| ක්ලියෝපැට්රා III | |
|---|---|
| ඊජිප්තුවේ රැජින | |
![]() | |
| උපත | ක්‍රි.පූ. 160 – 155 පමණ |
| මරණය | ක්‍රි.පූ. 101 |
| වල්ලභයා | ඊජිප්තුවේ VIIIවන ටොලමි (මාමණ්ඩිය සහ සුළු-පියා) |
| දරුවන් | ටොලමි IX ටොලමි X ක්ලියෝපැට්රා IV ක්ලියෝපැට්රා සෙලීන් I ට්‍රිෆේනා |
| රාජවංශය | ටොලමියානු |
| පියා | ඊජිප්තුවේ VIවන ටොලමි |
| මව | ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා |
ක්ලියෝපැට්රා III (ග්‍රීක:Κλεοπάτρα; ක්‍රි.පූ. 161 - 101) යනු ක්‍රි.පූ. 142 – 101 දක්වා ඊජිප්තුව පාලනය කළ ඊජිප්තු රැජිනකි.
IIIවන ක්ලියෝපැට්රා, ඇගේ සැමියා වූ VIIIවන ටොලමි හෝ ඇගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා යුවර්ජිටිස් ලෙස ද හඳුන්වයි. ඇය සිය වැඩිමහල් පුත්‍රයා වූ IXවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා ෆිලොමීටර් සොටෙයිරා ලෙස හඳුන්වා ඇත. ස්ට්රාබෝ අනුව, ඇයව ඇතැම් අවස්ථාවල ඇගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා කොකේ ලෙස ද හඳුන්වා ඇත.
මුල් වර්ෂ
IIIවන ක්ලියෝපැට්රාගේ මාමා වූ ඊජිප්තුවේ VIIIවන ටොලමි ඇගේ දෙමව්පියන් සමග හවුලේ ක්‍රි.පූ. 170 සිට ක්‍රි.පූ. 164 දක්වා රාජ්‍ය පාලනය සිදුකොට ඇත. ක්‍රි.පූ. 164දී ඇගේ දෙමව්පියන් වූ IIවන ක්ලියෝපැට්රා සහ ඊජිප්තුවේ VIවන ටොලමිව ඇගේ මාමා විසින් පිටුවහල් කොට ඇත. නමුත් ඔහුට මඳ කලකින්ම සිහසුන අත්හැරීමට සිදු විය. අනතුරුව IIIවන ක්ලියෝපැට්රාගේ දෙමව්පියන් නැවත සිහසුන ලබා ගෙන ක්‍රි.පූ. 145 දක්වා විසි වසක් පමණ රාජ්‍යය මෙහෙයවන ලදී. IIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ මේ කාලයේ යැයි සැලකේ. (ඇතැම්විට ක්‍රි.පූ. 160 සහ 155 අතර) ඇය ටොලමි යුපේටර්, ක්ලියෝපැට්රා තියා සහ ඇතැම්විට බෙරෙනිස් යන අයගේ නැගණිය විය.
ඇලෙක්සැන්ඩර් බැලස්ට එරෙහිව සිදු කළ ඔයිනොපැරාස් සටනේ දී අසු පිටින් ඇදවැටීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් ඇගේ පියා වූ VIවන ටොලමි මියයාමත් සමග, IIIවන ක්ලියෝපැට්රාගේ මාමණ්ඩිය වූ VIIIවන ටොලමි නැවත ඊජිප්තුවේ රජු බවට පත් විය.
ඇගේ මව සහ සැමියා සමග ගෙනගිය හවුල් පාලනය
VIIIවන ටොලමි පළමුව ක්‍රි.පූ. 145දී IIIවන ක්ලියෝපැට්රාගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සමගත්, අනතුරුව ක්‍රි.පූ. 139දී IIIවන ක්ලියෝපැට්රා සමගත් විවාහ විය. ක්‍රි.පූ 132දී IIවන ක්ලියෝපැට්රා VIIIවන ටොලමිට එරෙහිව කැරැලි ගැසූ හෙයින්, IIIවන ක්ලියෝපැට්රා සිය සැමියා සමග සයිප්‍රසය වෙත පලාගියා ය. නමුත් ක්‍රි.පූ. 127දී නැවත ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණීමට හැකි විය.
IIIවන ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමිට දරුවන් පස්දෙනකු විය:
- IXවන ටොලමි; ක්‍රි.පූ. 143දී උපන්නේ ය.
- ට්‍රිෆේනා; ක්‍රි.පූ. 141දී උපන්නා ය. ක්‍රි.පූ. 124දී සිරියාවේ රජු වූ ඇන්ටියෝකස් VIII ග්‍රිපස් සමග විවාහ විය.
- Xවන ටොලමි; ක්‍රි.පූ. 140 හෝ 139දී උපත ලබා ඇත. ඔහුගේ ලේලිය වූ බෙරෙනිස් (IXවන ටොලමි සහ ක්ලියෝපැට්රා සෙලීන් Iගේ දියණියයි) සමග විවාහ විය.
- IVවන ක්ලියෝපැට්රා; ක්‍රි.පූ. 138 සහ 135 අතර දී උපන්නා ය. ඇය පළමුව ඇගේ සොහොයුරා වූ IXවන ටොලමි සමගත්, දෙවනුව සිරියාවේ රජු වූ ඇන්ටියෝකස් IX සිසිසෙනස් සමගත් විවාහ විය.
- ක්ලියෝපැට්රා සෙලීන් I; ක්‍රි.පූ. 135 සහ 130 අතර කාලයක උපත ලබා ඇත. පළමුව ඇය ඇගේ සොහොයුරා වූ IXවන ටොලමි සමගත්, පසුව ඇගේ අනෙක් සොහොයුරා වූ Xවන ටොලමි සමගත් විවාහ වූවා ය. පසුව ඇය සිරියාවේ රජවරුන් වූ ඇන්ටියෝකස් VIII ග්‍රිපස්, ඇන්ටියෝකම් IX සිසිසෙනස්, සහ ඇන්ටියෝකස් X යුසෙබිස් සමග විවාහවූවා ය.

ක්‍රි.පූ. 124දී IIIවන ක්ලියෝපැට්රා සහ ඇගේ සැමියා නැවත ඇගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සමග එක් වී හවුල් පාලනයක් ගෙනගියෝ ය.
ඇගේ පුතුන් සමග ගෙනගිය හවුල් පාලනය
ක්‍රි.පූ. 116දී සිදු වූ VIIIවන ටොලමිගේ මරණින් පසු, IIIවන ක්ලියෝපැට්රා, ඇගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සහ ඇගේ පුත් IXවන ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගොස් ඇත.
ක්‍රි.පූ. 107දී IIIවන ක්ලියෝපැට්රා විසින් IXවන ටොලමිව ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් නෙරපා දැමුවා ය. අනතුරුව ඇය ඇගේ දෙවන පුත් Xවන ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගියා ය. 6 වසරක හවුල් පාලනයකින් පසු, ක්‍රි.පූ. 101දී Xවන ටොලමි විසින් ඔහුගේ මව වූ IIIවන ක්ලියෝපැට්රාව මරාදමන ලදී.
- ක්‍රි.පූ. 161 උපත්
- ක්‍රි.පූ. 101 මරණ
- ඊජිප්තු රාජ්‍ය කළ රැජිනියන්
- ටොලමියානු රාජවංශයේ පාරාවෝවරු
- හෙලනිස්තික ඊජිප්තුවරුන්
- ක්‍රි.පූ. 2වන සියවසේ කාන්තා පාලකයින්
- ක්‍රි.පූ. 2වන සියවසේ අප්‍රිකානු පාලකයින්
- ඊජිප්තුවේ ක්‍රි.පූ. 2වන සියවස
- පුරාතන රාජ්යාධිකාරිණියන්