ජායිපූර් වෙත ගියා ය. ඇය ක්‍රමානුරූපීව රාජ්පුත්වරුන් සඳහා කහ, තැඹිලි සහ රතු වර්ණත්, මූඝල්වරුන් සඳහා රන්, දුඹුරු සහ ලා දුඹුරු වර්ණත් තෝරාගත්තා ය.

අක්බර්ගේ කාලයේ මූඝල් අධිරාජ්‍යයේ ශ්‍රීවිභූතිය සිහියට නගාගනිමින් ලල්ලා රෝෂන් සහ රායිගේ වස්ත්‍ර සඳහා සර්දෝසි සහ කුන්දන් වර්ගයේ ගෙත්තම් භාවිතා කළා ය. වස්ත්‍ර නිර්මාණය සඳහා රෙදිපිළි මෙන්ම පාවහන් ද දිල්ලි, මුම්බායි සහ ජායිපූර්වලින් ගෙන්වා ගත් අතර, සැබෑ ගෙත්තම් කළ මෝජාරි පාවහන් ලෙස භාවිතා කෙරිණි. ෂරීෆුද්දීන් හුසේන්ගේ චරිතය සඳහා ලල්ලා අඳුරු දුඹුරු, කළු සහ කොළ වර්ණ භාවිතා කළේ ඔහුගේ පුද්ගලතාව සැලකිල්ලට ගනිමිනි.

වස්ත්‍ර සඳහා භාවිත වූ ආභරණ තනිෂ්ක් නම් ආභරණ සන්නාම සමාගමේන මිලට ගන්නා ලදී.ජෝධා අක්බර් චිත්‍රපටය මෙම සමාගමේ දෙවන චිත්‍රපට දායකත්වය සනිටුහන් ‍කළේ ය. මින් පෙර ෆැන්ටසි චිත්‍රපටයක් වූ පහේලි (2005) සඳහා ද එම සමාගම සේවා සපයා ඇත. රන් සහ මැණික් එබ්බවූ මෙම ආභරණ නිර්මානය සඳහා ශිල්පීන් 200කින් සමන්විත කණ්ඩායමක් දින 600ක් පුරා සේවයේ යෙදුණහ. මෙහි දී ආභරණ කිලෝග්‍රෑම් 300කට ආසන්න සංඛ්‍යාවක් භාවිතා විය. මෙම චිත්‍රපටය සඳහා රායි සහ රෝෂන් පිළිවෙලින් ආභරණ කට්ටල් දහතුනක් සහ අටක් පැළඳියහ. ජෝධාබායි සහ අක්බර්ගේ විවාහය වන දර්ශනයේ දී ඓශ්වර්යා පැළඳි ආභරණ කට්ටලයේ බර කිලෝග්‍රෑම් 3.5කි. එහි බර දරාගැනීම ඓශ්වර්යාට අපහුස විය. පසුව සම්මුඛ සාකච්ඡාවක දී ඇය ්‍රපකාශ කළේ මෙම චරිත රඟපෑමේ දී තමන්ට අපහසුම වූ කටයුත්ත ආභරණ පැළඳීම බවයි. මෙම ආභරණ සැලසුම් කෙරුණේ මූඝල් සාහිත්‍යයේ සහ අබු’ල්-ෆාස්ල් ඉබ්න් මුබාරක් විසින් නිමකළ අක්බර්ගේ ස්වයං චරිතාපදානය වන අක්බර්නාම හි ඇතුළත් ලඝු සිතුවම්වලිනි. චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් විසින් භාවිතා කළ කඩු කොපුවල බර කිලෝග්‍රෑම් දෙකකි.

ප්‍රධාන ඡායාරූපකරණය

2006 නොවැම්බරයේ ජායිපූර්හි දී රූගත කිරීම් ඇරඹිණි. එහි දී රෝෂන් සහ ධීර් අතර උච්චතම අවස්ථාව සහ පළමු පනිපත් සටන රූගත කෙරිණි. විවාහයට පෙර ජෝධාබායි ලෙස රායි රංග‍නයේ යෙදෙන මාලිගා දර්ශන කිෂන්ගාර් හි රූපන්ගාර් බලකොටුවේ දී රූගත කෙරිණි. පනිපත් සටන නිරූපිත ජවනිකා ජායිපූර් ආසන්නයේ පිහිටි ධුලා ප්‍රදේශයේ දී රූගත කෙරිණි. සටන් ජවනිකාවලට සූදානම් වීම සඳහා රූගතකිරීම් ඇරඹීමට මසකට පෙර රෝෂන් සහ රායි කඩු සටන් සහ අසුන් පැදවීම පුහුණුවූයේ පිළිවෙලින් මෙහ්බූබ් ස්ටූඩියෝ සහ මහාලක්ෂ්මී තුරඟතරඟපිටිය තුළ දී ය. මින් පෙර ද ලාස්ට් ලීජන් (2007) චිත්‍රපටයේ දී අසිපත් සටන් සහ අසුන් පැදවීම පුහුණුවී සිටි රායිට මෙය එතරම් අපහසු කටයුත්තක් නොවිණි.

සන්නාහ සහ තුවක්කු නිර්මාණය සඳහා දේවන් සහ දේසායි දායකත්වය සැපයූහ. කාලතුවක්කු නිර්මාණය කෙරුණේ මධ්‍යයට යකඩ ඇතුළත් කළ කාබන් තන්තුවලිනි. මේ නිසා උණ්ඩ සුමට ලෙස නිකුත් කළ හැකි විය. මුලින් අසිපත් ද දැව සහ තන්තුවලින් නිර්මාණය කළ නමුත් පසුව සැහැල්ලු කාබන් තන්තු යොදාගැනුණේ නළුවන්ට එය හැසිරවීම අපහසු වූ බැවිනි. සියලුම ත්‍රාසජනක ජවනිකා සෑම දිනකම පෙ.ව. 3 සිට පෙ.ව. 7 දක්වා රූගත කිරීමට පෙර පෙරපුහුණුවේ යෙදෙන ලදී. සියලු සටන් ජවනිකා සඳහා ත්‍රාසක පුද්ගලයන් 250ක් සහ 5,000ක අමතර පිරිසක් යොදාගන්නා ලදී. මෙය දින 20-3- පමණ කාලයක් පුරා රූගත කෙරිණි. අශුතෝෂ්ට මෙහි උච්ච ජවනිකා පරිපූර්ණ ලෙස ගැනීමට අවශ්‍ය වූ අතර, අක්බර් සහ හුසේන්ගේ හමුදා සෙබලුන් ලෙස යොදාගත් අසල්වැසි ගම්වල ජනයා එකම ඉරියඒවෙන් දවසම සිටගෙන සිටීමට සිදුවීමෙන් විඩාවට පත්වූහ. ඉන් ඇතැම් අය ඊළඟ දිනයේ දක්නට ද නොලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස දේවන් ත්‍රාසක ශිල්පීන් 250ක් මෙම හමුදාවන්හි ඉදිරි පෙළෙහි රැඳවූයේ ගැමියන්ගේ අඩුව නොපෙනෙන සේ ය.

විවිධ කෝණවලින් මෙහි උච්ච ජවනිකාව රූගත කිරීමට දියෝහන්ස් කැමරා හයක් භාවිතා කළේ ය. ඔහු මේ සඳහා ආභාසය ලැබූයේ ග්ලැඩියේටර් (2000) සහ ට්‍රෝයි (2004) චිත්‍රපටවලිනි. රූගත වූ දර්ශනය අනුව උචිත පරිදි ආලෝකකරණය භාවිතා කෙරිණි. වැඩිදුර රූගත කිරීම් සම්භාර් ලේක් නගරය, සහ ඇම්බර්, ආමේර් සහ අග්‍රා බලකොටුවල දී සිදු විය. සාර්ථකව ඉන්දියාව ආක්‍රමණයට අක්බර් ඉස්ලාමික විද්වතකු වූ මොයිනුද්දීන් චිෂ්ටිට යාඥා කරන දර්ශනය අජ්මේර් ෂරී‍ෆ් දර්ගාහි දී සිදු විය.

2006 දෙසැම්බර් අවසානයේ දින 60ක් පුරා පැවති රූගත කිරීම්වල පළමු අදියර අවසන් වීමෙන් පසු, 2007 ජනවාරි 8 දින සිට එහි දෙවන අදියර ඇරඹුණේ කර්ජාට් මූලික කරගත් දේසායිගේ එන්ඩී ස්ටූඩියෝස්හි දී ය. දේසායි ආමේර් සහ අග්‍රා බලකොටුවල "ඡායාරූප ලක්ෂ ගණනක්" ලබාගත්තේ ය. මෙම ඡායාරූප ආශ්‍රේයය ලෙස යොදාගනිමින් මෙම ස්ථානවල අභ්‍යන්තර දර්ශන සඳහා පසුතල සිය චිත්‍රාගාරය තුළ ගොඩනැංවී ය. රූගත කිරීම් මුළුමණින්ම බලකොටුවල සිදුකළ නොහැකි වූයේ දෛනිකව ඇතිවන සංචාරකයන්ගේ තදබදය නිසායි. හම නිසා මෙම බලකොටු දෙකෙහි පිටත දර්ශන පමණක් පළමු අදියරේ දී එම ස්ථානවලදීම රූගත කෙරුණු අතර, අභ්‍යන්තර් දර්ශන කර්ජාට්හි රූගත විය. දේසායි විසින් ගොඩනැංවූ අභ්‍යන්තර කොටස් අතරට දීවාන්-ඉ-ආම්, දීවාන්-ඉ-ඛාස්, ජෝධාබායිගේ ඇතුළු කුටිය සහ මාලිගයේ උද්‍යාන ද අයත් වේ. සම්පූර්ණ පසුතලයම අඩි 1,600ක් දිගැති, අඩි 600ක් පළලැති සහ අඩි 68ක් උසැති ප්‍රදේශයක් විය. දේසායි අනුව එය "උසැති ගොඩනැගිල්ලක මහල් හතකට" අනුරූප වේ. කොන්ක්‍රීට්, තන්තු සහ ඇස්බැස්ටොස් තහඩු මෙම අභ්‍යන්තර ස්ථාන නිර්මාණයට භාවිතා කළ අමුද්‍රව්‍ය විය. කර්ජාට්හි සමස්ත පසුතලය නිර්මාණය සඳහා වූ පිරිවැය මිලියන 120ක් ලෙස ඇස්තමේනතු කෙරේ.

ප්‍රකාශ් විසින් නර්තන රචනය සිදුකළ "අසීම්-ඕ-ෂාන් ෂහෙන්ෂා" ගීතය සඳහා සහාය නර්තන රචකයින් 12ක්, නර්තන ශිල්පීන් 400ක් සහ අග්‍රාවේ වැසියන් ලෙස රංගනයේ යෙදීම වෙනුවන් තවත් අතිරේක ජනයා 2000ක් සහභාගී විය. ගීතයේ නර්තන පියවර සඳහා ප්‍රකාශ් ගංගා ජමුනා (1961) සහ ගයිඩ් (1965) වැනි චිත්‍රපට ආභාසයට ගත්තේ ය. මෙම ගීතය දින 10කින් අවසන් කිරීමට සැලසුම් කළත්, එයට දින 15ක් ගත විය. මෙය නිමකිරීම වෙනුවෙන් සිය කණ්ඩායමට ගෞරවය පුදකළ ඔහු පැවසූයේ සිය සම-ක්‍රියාත්මකකරණය නොවන්නට මෙය රූගත කිරීමට "මාසයක්" වත් ගතවනු ඇති බවයි. සමස්ත චිත්‍රපට සඳහා හස්තීන් 80ක්, අශ්වයින් 100ක් සහ ඔටුව් 55ක් භාවිත කෙරිණි. රෝෂන් සහ චිතෝර්ගාර් දිස්ත්‍රික්කයේ හන්කේශ්වර්හි රජු ගේ චරිතය නිරූපණය කළ උල්හාස් බාර්වේ අතර සටන් ජවනිකාව 2007 ජූනි මස ජායිපූර්හි දී රූගත විය. රූගත කිරීම් 2007 ඔක්තෝබර්–නොවැම්බර් වන විට කර්ජාට්හි දී අවසන් විය. වස්ත්‍ර සහ පසුතල සඳහා වූ වියදම් හේතුවෙන් මුලින් ₹ මිලියන 370ක් වූ පිරිවැය පසුව ₹ මිලියන 400ක් දක්වා ඉහළ ගියේ ය.

ඓතිහාසික සාවද්‍යතා

චිත්‍රපටයේ නිරූපිත බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් පාදක කරගත් ඒවායි. ඇතැම් රාජ්පුත් කණ්ඩායම් පවසන්නට වූයේ ජෝධා විවාහ වූයේ අක්බර් සමග නොව අක්බර්ගේ පුත්‍රයා වූ ජහාන්ගීර් සමග බවයි.

ඇතැම් ඉතිහාසයන් පවසන්නට වූයේ අක්බර්ගේ රාජ්පුත් බිරිඳ මූඝල් යුගයේ දී කිසිදිනෙක "ජෝධා බායි" ලෙස හැඳින්වුණේ නැති බවයි. අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂිරීන් මූස්වි අනුව අක්බර්නාම (අක්බර්ගේ නියමය අනුව නිමවූ ඔහුගේ චරිතාපදානය) හෝ එම යුගයට අයත් කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක ඇය ජෝධා බායි ලෙස දක්වා නොමැති බවයි. මූස්වි පවසන්නේ "ජෝධා බායි" යන නාමය අක්බර්ගේ භාර්යාව හැඳින්වීමට භාවිතා කොට ඇත්තේ 18වන සහ 19වන සියවස්වල ඓතිහාසික ලේඛනවල බවයි. තුස්ක්-ඉ-ජහාන්ගීරී ග්‍රන්ථය තුළ ඇයව සඳහන් කොට ඇත්තේ මරියම්-උස්-සමානි යන නාමයෙනි.

පැට්නාවේ ඛුඩා බක්ෂ් ප්‍රාචීන මහජන පුස්තකාලයේ අධ්‍යක්ෂ ඉතිහාසඥ ඉම්ටියාස් අහමඩ් අනුව, "ජෝධා" යන නාමය අක්බර්ගේ බිසව හැඳින්වීමට ප්‍රථම වරරට භාවිතා කොට ඇත්තේ ලුතිනන්-කර්නල් ජෝම්ස් ටොඩ් විසින් සිය Annals and Antiquities of Rajasthan ග්‍රන්ථය තුළයි. අහමඩ් අනුව, ටොඩ් වෘත්තීය ඉතිහාසඥයකු නොවී ය. එන්. ආර්. ෆාරූකි පවසන්නේ ජෝධා බායි යනු අක්බර්ගේ රාජ්පුත් රැජිනගේ නාමය නොව ජහාන්ගීර්ගේ රාජ්පුත් රැජිනගේ නාමය බවයි.

ආශුතෝෂ් ගෝවාරිකර් ගේ ප්‍රතිචාරය වූයේ,

චිතපටය නිර්මාණයේ දී හැකිතරම් පොතට අනුව කටයුතු කිරීමට මම උත්සාහ දරුවා. මම හොඳම ඉතිහාසඥයන්‍ගේ උපදෙස් ලබාගනිමින්, ඉමහත් පර්යේෂණ සිදුකළා. අක්බර්ගේ බිරිඳ සඳහා විවිධ නම් යෙදී ඇති අතර, ජෝධා ඉන් එකක්. සැබැවින්ම, චිත්‍රපටයේ ආරම්භයේ රාජ්පුත් රැජිනගේ නම පිළිබඳ වියාචනයක් ඇත. නමුත්, එය දැකීමට උද්ඝෝෂණකරුවන් චිත්‍රපටය නැරඹිය යුතුයි.

විරෝධතා සහ නීතිමය කරුණු

චිත්‍රපටය තුළ වාර්ගික රාජ්පුත් ජනතාව නිරූපණය කිරීම රාජ්පුත් ජනතාවගේ විවේචනයට හේතු විය. එහිදී පැවසුණේ දේශපාලනිකව අභිප්‍රේරණය නිසා ඓතිහාසික ප්‍රතිශෝධනයෙන් රාජ්පුත් ඉතිහාසය ලුහු කර දක්වා ඇති බවයි. චිත්‍රපටයට එරෙහි මෙම ප්‍රජාවගේ විරෝධතා හේතුවෙන් උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, හර්යානා සහ උත්තර්ඛාන්ද් ප්‍රාන්තවල චිත්‍රපටය තහනම් කෙරිණි. කෙසේනමුත්, නිෂ්පාදකවරයා මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කළේ ය. පසුව, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහ උත්තර්ඛාන්ද් හා හර්යානා ප්‍රාන්තවල ඇතැම් නගරවල චිත්‍රපටයට වූ තහනම ඉවත් කරන ලදී. අධිකරණය විසින් උත්තර් ප්‍රදේශ් ‍රජය මෙන්ම දේහ්රාදුන්, උත්තර්ඛාන්ද් සහ අම්බාලා, සෝනේපත් සහ රේවාරි, හර්යානා වැනි අධිකාරීන් නිකුත් කළ තහනම් නියෝග ද ඉවත් ක‍රන ලදී.

බොක්ස් ඔෆීස්

ඉන්දියාව තුළ ජෝධා අක්බර් ₹ මිලියන 379.02ක ආදායමක් උපයාගත් අතර, අර්ධ බොක්ස් ඔෆීස් ජනමෝදකයක් ලෙස සැලකිණි.

විදේශයන්හි, මෙය $7,550,000 ක(₹ කෝටි 49.92) ආදායමක් ලද අතර, එය බ්ලොක්බස්ටරයක් යැයි නිවේදනය කෙරිණි. එක්සත් රාජධානිය තුළ මෙම චිත්‍රපටය $2,100,000, උතුරු ඇමරිකාව තුළ $3,450,000, එක්සත් අරාබි එමිරේටයේ $960,000, ඕස්ට්‍රේලියාවේ $450,000 සහ සෙසු රටවල්වලින් $590,000ක ආදායමක් උපයා ගනිමිනි.

චිත්‍රපටය නිම වූයේ ලොවපුරා ₹ මිලියන 515.42ක ($28,370,000) සර්වකාලීන ආදායමක් උපයා ගනිමිනි.

ධ්වනිපථය

ජෝධා අක්බර්
ධ්වනිපථ ඇල්බමය ,
ඒ. ආර්. රහ්මාන්
විසිනි
මුදාහැරුණේ2008 ජනවාරි 9 (සංගීත මුදාහැරීම)
2008 ජනවාරි 18 (CD නිකුතුව)
පටිගත කෙරුණේපංචතාන් රෙකෝර්ඩ් ඉන් ඇන්ඩ් ඒ. එම් ස්ටූඩියෝස්
නිර්වාණා ස්ටූඩියෝ
ගණයවෘත්තාන්ත චිත්‍රපට ධ්වනිපථය
දිග39:43
ලේබලයසෝනි මියුසික්
නිෂ්පාදකඒ. ආර්. රහ්මාන්
වෘත්තීයමය ප්‍රමාණන
විචාර ලකුණු
ප්‍රභවයප්‍රමාණනය
රෙඩිෆ්4/stars 5 ක්
ප්ලැනට් බොලිවුඩ්9/stars 10 ක්

මෙම චිත්‍රපටයේ විචාරක පැසසුම් ලත් ධ්වනිපථය නිර්මාණය කරන ලද්දේ ඒ. ආර්. රහ්මාන් විසිනි. ලගාන්, සහ ස්වදේස් චිත්‍රපටවලින් පසුව මෙය ආශුතෝෂ් ගෝවාරිකර් සමග ඔහු කටයුතු කළ තෙවන අවස්ථාව විය. මෙහි නිල ධ්වනිපථය ගීත පහකින් සහ වාදන දෙකකින් සමන්විත ය. "ඛ්වාජා මෙරේ ඛ්වාජා" සහ "අසීම්-ඕ-ෂාන් ෂහෙන්ෂා" හැර ජාවෙඩ් අඛ්තර් විසින් රචිත අනෙක් පද සඳහා රහ්මාන් ස්වර මාලා නිමවී ය. මින් පළමුවැනියට සඳහන් කළ ගීතයේ පද කෂීෆ් විසින් ද, දෙවනුවට සඳහන් ගීතය ජාවේජ් අඛ්තර් විසින් ද රචනා කරන ලදී. මෙහි සංගීතය 2008 ජනවාරි 9 දින මුදාහැරුණු අතර, ජනවාරි 18 සිට සංයුක්ත තැටි ලබාගත හැකි විය. මෙහි ධ්වනිපථ ඇල්බමය ඉතා ධනාත්මක ප්‍රතිචාර ලද අතර, බොහෝ විචාරකයන් සඳහන් කළේ මෙය රහ්මාන්ගේ අග්‍රගන්‍යම ධ්වනිපථය බවයි. ප්ලැනට් බොලිවුඩ් වෙනුවෙන් ඇල්බමය පිළිබඳ විචාරයක යෙදුණු ආකාශ් ගාන්ධි පවසා තිබුණේ "ජෝධා අක්බර් හි සංයුතිය මායාමය, චිත්තාකර්ෂණීය බවත්, සැමටම වඩා මේ දිනවල ධ්වනිපථවලින් ලබාගත හැකි අති දුර්ලභ අත්දැකීමක් බවත් ය. මෙහි සිනුම කොතෙක් ද කිවහොත්, ඔබට ප්‍රියතම ගීයක් තේරිය නොහැක. ඉන්දියානු සංගීතය විසින් තවත් ධ්වනිපථයක් මෙසේ සදාතනික වස්තුවක් බවට පත්කොට ඇත."

පථ ලැයිස්තුකරණය
අංකය. ගීතයශිල්පියා කාලය
1. "අසීම්-ඕ-ෂාන් ෂහෙන්ෂා"  මොහම්මද් අස්ලාම්, බොනී චක්‍රබෝර්ති 5:54
2. "ජාෂ්න්-ඉ-බහාරා"  ජාවෙඩ් අලි 5:15
3. "ඛ්වාජා මෙරේ ඛ්වාජා" (පද: කෂීෆ්)ඒ. ආර්. රහ්මාන් 6:56
4. "ඉන් ලම්හොන් කේ දාමන් මේන්"  සෝනු නිගම්, මධුශ්‍රී 6:37
5. "මන් මෝහනා"  බේලා ෂෙන්දේ 6:50
6. "ජාෂ්න්-ඉ-බහාරා"  වාදනය (බටනළා) 5:15
7. "ඛ්වාජා මෙරේ ඛ්වාජා"  වාදනය (ඔබෝව) 2:53
Total length:
39:43

දෙමළ ධ්වනිපථය

පථ ලැයිස්තුකරණය
අංකය. ගීතයශිල්පියා කාලය
1. "අසීම්-ඕ-ෂා ෂහෙන්ෂා"  මොහම්මද් අස්ලාම්, බොනී චක්‍රබෝර්ති 5:54
2. "මුලුමති"  ශ්‍රීනිවාස් 5:15
3. "ඛ්වාජා එන්දන් ඛ්වාජා" (පද: මෂූක් රහ්මාන්)ඒ. ආර්. රහ්මාන් 6:56
4. "ඉදයම් ඉඩම් මරියතේ"  කාර්තික්, කේ. එස් චිත්‍රා 6:37
5. "මන මෝහනා"  සදානා සර්ගම් 6:50
6. "මුලුමති"  වාදනය (බටනළා) 5:15
7. "ඛ්වාජා එන්දන් ඛ්වාජා"  වාදනය (ඔබෝව) 2:53
Total length:
39:43

සංගීත සම්මාන

මෙම චිත්‍රපටය බොහෝ සංගීත සම්මාන උළෙලවල්හි ප්‍රබල ජයග්‍රාහකයකු විය. කෙසේනමුත්, හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රවර්ගයේ දී එය රහ්මාන් විසින්ම නිමැවූ ජානේ තු... යා ජානේ නා සඳහා පමණක් දෙවැනි විය. මෙහි එන අපූර්ව පසුබිම් ස්කෝරය ෆිල්ම්ෆෙයාර් හොඳම පසුබිම් ස්වරමාලාව සහ අයිෆා හොඳ පසුබිම් ස්වරමාලාව යන සම්මාන හිමි කරගත්තේ ය. ධ්වනිපථය විවිධ ප්‍රවර්ගයන් යට‍තේ නිර්දේශ ගණනාවක් ද හිමි කරගත්තේ ය.

මිර්චි සිංගීත සම්මාන
  • වසරේ ගීතය – "ජාෂ්න්-ඉ-බහාරා"
  • වසරේ ගායකයා – ජාවේඩ අලි ("ජාෂ්න්-ඉ-බහාරා" සදහා)
  • වසරේ ගායිකාව – බේලා ෂෙන්දේ ("මන් මෝහනා" සඳහා)
  • වසරේ පද රචකයා – ජාවෙඩ් අඛ්තර් ("ජාෂ්න්-ඉ-බහාරා" සඳහා)
  • චිත්‍රපට හොඳම පසුබිම් ස්වරමාලාව සඳහා තාක්ෂණික සම්මානය – ඒ. ආර්. රහ්මාන්
  • ගී සංකලනය සඳහා තාක්ෂනික සම්මානය – එච්. ශ්‍රීධර්
  • වැඩසටහන්කරණය සහ සැකසුම සඳහා තාක්ෂනික සම්මානය – ටී. ආර්. ක්‍රිෂ්ණා චේතන් ("ජාෂ්න්-ඉ-බහාරා" ලෙස)
වෙනත්
  • ෆිල්ම්ෆෙයාර් හොඳම පසුබිම් ස්වරමාලාවා – ඒ. ආර්. රහ්මාන්
  • ෆිල්ම්ෆෙයාර් හොඳම පද රචක සම්මානය – ජාවෙඩ් අඛ්තර්
  • හොඳම පසුබිම් සංගීතය සඳහා ස්ටාර් ස්ක්‍රීන් සම්මානය – ඒ. ආර්. රහ්මාන්
  • හොඳම නර්තන රචකයා සඳහා ස්ටාර් ස්ක්‍රීන් සම්මානය – රාජු ඛාන් ("ඛ්වාජා මෙරේ ඛ්වාජා" ලෙස)
  • අයිෆා හොඳම සංගීත අධ්‍යක්ෂක සම්මානය – ඒ. ආර්. රහ්මාන්
  • අයිෆා හොඳම පද රචක සම්මානය – ජාවෙඩ් අඛ්තර්
  • අයිෆා හොඳම පිළිවැයුම් ගායකයා සම්මානය – ජාවෙඩ් අලි ("ජාෂ්න්-ඉ-බහාරා" සඳහා)
  • අයිෆා හොඳම පසුබිම් ස්වරමාලාව – ඒ. ආර්. රහ්මාන්
  • හොඳම සංගීතය සඳහා වී ශාන්තරාම් සම්මානය – ඒ. ආර්. රහ්මාන්

සම්මාන

ෆිල්ම්‍ෆෙයාර් සම්මාන
  • හොඳම චිත්‍රපටය – රොනී ස්කෲවාලා සහ අහුතෝෂ් ගෝවාරිකර්
  • හොඳම අධ්‍යක්ෂක – ආශුතෝෂ් ගෝවාරිකර්
  • හොඳම නළුවා – රිතික් රෝෂන්
  • හොදම පද රචකයා – ජාවෙඩ් අඛ්තර්
  • හොඳම පසුබිම් ස්වරමාලාව – ඒ. ආර්. රහ්මාන්
ස්ක්‍රීන් සම්මාන
ජයග්‍රහණය
  • හොඳම චිත්‍රපටය – රොනී ස්කෲවාලා සහ අශුතෝස් ගෝවාරිකර්
  • හොඳම නළුවා – රිතික් රෝෂන්
  • හොඳම පසුබිම් සංගීතය – ඒ. ආර්. රහ්මාන්
  • හොඳම නර්තන රචකයා – රාජු ඛාන් ("ඛ්වාජා මෙරේ ඛ්වාජා" සඳහා)
  • හොඳම අධ්‍යක්ෂක – ආශුතෝෂ් ගෝවාරිකර්
  • හොඳම නිළිය (ජනප්‍රිය තේරීම) – ඓශ්වර්යා රායි
නිර්දේශිත
  • හොඳම නිළිය – ඓශ්වර්යා රායි
  • හොඳම ක්‍රියාදාමය – රවී දේවන්
  • ඍණාත්මක චරිතයක හොඳම නළුවා – ඉලා අරුන්
  • හොඳම කලා අධ්‍යක්ෂණය – නිතින් චන්ද්‍රකාන්ත් දේසායි
  • හොඳම පද – කෂීෆ් ("ඛ්වාජා මෙරේ ඛ්වාජා" සඳහා)
  • හොඳම සංගීතය – ඒ. ආර්. රහ්මාන්
  • හොඳම පිළිවැයුම් ගායකයා – ඒ. ආර්. රහ්මාන් ("ඛ්වාජා මෙරේ ඛ්වාජා" සඳහා)
  • හොඳම විශේෂ ප්‍රයෝග – පංකජ් ඛාන්ද්පූර්
ස්ටාර්ඩස්ට් සම්මාන
  • වසරේ තරුව – රිතික් රෝෂන්
  • සිහින අධ්‍යක්ෂක – අහුතෝෂ් ගෝවාරිකර්
  • නවක තර්ජනය – නිකිතින් ධීර්
අයිෆා සම්මාන
  • හොඳම සලරුව
  • හොඳම අධ්‍යක්ෂක
  • හොඳම නළුවා
  • හොඳම සංගීත අධ්‍යක්ෂක
  • හොඳම පද රචක
  • හොඳම පිරිමි පිළිවැයුම
  • හොඳම කලා අධ්‍යක්ෂණය
  • හොඳම පුසබිම් ස්වරමාලාව
  • හොඳම වස්ත්‍ර නිර්මාණය
  • හොඳම සංස්කරණය
  • හොඳම අංග රචනය
වී ශාන්තරාම් සම්මාන
  • හොඳම අධ්‍යක්ෂක ලෝකඩ සම්මානය – ආශුතෝෂ් ගෝවාරිකර්
  • හොඳම නිළිය – ඓශ්වර්යා රායි
  • හොඳම සංගීතය – ඒ. ආර්. රහ්මාන්

අන්තර්ජාතික

ගෝල්ඩන් මින්බාර් අන්තර්ජාතික මුස්ලිම් සිනමා චිත්‍රපට උළෙල (කසාන්, රුසියාව)
  • හොඳම චිත්‍රපටය (ග්‍රෝං ප්‍රී) – ආශුතෝෂ් ගෝවාරිකර්
  • හොඳම නළුවා සාම්මානය – රිතික් රෝෂන්
32වන සාඕ පාඔලෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල (බ්‍රසීලය, දකුණු ඇමරිකාව)
  • හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂක සම්මානය – ආශුතෝෂ් ගෝවාරිකර්
ඇසියා පැසිෆික් තිර සම්මාන
  • නිර්දේශිත, සිනෙමාරූපණයේ ජයග්‍රහණය – කීරාන් දියෝහන්ස්
3වන ආසියානු චිත්‍රපට සම්මාන
  • නිර්දේශිත, හොඳම නිෂ්පාදන සැලසුම්කරු – නිතින් චන්ද්‍රකාන්ත් දේසායි
  • නිර්දේශිත, හොඳම සංගීත නිර්මාපක – ඒ. ආර්. රහ්මාන්

මේවාත් බලන්න

  • ජෝධා අක්බර් (රූපවාහිනී කතාමාලාව)
ඉහළට